සෙල් වඩුවාණෙනි…

කිසිත් සිත් පිත් නොමැති ගල් කුළු
කරන් අවනත මලක් නමන් මුදු
දයා කරුණා වෑහෙනා බුදු
රුවක් කොහොමද කළේ ඉන් මතු

කලා වැව් දිය පිස හමා එන
සුළං රැළි වැතිරෙන මානෙක
නැගී සිටිනා අහස් කුස සිඔ
දෙතිස් ලකුණින් බබළනා රුව

උතුම් තුන්සිත පහදවාගෙන
රුව දෙසම නෙත සිත යොමාගෙන
සිතින් බුදුගුණ ගී ගයාගෙන
දිනක් වුව සිටියැකි බලාගෙන

අමිල නිමල වු උතුම් පිළිරුව
තැනූ මිනිසා කවුද යන පැන
නැගී සිත තුළ විමසනා සඳ
විපිළිසර විය මසිත මදකට

මවන විට ඔබෙ නොදුටු රුව සිත
මැවේ අවිහිංසක රුවක් සිත
කටුව මිටියෙන් කරන හරඹය
මැවුණි මගේ මන නෙතේ අබියස

උතුම් අවුකන රුවේ මහිමය
මවිත කරවයි දනන් අද වුව
එහෙව් විස්කම් පෑ නමුත් නුඹ
සැඟව යන්නැති ලොවට රහසෙම

දුටුව පමණින් හද නිවාලන
උතුම් සිතුවිලි දැහැන් ගන්වන
මහා බුදු බඳ මැව් නිසාවෙන
නිවන නම් දුර නොවේවා තව !!

Written By :-

Harini Chamathka
(Top 20 nominee)
Wordsville 2.0

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments