චිත්තවේගීය බුද්ධිය (Emotional Intelligence – EI) යනු තමන්ගේම චිත්තවේග සහ අන්‍යයන්ගේ චිත්තවේග හඳුනාගැනීම, ඒවා පාලනය කිරීම සහ ඒවා ඵලදායී ලෙස භාවිතා කිරීමේ හැකියාවයි. මෙම සංකල්පය Daniel Goleman විසින් 1995දී ප්‍රකාශිත “Emotional Intelligence” පොතෙන් ප්‍රචලිත වූවකි. ඔහු පෙන්වා දුන්නේ IQ ට වඩා EI සාර්ථකත්වයට වැදගත් බවයි. මන්ද එය සබඳතා ගොඩනැඟීමට සහ චිත්තවේග පාලනයට උපකාරී වන බැවිනි. ආයතනික පරිසරය තුළ සාර්ථක වීමට තාක්ෂණික දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ.
Daniel Goleman විසින් චිත්තවේගීය බුද්ධියෙහි ප්‍රධාන සංරචක පහක් හඳුන්වා දෙන ලදී. Self-awareness, self-regulation, motivation, empathy, and social skills යනාදියයි.රැකියා ස්ථානයකදී EI ඉතා වැදගත් වන්නේ එය කණ්ඩායම් කාර්ය සාධනය, නායකත්වය සහ සමස්ත ආයතනයේම සාර්ථකත්වය ඉහළ මට්ටමකට ගෙන යන බැවිනි.
ඔහු විසින් හදුන්වා දුන් ප්‍රධාන සංරචක පහ මෙසේය.
- ස්වයං-අවබෝධය (Self-awareness): තමන්ගේම චිත්තවේග හඳුනාගැනීම.උදාහරණයක් ලෙස, “මම දැන් සිටින්නේ කෝපයෙන්” යනුවෙන් තම හැඟීම් තේරුම් ගැනීම.
- ස්වයං-පාලනය (Self-regulation): චිත්තවේග පාලනය කිරීම. කෝපයෙන් වහාම ප්‍රතිචාර නොදක්වා, සන්සුන්ව සිතීම සහ පාලනය කිරීම.
- ආත්ම-චිත්තවේගෛකතාව (Motivation): ඇතුළතින් එන උත්තේජනය. තම ඉලක්ක සාක්ෂාත් කරගැනීමට ආශාවෙන් ඉගෙනීම, උත්සාහ කිරීම.
- චිත්තවේගෛකතාව (Empathy): අන්‍යයන්ගේ හැඟීම් තේරුම් ගැනීම. සගයෙකුගේ දුක හෝ සතුට තේරුම් ගෙන, ඔහුට සහය දීම.
- සම්බන්ධතා කළමනාකරණය (Social skills): හොඳ සමාජ සබඳතා ගොඩනැඟීම. කණ්ඩායම්වල සහයෝගයෙන් වැඩ කිරීම, ගැටලු විසඳීම සහ සන්නිවේදනය.

