මානව අයිතිවාසිකම් දිනය

මානව අයිතිවාසිකම් යනු උපතින්ම අප සැමට හිමි වන අයිතිවාසිකම් සමූහයකි. එනම් ජීවත් වීමේ අයිතිය, සමානාත්මතාවය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, අධ්‍යාපනය ලැබීමේ අයිතිය වැනි පොදු අයිතීන් සමූහයකි.

මානව අයිතිවාසිකම් යන සංකල්පය මනුෂ්‍ය වර්ගය ආරම්භයත් සමඟම ආරම්භ වුවත් ඒ පිළිබඳව වඩාත් අවධානයට ලක් වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි. යුද්ධය අතරතුර සිදුවූ දරුණු මිනිස් ඝාතන , වධ හිංසා සහ අමානුෂික ක්‍රියා මුළු ලෝකයම කම්පනයට පත් කළේය. මිලියන ගණනක් අහිංසක ජනතාවගේ ජීවිත අහිමි වීම නිසා, මිනිස් ජීවිතයක වටිනාකම ගැන ලෝක නායකයින් නැවත සිතන්නට පෙළඹුණි.යුද්ධයෙන් පසු ලෝක නායකයින් තීරණය කළේ මෙවැනි විනාශයක් නැවත සිදු වීමට ඉඩ නොදිය යුතු බවයි. හුදෙක් සාමය පවත්වා ගැනීම පමණක් නොව, සෑම මනුෂ්‍යයෙකුගේම මූලික අයිතිවාසිකම් නීතිමය වශයෙන් ආරක්ෂා කළ යුතු බව ඔවුහු විශ්වාස කළහ.මෙම අරමුණ පෙරදැරිව 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පිහිටුවන ලදී. එහි මූලික කාර්යයක් වූයේ ලොව පුරා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1948 වසරේ දෙසැම්බර් 10 වන දින, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් “මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය” (Universal Declaration of Human Rights – UDHR) සම්මත කර ගන්නා ලදී. ජාතිය, ආගම, වර්ණය, ලිංගිකත්වය හෝ භාෂාව වැනි කිසිදු භේදයකින් තොරව, ලොව සියලු මනුෂ්‍යයන්ට හිමි අයිතිවාසිකම් මෙමගින් ලේඛනගත කරන ලදී. මෙම ඓතිහාසික දිනය සිහිපත් කිරීම උදෙසා සෑම වසරකම දෙසැම්බර් 10 මානව හිමිකම් දිනය ලෙස නම් කර ඇත.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වැනි ආයතන, පුරවැසියන්ගේ අයිතීන් සුරැකීමට කැපවී සිටී.

මෙවර (2025) මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “අපගේ දෛනික අත්‍යවශ්‍ය දේ” (Our Everyday Essentials) යන්නයි. එනම් හිමිකම් යනු හුදු නීතිමය සංකල්පයක් පමණක් නොව, අපගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් බවයි. ආහාර, ජලය, සෞඛ්‍යය, සහ නිවාස වැනි මූලික අවශ්‍යතා මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද සමාජයේ සෑම කෙනෙකුටම ගෞරවනීය ලෙස ජීවත් වීමට ඇති අයිතිය මෙයින් අවධාරණය කෙරේ.

මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් අපට අපගේ අයිතිවාසිකම් පිළිබඳව නිවැරදිව දැනුවත් වීම, අන් අයගේ අදහස්වලට සහ නිදහසට ගරු කිරීම, අසාධාරණය දුටු තැන ඊට එරෙහිව හඬ නැගීම වැනි දෑ පෞද්ගලිකව සිදුකළ හැකිය.

“සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත; ගෞරවයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වෙති.”
– මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (1 වන වගන්තිය).

Written By: –

 

 

 

 

Rtr. Sithuli Nimanya
(Junior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top