සැරිසරන සෙවණැලි – රෝග සුවපත් කරනු වෙනුවට තව තවත් ව්‍යාධි ඇති කළ හෙදිය

 

දිනක රාත්‍රී 11ට පමණ ත්‍රීවිල් රස්සාව අවසන් කොට මා ගෙදර පැමිණ නා පිරිසිදු වී බත් පතක් බෙදා ගත්තා පමණි. පහළ ගෙදර අයියා පැමිණ දොරට තට්ටු කරමින් කතා කළේය. “අනේ මල්ලියෙ හදිස්සියක්, සීයට හොදටම අමාරුයි, මේ හදිස්සියෙ කවුරුත් එන් නෑ වීල් එක අරන්, අනේ රත්තරන් මල්ලියෙ ඉල්ලන ගාණක් දෙන්නම්, වීල් එක අරන් යමන්” කියා ඔහු පින්සෙණ්ඩු වෙන්නට පටන් ගති. ඒ වදනින් උමතු වූ මම, අඩියට දෙකට කමිසයක් දමාගෙන සුපුරුදු වැදුම් පිදුම් පවා නොකර රථයට ගොඩ වූයේ කිසිදු වදනක් මුවින් පිට නොකර වදනකින් හෝ වේගය බාල වීමට අවශ්‍ය නොවන් බැවිනි. වෙන්දා මා ත්‍රී වීලරය රැගෙන නිවසින් පිට වනුයේ බුදු පහන ඉදිරියේ හත් අට වතාවක් නමස්කාර කොට බුදුන් දෙවියන් සිහි කිරීමෙන් පසුවයි. නමුත් මෙවන් හදිසි අවස්ථාවක් කිසි දින නිවසේදී උදා නොවීමත් බුදුන් වැද යාමට සිතක් පහළ නොවීමත් මදක් නොසන්සුන් කාරණයක් බව මටම හැගී ගියත් ලෙඩෙක් වෙනුවෙන් පණ වුණත් දෙනවා යැයි සිතමින් අයියාත්, සීයාත් රැගෙන රෝහල බලා පිටත් වූයේ ඊයක තරම් වේගයෙනි.

රෝහලට ගිය ගමනේ දී, හදිසියට වෛද්‍යවරයා එහි නොවූයෙන්, රෝහලෙන් උපදෙස් ලැබුනේ රෝගියා නවතා වෛද්‍ය නිල නිවසට ගොස් ඔහු කැදවා ගෙන එන ලෙසයි. සීයා තනිව දමා යාමට සිත් නොදුන් නිසා අයියා නැවතුනෙන් මා තනිවම වෛද්‍යවරයා කැදවා ගෙන ඒමට ත්‍රීරෝද රථයට නැග යාමට පටන් ගති. මදක් දුර යන මොහොතේ හෙද නිලධාරිනියක් හුදෙකලාව ම පාළු මාවත දිගේ ඇවිදන් යනු මා හට දැකිය හැකි විය. “මොනා වුණත් කෙල්ලෙක් මෙහෙම රෑට ඇවිදින එක හොද නැතැයි සිතූ මම, විගසින් ත්‍රීරෝද රථය නවතා,”නර්ස් නෝනා මම මේ දොස්තර මහත්තයා එක්කන් එන්න යන්නෙ, නෝනත් යන්නෙ ඉස්පිරිතාලෙට නේද? අපිත් එක්ක ගිහින් ආපිට ඇවිත් ඉස්පිරිතාලෙට යත හැකි. නගිනවනම් නගින්න” මම ආරාධනාවක් කළෙමි.

ඇය මා දෙස බලා සිටියා පමණි. වදනකුදු දෙඩුවේ වත්, ත්‍රීවිලරයට නැංගේවත් නැත. ඇය නගින තෙක් සිටිය හොත් වෛද්‍යවරයා කැටුව ඒමට ප්‍රමාද වීමෙන් රෝගියා අසාධ්‍ය විය හැකි බැවින් මම, ඇය නොහදුනන පිරිමින් සමග ගමන් යාමට අකැමැති යැයි සිතා ඇයව මග හැර යාමට පටන් ගත්තෙමි. අඩියට දෙකට නිල නිවසට ගොඩ වූ මම වෛද්‍යවරයා අමතා රෝගියාගේ තත්වය පහදා දුන් පසු එතුමන් ද විගසින් එන්නට ලහි ලහියේ සූදානම් විය. මගේ රාජකාරිය අවසන් කළ මම නැවත ත්‍රීවිලරය නැවත හරවාගෙන ප්‍රධාන පාරට පිවිසුනෙමි.