රැකියා ස්ථානයේදී තම චිත්තවේගයන් තේරුම් ගනිමින් සහ පාලනය කරමින්, වැඩ කටයුතු වල නිරතවීම තුලින් බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකිය.
එක් ප්‍රධාන වාසියක් වන්නේ, ඵලදායී සන්නිවේදනයයි. EI ඇති කාර්ය මණ්ඩල සාමාජිකයින් තම චිත්තවේග පාලනය කරමින්, සක්‍රීයව සවන්දීමෙන් සහ අප්‍රකාශිත සංඥා හඳුනාගැනීමෙන් වඩාත් හොඳින් සන්නිවේදනය කරයි. ඒ නිසා ඔහු හෝ ඇය සමඟ කතා කිරීම සහ අදහස් හුවමාරු කර ගැනීම පහසු වේ. මෙය කණ්ඩායම් අතර විශ්වාසය සහ සහයෝගය වැඩි කිරීමට ද උපකාරී වේ.
දෙවැනිව, මෙය කණ්ඩායම් එකමුතුකම (teamwork) ශක්තිමත් කිරීමට උපකාරී වේ. බොහෝ රැකියා ස්ථානවල කාර්යයන් කණ්ඩායම් ලෙස සිදු කෙරේ. එවැනි අවස්ථාවලදී එක් පුද්ගලයෙකුගේ හැඟීම් හෝ අදහස් නොතේරෙන විට ගැටලු ඇති විය හැක. නමුත් EI ඇති සේවකයන් අනෙක් අයගේ අවශ්‍යතා සහ හැඟීම් සැලකිල්ලට ගනිමින් වැඩ කරයි. ඒ නිසා කණ්ඩායම් තුළ සමඟිය සහ ඵලදායිතාවය (productivity) වැඩි වේ.
එමෙන්ම, මෙය නායකත්ව හැකියාව (leadership skills) වර්ධනය කිරීමට ද බෙහෙවින් උපකාරී වේ.හොඳ නායකයෙකු වීමට නම් තම කණ්ඩායමේ සාමාජිකයින්ගේ හැඟීම්, ප්‍රශ්න සහ අවශ්‍යතා තේරුම් ගැනීම වැදගත් වේ. චිත්තවේගීය බුද්ධිය ඇති නායකයන් තම කණ්ඩායම උත්සාහවත් කරවීමට, ප්‍රශ්න විසඳීමට සහ හොඳ සම්බන්ධතා පවත්වා ගැනීමට සමත් වේ.Harvard විශ්ව විද්‍යාලයේ පර්‍යේෂණවලට අනුව, චිත්තවේගීය බුද්ධිය ඉහළ නායකයින් වඩාත් හොඳ තීරණ ගන්නා බවත්, කණ්ඩායම් සහයෝගය ඇති කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දෙයි. මෙය සේවක රඳවා ගැනීමේ අනුපාතය වැඩි කරයි.
ගැටලු කළමනාකරණය (conflict management) සඳහා ද චිත්තවේගීය බුද්ධිය වැද්ගත් වේ. රැකියා ස්ථානයේ විවිධ අදහස් සහ පසුබැසීම් නිසා ගැටලු ඇති විය හැක. එවැනි අවස්ථාවලදී උසස් චිත්තවේගීය බුද්ධියක් ඇති පුද්ගලයෙකුට සන්සුන්ව තත්ත්වය විශ්ලේෂණය කර නිසි විසඳුමක් සොයා ගැනීමට හැකි වේ. මෙය ආයතනය තුළ සන්සුන් හා හොඳ සේවා පරිසරයක් තබා ගැනීමට උපකාරී වේ.
එසේම, චිත්තවේගීය බුද්ධිය මානසික ආතතිය (stress) පාලනය කිරීමටද උපකාරී වේ. රැකියා ස්ථානයේ වැඩ පීඩනය, කාල සීමා සහ වගකීම් හේතුවෙන් ආතතිය ඇති විය හැක. නමුත් තම හැඟීම් පාලනය කළ හැකි පුද්ගලයෙකුට එවැනි අවස්ථාවලදී සන්සුන්ව සිටීමට සහ නිවැරදි තීරණ ගැනීමට හැකි වේ.
අවසන් වශයෙන්, චිත්තවේගීය බුද්ධිය යනු රැකියා ස්ථානයේ සාර්ථකත්වයට මග පෙන්වන අත්‍යවශ්‍ය කුසලතාවයකි. තාක්ෂණික දැනුම පුද්ගලයෙකුට රැකියාවක් ලබා දීමට උපකාරී වුවද, එම රැකියාවේ දිගුකාලීන සාර්ථකත්වය තීරණය කරන්නේ ඔහුගේ හෝ ඇයගේ හැඟීම් තේරුම් ගැනීම, පාලනය කිරීම සහ අනෙක් අය සමඟ ධනාත්මක සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාවයි.
“IQ gets you hired, but Emotional Intelligence gets you promoted.”
මෙම පාඨයෙන් පෙන්වා දෙන පරිදි, සාර්ථක වෘත්තීය ජීවිතයක සැබෑ ශක්තිය තිබෙන්නේ අපගේ හැඟීම් හඳුනාගෙන ඒවා බුද්ධිමත්ව කළමනාකරණය කිරීමේ හැකියාව තුළයි.

Written By: –

Rtr. Dinadi Harithma
(Junior Blog Team Member 2025-26)
Edited By: –

Rtr. Pasan Jithnuka
(Junior Blog Team Member 2025-26)

