සැරිසරන සෙවණැලි – මල්ශාලාවක දිනයක්

 

විශ්වවිද්‍යාල  අධ්‍යාපන කටයුතු ආරම්භවීමක් සමග මට මාගේ අම්මගේ මල්ලිගේ ගෙදර නතරවීමට සිදුවිය. එම නිවසේ නතර වී සිටි තවත් මාමා කෙනෙකු මා සමග බෙහෙවින් මිත්‍රවිය. ඔහු නමින් අනුර මාමා විය. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිමකර නිවසට පැමිණ මට කිරීමට වැඩක් නොතිබූ හෙයින් නිවස ඉදිරිපස මිදුලට වී කම්මැලිකමින් පාරදෙස බලාගෙන සිටියෙමි. එවෙලේ මම දුටුවේ අනුර මාමා  ගමනක් යාමට පාර දෙසට පැමිණෙන අයුරුය. එවිට වෙලාව සවස 6 පමණ විය. අනුර මාමා රැකියාව කලේ ජයරත්න මල් ශාලාවේය. තනිව ජීවත්වන මොහුට එයින් ලැබන ගතමනාව ජීවිතය ගැටගහගැනීමට යන්තම් ප්‍රමාණවත් විය.

“අනුර මාමේ, කොහෙද යන්නේ බැහැරක්ද ? මම කටහඬ අවදිකලෙමි.

“නෑ කොල්ලෝ, මේ හදිසි මරණයක් .මල්ශාලාවට යන්න කියලා මේ”අනුර මාමා පිලිතුරු දුන්නේය.

කලක සිටන් ඔහුත් සමග ගොස් මල්ශාලාවක සිදුවන කටයුතු පිලිබදව දැනගැනීමට කුතුහලක් මාගේ සිතතුල කැකෑරෙමින් පැවතුණි. කිසිදු දෙයකට බියට පත්වන නොවන පුද්ගලයෙකු වූ මා අලුත් දේවල් අත්හදාබැලීමට තිබු ආශාව නිසාම අනුර මාමාට කිහිපවරක්ම මාව එහි රැගෙනයන ලෙස නිතරම ඇවටිලි කළේය. මාගේ කරදරයෙන් බේරීමට බැරි තැන ඔහුට පහසුදිනක මාව එහි රැගෙන යන ලෙස පොරොන්දු විය. අද මට සිදු කිරීමට එතරම් විශේෂ වැඩක් නොතිබූ හෙයින් මෙම ගමන අද යාමට ඔහුව කැමතිකරවා ගැනීමට සිත්විය.

“අනේ මාමේ, මාත් එන්නද? මාමාත් එක්ක යන්න, ගෙදරට වෙලා තනියම ඉන්නත් කම්මැලියි” මම ඇසුවෙමි.

“හා, එහෙනම් යමන්කෝ. උඹෙත් ආශාවනේ!” මාමා පැවසුවේය.

ක්ෂණිකව ගෙතුලට ගොස් ටී ෂර්ට් ඇගලා ගත් මා අනුර මාමාත් සමග හනි හනික ගමන් ආරම්භ කළේය. අපි එහි යනවිටත් මිනිය මල්ශාලාවට ගෙනවිත් තිබුණි. ඇය පෙනුමෙන් අවුරුදු 20ක පමණ තරුණියකි. ගමේ ඇල හරහා දමා තිබු ඒදණ්ඩෙන් එතෙර වීමේදි පය ලිස්සා ඒදණ්ඩෙන් ඇලට වැටී ඔලුව ගලක වැදි මරණය සිදුවී ඇතිබව වෛද්‍ය පර්‍ර්ක්ෂණවලින් තහවුරු විය. ඇයට වතුර විශාල ප්‍රමාණයක් පෙවී ඇති නිසා ඇයගේ උදරය ඉදිමී තිබිණි.එලෙසම ඇයගේ මුහුණ විරුපි වි තිබුණි. මාමා මිනිය සැකසීමේ වැඩකටයුතු ආරම්භ කලේය. ප්‍රථමයෙන්ම මාමා මිනියේ ඇදුම් ඉවත්කර උදරය කපා එහි බඩ බොකුවැල් ඉවත් කළේය.ඉන්පසු එයට පුළුන් පුරවා නැවත මිනිය මැසුවේය.ඉන්පසු මිනියට ගවුමක් අන්දවා මිනියේ එම්බාම් කටයුතු සිදුකලේය. සියලුම වැඩකටයුතු අවසන් කල පසු මම දුටුවේ මිනියේ එක් කකුලක් ඇදවී තිබෙන අයුරුය.