නැවත රෝහල බලා මදක් දුර එන විට කිසිවෙකු ත්‍රීවිලරය පිටුපස අසුන් ගෙන සිටිනු වීදි ආලෝකයෙන් පෙනෙන පැති කන්නාඩියෙන් මට දිස් වේ. මා වික්ශ්පිත දෑසින් පසුපස හැරුනේ මටත් නොකියා මාගේ රෝද තුනේ ඉද ගත් එකා බලන්නට ය. පුදුමයට මෙන් එහි සිටියේ අතරමග හමු වූ හෙද නිලධාරිනියයි. මා ත්‍රිවිලය ධාවනය කරමින්  නෝනා කොයිවෙලේද නැග්ගෙ මම දැක්කෙත් නෑ .අද නෝනා නයිට් ඩියුටි දැයි විමසීමි. ඇය නොවේ වදනකුදු මා සමග දෙඩුවෙ. නෝනා වැඩිය කතා කරන්න අකමැති  සිතා මා ත්‍රීවිලය නැවත රෝහල කරා ධාවනය කළෙමි.

සුඛෝපභෝගී  රථයෙන් වෛද්‍යවරයා පැමිණෙන විටත් රෝගියාට අවශ්‍ය මූලික ප්‍රතිකාර සපයා තිබුණි. අංශභාගයෙන් ඔත්පල වී සිටි සීයා අද දැඩි සේ දුර්වල වි අසාධ්‍ය  තත්ව‍යට පත් ව සිටී. කුඩා කල පටන් පහළ ගෙදර අයියා රැක බලා ගත්තේ සීයා සහ ආච්චි අම්මාය. එබැවින් ඔහු තුළ මේ දෙපළ කෙරෙහි අප්‍රමාණ ස්නේහනයකි. අයියාගේ දෙනෙතේ දිලුසෙන කදුලු කැට දුටු මම ඔහු අසලින්ම රැදුනේ හදිසි මොහොතේ බැල්මකින් හෝ ඔහුට සහය වනු පිණිසය. ඒ අතරේ මා අයියාට පැවසුවේ රෑ තනියෙන් නර්ස් කෙනෙක් ආවා. ඔන්න මන් එයාවත් දා ගෙන ආවා. ඒ නෝනාත් ලෙඩා ගැන බලයි යනුවෙනි. එවිට අයියා පැවසුවේ “ඔයත් එක්ක කවුරුත් ආවෙ නෑ මල්ලි” යනුවෙනි. මා මදක් නොසන්සුන් වුවත්, ඇය බැස රෝහල ඇතුළට යන්නට ඇතැයි සිතා නිහඩ වීමි.

හදිසියේ වාට්ටුවෙන් පිටතට පැමිණි වෛද්‍යවරයා තුන්ඩු කෑල්ලක් අයියා සුරතේ තබා , “මේ බෙහෙත ඉස්පිරිතාලෙ නෑ පුතා, පාමසියකින් බලලා, පුලුවන් ඉක්මන්ට අරන් එන්න” යැයි කී වදන් අසා සිටි මම, වෛද්‍යවරයා අතින් තුන්ඩු කෑල්ල උදුරා ගෙන අයියා අතට දී හරි මහත්තයා අපි ඉක්මන්ට හොයලා ගේන්නම් යැයි පවසා අයියාත් ඇදගෙන ත්‍රීවිල් ගාල දෙසට පිය මැන්නෙමි. අද දින ලැබුනු මුදල් ගණනය කිරීමටවත් වේලාවක් මා හට නොතිබුණෙන් සියලු නෝට්ටු මගේ පසුම්බියේ ය. ඒ නිසා මුදල් අතින් අද අහේනියක් ද නැති නිසා කිසිදු බියකින් තොර ව අයියාට උදව් කළ හැකි යැයි හැගීමක් මට තිබුණි.

කෙසේ වුවද ත්‍රීවිල් ගාලට යද්දී මා තුෂ්නිම්භූත වූයේ මටත් නොදන්වා රියට නැගි හෙදිය තවදුරටත් එහි රැදී සිටිනු දැකීමෙනි. මේ ගෑනිට පිස්සු දැයි සිතමින් අයියාට පෙර ත්‍රීවිලරයට නැගි මා “අයියෙ අර මන් කිව්ව නර්ස් නෝනා තාම වීල් එකෙන් බැහැල නෑ. ආ නෝනා ඇයි මේ තාම මේකෙ? ඩියුටි පටන් ගන්නෙ නැද්දැයි” ඇසුවෙමි. අයියා මා දෙස වික්ශ්පිත ව බලා සිටිමින්, “මේකෙ කවුරුත් නෑ මල්ලි”යැයි පැවසීය. මම “මොකක්? එතකොට මේ ඉන්නෙ?” යැයි පැවසීමි. හෘද ස්පන්දනය මදින් මද වැඩි වුවද සන්සුන් වීමට නිෂ්ඵල  උත්සාහයක යෙදෙමින්, ඇයට නැවතත් බහින්න යැයි ද පවසා මම ත්‍රීවිලරය පණ ගන්වා ගන්නට පටන් ගතිමි.

