“ජීවිතය යනු අන් අය පරාජය කිරීම නොව, තමන්ව සොයාගැනීමේ ගමනකි.”
වර්තමාන සමාජයේ උදෑසන අවදි වන මොහොතේ සිට රාත්‍රියේ නින්දට යන තෙක්ම අප සැවොම නොදැනුවත්වම පාහේ කිසියම් හෝ දිවීමක නිරතව සිටිමු. දුරකථනයේ alarm නාදයට ගැස්සී අවදි වන තරුණයාගේ සිට, කාර්යාලීය ලිපිගොනු අතර අතරමං වන වෘත්තිකයා දක්වාත්, පාසල් බෑගයේ බරට වඩා විභාග බරින් මිරිකෙන දරුවාගේ සිට පවුල නඩත්තු කිරීමට වෙහෙසෙන දෙමාපියන් දක්වාත් අප සැවොම පොදු ප්‍රශ්නයකට මුහුණ දී සිටිමු. “ඇත්තටම අපි මේ ගත කරන්නේ ජීවිතයක්ද? නැත්නම් කෙළවරක් නැති තරඟයක්ද?”
ලෝක ප්‍රකට ලේඛක ඇලන් වොට්ස් (Alan Watts) වරක් මෙසේ පවසා ඇත:
“ජීවිතය කියන්නේ සංගීතයක් වගේ. ඒකේ අරමුණ සිංදුව ඉවර වෙන තැනට යන එක නෙවෙයි, ඒ සංගීතය වාදනය වන වෙලාවේ ඒකට නටන එකයි.”
නමුත් අවාසනාවකට, අද අප සැවොම උත්සාහ කරන්නේ සංගීතය රසවිඳීමට නොව, කෙසේ හෝ සිංදුව අවසන් වන තැනට මුලින්ම ළඟා වීමටයි.
අපේ ජීවිත “තරඟයක්” බවට පත් වී ඇත්තේ ඇයි? (Why this happens)
අතීතයේ මිනිසුන් ද සතුට සොයාගත්තේ සරල ජීවිතයකිනි. නමුත් වර්තමානයේ බොහෝ දෙනාට සරල ජීවිතයකින් සෑහීමකට පත් වීමට නොහැක්කේ ඇයි ? අප උපතින්ම මෙවැනි තරඟකාරීත්වයක් රැගෙන එන්නේ නැත. නමුත් අප අවට ඇති වටපිටාව විසින් අපව ක්‍රමයෙන් මෙම ධාවන පථයට තල්ලු කරනු ලබයි. ඊට ප්‍රධාන හේතු කිහිපයකි:
1. පාරිභෝගිකවාදය සහ ව්‍යාජ මිමි (Consumer Culture & False Standards)
නූතන වෙළඳපොල සහ පාරිභෝගික සමාජය විසින් අපට “සාර්ථකත්වය” යන්න මැනීමට අලුත්ම මිමි කිහිපයක් හඳුන්වා දී ඇත. උසස් අධ්‍යාපනය, ඉහළ වැටුපක් සහිත රැකියාව, සුඛෝපභෝගී වාහනය, තට්ටු නිවාසය මේ සියල්ල එම මිමි වේ. අද වන විට බහුතරයක් දෙනා ජීවත් වන්නේ තමන්ට අවශ්‍ය දේ කිරීමට වඩා, තමන් අන් අයට වඩා ඉදිරියෙන් සිටින බව පෙන්වීමටය.
මීට හොඳම උදාහරණයක් නම් වර්තමානයේ බහුතරයක් තරුණ තරුණියන් අතර පවතින ප්රවණතාවයයි. තමන්ගේ පළමු වැටුප ලැබුණු සැනින්, එයින් තමන්ගේ අත්‍යවශ්‍යම වුවමනාවක් පිරිමසා ගන්නවා වෙනුවට, සමාජයට ප්‍රදර්ශනය කිරීම සඳහා මිල අධික iPhone එකක් මිලදී ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ මේ “තරඟකාරී මානසිකත්වයේ” බලපෑම නිසාය.
මාගේ මතයනම් අන් අයගේ මිනුම්දඬු වලට අනුව ජීවත් වීම සාර්ථකත්වය නොවේ. ලෝකය ඔබ දෙස බලා කුමන ලේබලයක් ඇලවුවද, දවසේ අවසානයේ තමා පිළිබඳව තමාට දැනෙන ආත්ම තෘප්තිය සහ සැනසීමම සැබෑ සාර්ථකත්වයයි.
2. සමාජ මාධ්‍ය හරහා සිදුවන සංසන්දනය (The Social Media Comparison Trap)
Facebook, Instagram හෝ Tiktok හරහා අප දකින්නේ අන් අයගේ ජීවිතවල “හොඳම සහ ලස්සනම” අවස්ථා පමණි. අප මිලදී ගන්නා ඇඳුම, යන එන තැන්, සහ ලබාගන්නා ආහාර පවා සමාජ මාධ්‍ය හරහා අන් අයට ප්‍රදර්ශනය කර “Like” සහ “Comments” හරහා සතුට සෙවීමට යාම තුළ අප ජීවිතය විඳීම වෙනුවට, ජීවිතය පෙන්වීමේ තරඟයක නිරත වන බව පැහැදිලි වේ.