“මාමේ මේ මිනියේ දකුණු කකුල ඇදවෙලානේ”මම පැවසුවෙමි.

“ඒකනේ, කොල්ලෝ මමත් දැන් දැක්කේ.ඉන්නකෝ ඒක අපි හදමුකෝ.”මාමා පැවසුවේය. අනුර මාමා කකුල කොට්ටයක් උඩ තබා මිටියකින් පහරක් ගසා කකුල අනිත් පැත්තට හැරවීය.

“ඔන්න කොල්ලෝ එහෙනම් ඒකත් හරි. කකුලේ ඇදෙත් ඇරියා” මාමා පැවසුවේය. මටත් එයට සමච්චලයට මෙන් හිනා ගියේය. සියලු වැඩකටයුතු ඉවර වූ පසු මම මාමාත් සමග මුහුණ සේදීමට ලිද ගාවට ගියෙමු. එවිට මම දුටුවේ බල්ලන් කිහිපදෙනෙකු යමකට පොරකන අයුරුය. මාමා පැවසුවේ මිනියෙන් ඉවත් කරන අවයව ඉවත්කරන තැනක් නොමැති හෙයින් බල්ලන්ට කන්නට දාන බවය. අප දෙදෙනා මුහුණ සෝදා නැවත පැමිණෙන විට වේලාව රාත්‍රි 11 පමණ විය. එවිටම මාමාට දුරකථන ඇමතුමක් ලැබුණේය. එනම් මල්ශාලාවේ අයිතිකරුගේ මව මියගොස් ඇති හෙයින් ඇයගේ මිනිය මල්ශාලාවට රැගෙන එන බවයි. එනිසා මාමාට තවදුරටත් මල්ශාලාවේ රැදී සිටිමට සිදුවිය.

අධික නිදිමතත් හෙට උදෑසනම නැවත විශ්වවිද්‍යාලයට යායුතු නිසාත් තනියම නිවසට පැමිණිමට මම තීරණය කලෙමී. මාමා මේ රෑ නොයන ලෙස දැඩිව පැවසුවත් මට තිබු වැඩකටයුතු නිසා මම මාගේ තීරණය වෙනස් නොකළෙමි. ඉක්මනින් නිවසට යාමට තිබු අවශ්‍යතාවය නිසා ප්‍රධාන පාර වෙනුවට වෙල දිගේ ගොස් ඒදණ්ඩෙන් එගොඩ වී යන පාර මම තෝරා ගත්තෙමි. දැඩි සීතල මුසුවූ සුළඟක් ගත හරහා හමාගියේ පරිසරයේ තිබු දැඩි මූසල පාළු ස්වභාවය හිතට දනවමින්ය. හැකි ඉක්මනින් නිවසට යාමට අඩිය ඉක්මන් කල මම නියර දිගේ ඉදිරියට ගමන් කළෙමි. මෙසේ යන මට මා පසුපසින් කුමක් හෝ සිදුවන බවක් දැනුණි. නමුත් එය මාගේ හිතේ තිගැස්මට දැනුණු දෙයක් යැයි සිතා එතරම් ගනන් නොගෙන ඉදිරියට ගියෙමි. නැවත පියවර කිහිපයක් යනවිට කවුරුන් හෝ මාගේ පසුපසින් පැමිණෙන ශබ්දයක් ඇසෙන්නට විය. ෆෝන් එළියේ ආලෝකයෙන් අවට පරිසරය නිරීක්ෂණය කළද  කිසිවක් දකින්නට නොවීය. ගොයම්ද කපා තිබු හෙයින් පරිසරය මනාව දිස්විය. නැවතත් ඉදිරියට ගමන් කල මට කලින් ශබ්දයම ළඟ ලගින් ඇසෙන්නට විය. මොහොතකට මගේ ගමන නතර කල මා පිටුපසට හැරී අඩි කිහිපයක් පිටුපසට ගමන් කළේය. එවිට මම දුටුවේ ඉදිරියට පැමිණි පිය සටහන් කිහිපයකි. නමුත් එම පා සටහන්වල තිබුනේ එක් කකුලක පා සටහන් පමණි. එවිටම අද සිදුවූ සිදුවීම මාගේ මතකයට නැගුණද මා සිතුවේ එය අනුර මාමා විසින් මා පිටුපසින් පැමිණ කළ බිය කිරීමක් ලෙසය. එම නිසා මම මා වෙත ආ ආවේගයත් සමග ඔහුට හයියෙන් කෑ ගැසුවෙමි.

