ඇත්තටම මාධ්‍ය නිදහස කියන්නෙ මොකක්ද, මාධ්‍යවේදීන්ට ඒ නිදහස තිබෙනවාද?
මාධ්‍ය නිදහස කියන්නෙ මාධ්‍යවේදීන්ට දේශපාලනික, ආර්ථික, නීතිමය හෝ සමාජීය මැදිහත්වීම් සහ ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජන නොමැතිව ස්වාධීනව වාර්තාකරණයට ඇති හැකියාවයි. නමුත් ඔවුන්ට එලෙස තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට නිදහසක් තිබෙනවාද යන්න පිලිබදව අපි නැවත සිතා බැලිය යුතුයි.
වාර්ෂිකව මැයි 3 වන දින ලෝක මාධ්‍ය නිදහස් දිනය සමරනු ලබන්නේ, මාධ්‍ය නිදහසට අදාල මූලික මූලධර්ම සැමරීම, මාධ්‍ය ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ රාජකාරියේ යෙදී සිටියදී ජීවිත අහිමි වූ මාධ්‍යවේදීන්ට ගෞරව කිරීම සඳහායි. 1993 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙය, ප්රකාශනයේ නිදහස සහ ස්වාධීන මාධ්‍ය සඳහා ඇති අවශ්‍යතාවය ඉස්මතු කරනවා. මෙහි ආරම්භය සිදුවූයේ 1991 මැයි 3 වන දින නැමීබියාවේ අප්‍රිකානු මාධ්‍යවේදීන් පිරිසක් විසින් නිෂ්පාදනය කරන ලද නිදහස් මාධ්‍ය මූලධර්ම පිළිබඳ ප්‍රකාශයක් වන “වින්ඩ්හෝක් ප්රකාශනය” සම්මත කර ගැනීමෙනි.
මෙම දිනය සැමරීමේ අරමුණ වන්නේ මාධ්‍ය නිදහසෙහි ඇති වැදගත්කම මතක් කරවීම සහ සත්‍යය ජනතාව වෙත ගෙන ඒමට උත්සාහ කරන මාධ්‍යවේදීන්ගේ කැපවීම අගය කිරීමයි. එමෙන්ම මෙහිදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතියට ගරු කිරීමටත් එය ආරක්ෂා කිරීමටත් රජයන්ට මතක් කිරීමක් සිදු කරනවා. මෙවර මාධ්‍ය නිදහස සදහා වන දිනයේ තේමාව වන්නේ “Shaping a Future at Peace” යන්නයි. UNESCO සංවිධානය විසින් සෑම වසරකටම අදාළව තේමාවන් නිර්මාණය කරන අතරම, ගෝලීය වශයෙන් සැමරුම් මෙහෙයවනු ලබනවා.

වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුව හා සමාජ මාධ්‍ය භාවිතය බහුල වීම නිසා නිවැරදි මෙන්ම, වැරදි තොරතුරුද ජනතාව අතර පැතිර යාමේ විශාල ඉඩකඩක් පවතිනවා. එබැවින් සත්‍යය හෙළි කිරීම, බලධාරීන් වගකීම්වන්ත කරවීම සහ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමෙහිලා සමාජයකට නිදහස් මාධ්‍යයක් පැවතීම අත්‍යාවශ්‍යයි.
නිවැරදි තොරතුරු ලබා ගැනීම සමාජයේ සිටින සෑම අයෙකුගේම අයිතියකි. එය ආරක්ෂා කිරීමට තරුණ පරපුර ලෙස අපටද වගකීමක් ඇත. සමාජ මාධ්‍ය භාවිතා කරන විට සත්‍යය සහ වැරදි තොරතුරු වෙන්කර හඳුනා ගැනීමත්, විශ්වාසනීය මූලාශ්රයන් පමණක් ඇති තොරතුරු සහ සත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමත් අපගේ කාර්යභාරයකි.
ඒ නිසා අද අපි සත්‍යය සඳහාත්, මාධ්‍ය නිදහස සඳහාත් හඬක් වෙමු.
Written By: –

Rtr. Oshadi Ekanayake
(Junior Blog Team Member 2025-26)