ඇමරිකානු ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් (Theodore Roosevelt) පැවසූ පරිදි:
“සංසන්දනය කිරීම යනු ඔබේ සතුට සොරකම් කරන සොරාය.” (Comparison is the thief of joy)
3. කුඩා කල සිටම මොළයට ඇතුළු කරන මතවාද (Early Childhood Conditioning)
අපේ අධ්‍යාපන ක්‍රමය සහ සමාජය සකස් වී ඇත්තේම තරඟයක් මතය. “පන්තියේ පළමුවැන්නා වෙන්න”, “එයාට වඩා ලකුණු ගන්න” යනුවෙන් කුඩා කල සිටම දරුවෙකුගේ මනසට ඇතුළු කරන්නේ සහජීවනය නොව, අන් අයව පරදා ඉදිරියට යාමේ චින්තනයයි. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිහිටියන් වූ පසුවද හැමදෙයක්ම දෙසම “තරඟකාරී” ඇසින් බැලීමට ඔවුන් හුරු වේ.
තරඟයේ අතුරු ආබාධ: ආතතිය සහ තනිකම
ජීවිතය තරඟයක් කර ගැනීමේ බරපතලම ප්‍රතිඵලය වන්නේ මිනිසා කායිකව මෙන්ම මානසිකවද දැඩි ලෙස රෝගී වීමයි (Workplace Burnout & Anxiety). අන් අයට වඩා ඉදිරියෙන් සිටීමට යාමේදී අපට අපගේ සෞඛ්‍යය, පවුලේ සතුට, සහ සැබෑ මිතුදම් මඟහැරී යයි. 24 පැය පුරාම පවතින නිමාවක් නැති කාර්යබහුලත්වය නිසා මිනිසුන් තුළ ඇති වන්නේ නොසන්සුන්කමකි.
සුප්‍රකට රෝම දාර්ශනික සෙනෙකා (Seneca) වරක් මෙසේ ප්‍රකාශ කළා:
“අපි ජීවිතය සැලසුම් කරමින් කාර්යබහුල වන අතරතුර, සැබෑ ජීවිතය අප පසුකර ඉදිරියටම ඇදී යයි.”
අවසානයේදී, සියලු භෞතික සම්පත් සපිරි, නමුදු හදවතේ සැනසීමක් නොමැති හුදකලා මිනිසුන් පිරිසක් සමාජය තුළ බිහි වේ.
තරඟයෙන් මිදී “ජීවිතය” සොයා ගන්නේ කෙසේද?
ජීවිතය යනු අන් අය අභිබවා ගොස් ප්‍රථමයා වීම සඳහා පවතින ධාවන පථයක් නොවේ. එය එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ, විඳිය යුතු සුන්දර අත්දැකීමකි. මෙම විෂමාචාර තරඟයෙන් මිදී සැබෑ ජීවිතය විඳීමට නම් අප අපගේ චින්තනය වෙනස් කරගත යුතුය.
Minimalism පුරුදු කිරීම: සන්තෝෂය රඳා පවතින්නේ අප සතු දේවල ප්‍රමාණය මත නොව, අප ලබන සැනසීම මත බව වටහා ගැනීම.
සමාජ මාධ්‍ය සීමා කිරීම (Digital Detox): අන් අයගේ “පෙන්නුම් කරන” සාර්ථකත්වයන් සමඟ තමන්ගේ සැබෑ ජීවිතය සැසඳීම නතර කිරීම.
තමන් සමඟ පමණක් තරඟ කිරීම: ඔබේ එකම තරඟකරුවා විය යුත්තේ ඔබේම අතීතයයි. ඊයේ සිටි පුද්ගලයාට වඩා අද ඔබ යහපත්, සාර්ථක පුද්ගලයෙකු වීමට උත්සාහ කිරීම සැබෑ දියුණුවයි.
භාග්‍යවතුන් වහන්සේ ද ධම්මපදයේදී දේශනා කර වදාළේ “සන්තුට්ඨිපරමං ධනං” යනුවෙනි. එනම්, මනුෂ්‍යයෙකුට ලැබිය හැකි ඉහළම සහ ශ්‍රේෂ්ඨතම ධනය වන්නේ “තමන් සතු දෙයින් සතුටු වීම” හෙවත් සෑහීමකට පත්වීමයි (Contentment). අප නොනවතින තරඟයක දුවමින් මිල මුදල්, යාන වාහන පසුපස හඹා ගියද, සිත ඇතුළත සෑහීමකට පත්වීමක් නැත්නම් අප සැමදා දුප්පතුන්මය.
අධ්‍යාපනය ලැබීම, රැකියාවක් කිරීම හෝ මුදල් ඉපයීම වරදක් නොවේ. එය ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ. නමුත් ගැටලුව වන්නේ එම දේවල් පසුපස හඹා යාම තුළ “ජීවත් වීමට” අමතක වීමයි.
අයිලන්ඩ් ජාතික කවි ආතර් ඕ’ෂෝග්නසි (Arthur O’Shaughnessy) ගේ මෙම සුන්දර පදය අප සැමවිටම මතක තබාගත යුතුය:
“ජීවිතයේ වටිනාකම මනින්නේ ඔබ හුස්ම ගන්නා වාර ගණනින් නොව, ඔබේ හුස්ම නවතා ලන තරම් සුන්දර මොහොතවල් ප්‍රමාණයෙනි.”
අවසානයේදී අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත: “අප මේ දුවන තරඟයේ කෙළවරක් තිබේද? එම කෙළවරට යන විට ජීවිතය අපට මඟහැරී ගොස් තිබුණහොත් එම ජයග්රහණයෙන් ඇති පලය කුමක්ද?”
එබැවින්, තරඟයේ වේගය මඳක් බාල කර, අවට පරිසරය දෙස බලා, ආදරණීයයන් සමඟ සිනාසී, හුස්මක් ගෙන ජීවිතය විඳීමට හුරු වෙමු. මන්ද, ජීවිතය යනු තරඟයක් නොව, එක් වරක් පමණක් ලැබෙන අපූර්ව සංචාරයකි.
Written By: –

Rtr. Dinadi Harithma
(Junior Blog Team Member 2025-26)