“මාමේ පිස්සුවත් හැදිලද තමුන්ට. මොකද ඔහේගේ කකුලක් බකල වෙලා. කවුද තමුන්ට ගැහුවේ කකුල බකල් වෙන්න. හිතුවද මම ඕවට බයවෙයි කියලා “

එවෙලෙම මම සිටියේ පිටුපසට හැරි නමුත් මගේ කන පසුපසින් සිහින් කෙදිරිලි හඬක් මුසුවූ කාන්තා කටහඩකින් “මල්ලී බලන්නකෝ ඔයාගේ මාමා මගේ කකුල කැඩුවනේ. ඉතිම් කොහොමද මම ඇවිදින්නේ දැන්. මට දැන් තනි කකුලයි  තියෙන්නේ” යැයි පැවසීය. ඒ සමගම් මම ඉදිරියට හැරුණෙමි. එවිට මම දසුනින් මගේ ඇඟ පන නැතිවී ගියා මෙන් දැනුනි. අද රෑ මල් ශාලාවේ මා දුටු තරුණිය මා ඉදිරිපස සිටියාය. ඇගේ එක් කකුලක් ඇදවී කැඩී තිබුණි. මාමා බඩ කැපු විලසම බඩ කැපි එහි අවයව ඇය දෑතින් බදා අල්ලාගෙන සිටියාය. ඇය ආයාසයකින් මා වෙත සිනාවක් පෑමට උත්සාහයක් ගත් බව මතකය.

ඉදින් ඉන්පසු සිදුවු කිසිවක් මට මතක නැත. මට සිහිය එනවිට මා සිටියේ මාමාගේ නිවසේය. ඔවුන් පැවසු ලෙස ඔවුන්ට මා හමුවී ඇත්තේ ඒදණ්ඩ අවසන් වන තැන බිම වැටි සිටියදිය. ඔවුන් පැවසුවේ තව ඩිංගක් එහා මෙහා වූවානම් මගේ  සිරැර ඔවුන්ට සොයාගැනීමට වන්නේ ඇලට වැටි සිටියදි බවය. මම කෙසේ ඒදණ්ඩෙන් එගොඩ වූවාදැයි මට මතක නැත. තාමත් මට එය ප්‍රශ්නයකි. සමහරවිට එදා රාත්‍රියේ මා  දුටු ඇය ඇයට සිදුවූ දෙය මට වනවාට අකමැති වී මාගේ ජීවිතය බේරැවා වීය හැක. තවමත් එය අබිරහසකි.

Written By:-
Rtr. Patali Poornima
(General Member – 2022-23)

Edited By:-
Blog Team 2022-23

Spread the love
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments