මැදින් පුර පසොළොස්වක පොහෝ දිනය

සිංහල මාස ක්‍රමයට අනුව මැදින් හෙවත් මාර්තු මාසය වසරේ අවසන් මාසයයි. ඉන් පසු උදා වන්නේ නව අවුරුද්ද යෙදී ඇති මාසයයි.

මැදින් පොහෝ දිනය බොහෝ විටෙක දී යෙදෙන්නේ මෙම මාසයේ දී ය. බෞද්ධයන් වශයෙන් අපට මෙම පොහොයේ ශාසනික වැදගත්කමක් ඇත. ඒ අතර මූලික වන්නේ බුදුරජාණන් වහන්සේ එතුමාණන්ගේ උපන් බිම වූ කිඹුල්වත් පුරයට බුදු වීමෙන් පසු මුල් ම වතාවට වැඩම කිරීමයි.

බුදු රජාණන් වහන්සේගේ පියාණන් වූ සුද්ධෝදන රජුට බුදු රජාණන් වහන්සේ ව කිඹුල්වත් පුරයට වැඩම කරවා ගැනීමට බොහෝ සෙයින් අවශ්‍ය විය. නමුත් ඒ සඳහා ආරාධනයට ගිය සියලු පිරිස් බුදුන් හමු ව පැහැදී මහණ වූ අතර සුද්ධෝදන රජුගේ අභිප්‍රාය ඉටු නොවී ය. අවසානයේ සුද්ධෝදන රජුගෙන් පැවිදි වීමට අවසර ලබා ගෙන බුදුන් හමු වට ගිය කාලුදායි ඇමති බුදු සසුණේ පැවිදිව, බුදුන් හමුවට වැඩමවා, ගාථා පෙළකින් කිඹුල්වතට යන මාර්ගය වර්ණනා කොට බුදුන් හට කිඹුල්වතට වැඩම කිරීමට ආරාධනා කිරීමට සමත් විය.

මෙම ගමනේ දී වැදගත් සිදුවීම් රාශියක් සිදු විය. ඒ අතර ශාක්‍ය වංශිකයන්ගේ මානය යමා මහ පෙළහර පාමින් නැති කිරීම, සුද්ධෝදන රජුගේ තෙවන වැඳීම සිදු වීම, ගිහි ගෙය හැර යාමෙන් පසු පළමු වරට යශෝධරා දේවිය බුදුන් බැහැ දැකීම, සුද්ධෝදන රජු හා ප්‍රජාපති ගෝතමිය සෝවාන් වීම, දායාද ඉල්ලා බුදුන් සමග ගිය රාහුල කුමරු මහණ වීම, නන්ද කුමරු මහණ වීම වෙයි.

මෙසේ සුද්ධෝදන රජුට පසු රජකම දැරීමට සිටි කුමාරවරුන් දෙදෙනාම මහණ වූ නිසා ශෝකයට පත්  සුද්ධෝදන රජුගේ ඉල්ලීම මත දෙමාපියන්ගේ අවසරයෙන් තොරව දරුවන් පැවිදි නොකළ යුතු බවට විනය නීතියක් පැනවූයේ ද මෙම මාසයේ දීය.

මෙසේ පූජනීය වූ මැදින් පොහෝ දිනය අපි සැබෑ ලෙස ම හෘද සාක්ෂියට එකඟ ව පස් පවින් වැළකී ගත කළ යුතුය. එසේ ම අපගේ යහපත් හැසිරීම පොහොයකට පමණක් සීමා කළ යුතු නොවේ. එය නිතිපතා පුරුද්දක් විය යුතුය.

Written By: –

 

 

 

 

Rtr. Hirushi Rajapaksha
(Senior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top