හොදට හිතන්න අපි ආදරය කරන කොට ඇත්තටම අපි ඉන්නේ ඔහු/ඇය එක්කද? එහෙමත් නැත්තන් අපි හිතින් මවා ගත්ත රූපයක් නැත්නම් චරිතයක් එක්කද?
බොහෝ දුරට අපි කරන්නේ අපේ ආසවල් එයාලා තුළින් ඉස්මතු කර ගන්න හදන එක. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය උත්සහ කරන්නෙම දේවල් නොකියා පිරිමි ඒක තේරුම් ගනීවි කියලා බලන් ඉන්න එක. ගැහැණු අපි තත්පරයකට සිතිවිලි 1000ක් අතර දෝලනය වුණත් පිරිමි හාත්පසින්ම වෙනස්. එක මොහොතක එක දෙයකට විතරක් අවදානය දෙන විදියට ඔවුන්ගේ මනස හැඩ ගැහිලා තියෙන්නේ. ඉතින් මේ දෙපාර්ශ්වයෙන් කවුරු වුනත් තමන් ආදරය කරන කෙනාව වෙනස් කරන්න යනවා නම් එතන ඇත්තම ආදරයකට වඩා පිළිඹිබු වෙන්නේ තම අවශ්‍යතාව පරිදි අනෙකාව පාලනය කිරීමක්.
“ඔයා දැන් වෙනස් වෙලා”
අහලා හෝ ඇහිලා ඇති මේ වගේ දේවල් ඕනෑ තරම්. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? අපි ආදරය කරන කෙනාගෙන් අපි අපේක්ෂා කරන දේවල් ලැබෙන්නේ නැත්තන් සරලවම කිව්වොත් එයාලා අපි ආස විදියට ඉන්නේ නැත්තන් මේ වගේ සිතිවිලි අපිට දැනෙන එක නවත්වන්න අමාරුයි. එත් ඇත්තටම ගත්තොත් එයාලා වෙනස් වෙලා නෑ හැබැයි අපි බලාපොරොත්තු වෙන විදියට එයාලා හැඩ ගැහිලා නෑ. මේ දේ තේරුම් ගන්න පුළුවන් බොහොම සුළු පිරිසකට විතරයි.

ඒ වගේම තමා ආදරය ඇතුළෙදි අපි හැමෝම කතා කරනවා නමුත් සවන් දෙන්නේ කවුද? අපි හැමෝම “මට ඔයාට කියන්න දෙයක් තියනවා” කිව්වට, “ඔයා කතා කරන්න මම අහන් ඉන්නම්” කියලා කියන්නේ කීයෙන් කී දෙනාද? සරලයි වගේ පෙනුනට අපි නොදකින, කතා නොකරන පැතිකඩ මේකයි. බහුතරයක් දෙනා කරන්නේ තමුන්ගේ වාරය එනකන් කතා කරන්න බලන් ඉන්න එක. ඒත් අනෙකාගේ හිත තේරුම් ගන්න පෙළඹෙනවා අඩුයි. මෙතනදි “මම තමයි හරි” කියලා ඔප්පු කරන්න උත්සහ කරනවා මිසක් ප්‍රශ්න විසදන්නේ නෑ. අවසානයේදී අපි අපේ තර්කය ජයගන්න හදනවා. නමුත් සම්බන්ධතාවය පරාජය වෙනවා. සරලවම කිව්වොත් ඊගෝව (Ego) වැඩි උනාම දෙන්නාම පරදිනවා. තේරුම් ගැනීම වැඩි උනාම දෙන්නාම ජයගන්නවා. ආදරේ කියන්නේ කවුද හරි කියලා සටන් කරන එකක් නෙවෙයි. එකිනෙකාගේ සිතිවිලි වලට ගරු කරලා, එකම පැත්තේ හිදිමින් ලෝකෙට එරෙහිව එකට ඉන්න එක. ඇත්තටම සවන් නොදෙන ආදරයක් තුළ මිනිස්සු කතා කිරීම නවත්තන්නේ නැහැ, ඔවුන්ගේ බලාපොරොත්තු ඉතා ශබ්දයෙන් කතා කරනවා නමුත් හදවත නිහඬ වෙලා යනවා. එහෙම බැලුවොත් ආදරේ කියන්නේ ලස්සන වචනයක් විතරක්ම නෙවෙයි සවන් දෙන නිහතමානී හදවත් වල එකතුවක්.
අවසාන වශයෙන් සැබෑ ආදරේ කියන්නේ අපේ ආදරවන්තයා හෝ ආදරවන්තිය අපේ සිහින වලට වගේම ඕනෑ එපාකම් වලට ගැලපෙන්න පාලනය කිරීම නෙවෙයි. ඔවුන් ඇත්තටම ඉන්න ස්වරූපය පිළිගන්න එකයි. ඔවුන් කියන දේ සවන් දී, ඔවුන්ව ඔවුන් ලෙසම පිළිගැනීමයි. ආදරේදි කතා කරන එක පහසුයි නමුත් සවන් දෙන එකයි සම්බන්ධතාවයක් රැකගන්නෙ. ඉතින් ඔයාගේ එයාටත් පුළුවන් හැම වෙලාවකම සවන් දෙන්න.
Written By: –

Rtr. Hirushi Nethma
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