ඔසු සැලක් සොයා යන මම, අයියා සමග කතා බස් කළ ද කිසිදු පිළිතුරක් නැත. මා ධාවනය කරන අතරමග රථයේ පිටුපස අසුනට හැරුණෙමි. පුදුමයට මෙන් පෙර කී හෙද නිලධාරිනිය පෙර පරිදිම අසුන් ගෙන සිටී. මෙවර නම් මා බියෙන් බියට පත් ව ප්‍රාණය නිරුද්ධ වූවා සේ දැනෙන්නට වුණි. මා බොහෝ සේ කලබල විය.ඉදිරියට හැරුනු මා නොදැනුවත්වම ත්‍රීවිලයේ වේගය අසීමිත ලෙස වැඩි විය.යමකට බය වූ අයෙකු දෙපයට පණ දී දුවන්නා සේ මේ රථයේ වේගය වැඩි කලෙමි.මට මතකයේ රැදුනේ එපමණකි.

නැවත   සිහිපතක්   පැමිණියේ රෝහලේ ඇදක අතිශය අසාධ්‍ය  ආබාධිතයෙකු ලෙසයි. කෝකටත් තෛලය කියා අපගේ දුක සැප බෙදා ගන්නා පහළ ගෙදර අයියා මා අසළ සිටිමින් කියා සිටියේ “මල්ලී එදා මං වීල් එකට නගින්න කලින් ස්ටාට් කරන් ගියා. මොකක්ද මේ නර්ස් කෙනෙක් ඉන්නෝ බහින්න කියලත් කිවුවා. එහෙම කෙනෙක් අපි කවුරුත් දැක්කෙ නෑ. මල්ලි මොනාට හරි බය වෙලා වෙන්නැති” යැයි පැවසීය. කෙසේ වුව ද සීයාගෙ අසාධ්‍යතාවට සහය වන්නට පැමිණි මා හට මාස කීපයක් මගේ රැකියාව ද අහිමි කර ගෙන රෝහලෙ නේවාසිකයෙකු වීමට සිදු වීම අතිශය ශෝක ජනක ය.

සැලකිය යුතු කලක් රෝහලේ සිටි මම නිරන්තරයෙන් පිරිමි වාට්ටුව ඇසුරෙහි සේවය කළ ඇටෙන්ඩර් කෙනෙකු  සමග කුළුපග විය. ඔහු මා සමග ආගිය තොරතුරු කතා කළ ක්ෂණයක, මල්ලිට ඔය අකරතැබ්බෙ වුණේ මක් කරන්න ගිහින් දැයි විමසීය. මා මුල් සිට සිහි එළ වූ මොහොත පටන් සියල්ල ඔහු සමග පැවසීමි. එය අසා බුලත් විටකින් සප්පායම් වෙමින් සිටි ඔහු එය ද උගුරේ සිර කොටගෙන, මහ කලබගෑනියක් විය. ක්ෂණයෙන් මුව සෝදා ගෙන පැමිණි ඔහු හුස්ම පොදක් හෝ නොගෙන අතීත කතාවක් දිග හරින්නට වූයේ මා ද විස්මයට පත් කරමිනි.

“මල්ලියෙ ඔතන ඔය කෙල්ල හම්බෙච්ච හරියෙ අවුරුදු 5කට විතර කලින්, පයින් යන එන නර්ස් නෝනා කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා පණ ඇද ඇද ඉදලා මැරිලා ගිහින් තියෙනවා. ඔලු කට්ටමයි කුඩු වෙලා තියෙන්නෙ. කළුවරේ රෑ ඩියුටියට දුවලා පාර පැනලා. මයෙ හිතේ ඔය කෙල්ල තමා උඹලට ඔය් රෑට රෑට පේන්නෙ. මහ රෑ ජාමෙ පාරෙ ඇවිදිද්දි විතරක් නෙවෙ වාහනෙන් ගමන් බිමන් යද්දිත් පරිස්සම් වෙයල්ලා. දෙයියො බුදුන් සිහි කොට ගෙන ඇවිදපල්ලා. පේනවනෙ අහන් ඉන්න හොල්මනට බය වෙලා කර ගත්ත හරිය?”  “මගෙ දෙයියනේ” මා හට කියවුනේ එපමණකි. එසේ නම් එතෙක් වේලා එදින රැයේ මා කතා බස් කොට ඇත්තේ මට පමණක් ම දිස් වූ මීට ඉහත රිය අනතුරකින් මිය ගිය, හොල්මන් කාන්තාවක් සමග ය. මාගේ සිරුර කිළිපොලා ගොස් සීතල වන්නට පටන් ගති. බටහිර වෙදක්ම සමග හෙළ වෙදකමේ අනුහසින් ත්‍රීවිල් රැකියාවට යා හැකි මට්ටමින් සුව වීමට මා හට භාග්‍යය තිබුණි. සියලු රෝහල් කාර්‍යමණ්ඩලයට මා පින් දී නැවත නම් කිසි දිනෙක එකෙක් මළත්, මම නම් මහ රෑ ජාමේ හයර් දුවන්නෙ නෑ යැයි මම මටම පිළිණ දෙමිනි.

Written By:-


Rtr. K. K. Lakshani
(Member 2022-23)

Edited By:-


The Blog Team 2022-23

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments