සමහරු ආදරේ දෙද්දී,
සමහරු ආදරේ හෙව්වා…
සමහරු ආදරේ හොයද්දී,
සමහරු ආදරේ හැංගුවා…
මමත් එහෙමයි.
භෞතිකව නොගැඹුරු වුනත්
හදේ පතුලෙන්ම,
සුදු නොවුනත් පිරිසිදු ම ආදරේ පුදන්නට මමත් උත්සහ කරා.
පාරිශුද්ධ ආදරයක් දෙන්න,
පරිපූර්ණ ආදරවන්තයෙක් වෙන්න,
කඳුළින් තෙමුණ නෙත් සිනහවෙන් පුරවන්නට,
සතුටු මතක පමණක් ඉතිරි කරන්නට,
මගේ ම නොවුණත් නොඉඳුල් ආදරියක් ඉතිරි කරන්නට,
මගේ සිතත් නිතර නිතර කෙඳිරුවා.
ඒ නිසාම වෙන්නැති
නුඹට අහිතක් කරන්නට මමත් නොපෙළඹුණේ…
රෝමාන්තික හැන්දෑවක,
කාම රාග නොමැති මන්දාකිණියක,
අපි තනිවුණ වේලා අනන්තයි.
ඒ අතරම,
එක් ඇස් දෙකකට මමත් පෙම් බැන්දා.
කවදාවත් නොදකින දිස්නයක් ඒ ඇස්වල මං දැක්කා. ඒ නුඹේ ඇස් දෙකයි.
දහසක් සිනා මැද්දේ එක් සිනහවක් මගේ සිත අරක් ගත්තා. ඒ නුඹේ
සිනහවයි.
ඒත්,
නුඹ මාත් එක්ක වරුගණන් කතා කරත්,
මාත් සමඟ අනේක වේලා ගැවසුනත්,
මගේ අත තරමකින් හෝ ඇල්ලුවත්,
නා නා විධ ඉඟි නොඉඟියෙන් දුන්නත්,
නුඹ දිහා මං බලන කෝණයත්,
මං දෙස නුඹ දකින කෝණයත් අතර වෙනසක් මටම පෙනුණා.
තනිවම ඉද්දී ඉකිගසා හඬන මම, නුඹත් එක්ක සිනහපූර්ණ වුණා.
මනසින් සංසුන් වුණා. ආදරෙන් මම මටම තුරුළු වුණා.
නමුත්,
පවසගන්න බැරි දාහක් දේ මනසේ දෙදුරුම් දෙද්දී,
ඒ එකක්වත් නොපෙන්වා මම නුඹට තනිවම ආලේ කලා.
“සිදුහත් කුමරුත් යශෝදරාව දමා ගිහිගෙයින් නික්මුණේ
කියාගන්න බැරි ආදරේ පෙන්වුවොත්,
යශෝදරා දේවියත් ඉකිගසා හඬයි කියා වෙන්නැති.”
“පත්තිනි දෙවඟනත් පයෝධර කඩා දැමුවේ
ආදරේ වැඩි නිසාම වෙන්නැති.”
සමහරවිට හිමි වූ ආදර කතා මැද්දේ අහිමි වූ මගේ ආදරෙත් ලියවේවී.
ඒ නිසාම,
නොපෙන්වූ ප්‍රේමාධික හෘදයත්, නොපැවසූ ඒකපාර්ශ්වීය ආදරයත් මං තුළම
තබාගෙන, නුඹ සිටින තෙක් නුඹත් සමඟ කල්ගෙවන්න මමත් හිත රළු
කරගත්තා.
දිනෙක නුඹ මං දෙස කෙසේ බැලුවත්, ලස්සන අසීමාන්තික මතකයක්
නුඹට ඉතිරි වී තියේවී. ඒත් මතක තබාගන්න,
මං නුඹට ආදරෙයි!
Written By: –
Shakila Sathsara
(Junior Blog Team Member 2024-25)
Edited By:
Rtr. Thisara Kuruppuarachchi
(Senior Blog Team Member 2024-25)