අවුරුදු 4ක සරසවි ප්‍රේමය විදින්න අපි අවුරුදු 4ක් පාසල් ප්‍රේමය කැප කරා

 

ආදරේද ආකර්ෂනේද කියල දන්නෑ, හැබැයි මම මුලින්ම කෙල්ලෙක් එක්ක යාලු වුනේ, ආදරේ කළේ O/L කාලෙ.. ඒකත් මාස තුනේ ඩිප්ලෝමා පාඨමාලාවක්. මොකද දරුණු මත ගැටුම්, නොගැලපීම්, බහින්බස්වීම් මැද අවසානෙ අපි වෙන්වුනා. 
ප්‍රථම ප්‍රේමය අහිමිවීම කියන්නෙ දුකකට වඩා ලොකු කම්පනයක්.. අත්දැකීම තියෙන අය ඒක හොඳට දන්නවා. මමත් ඒ දවස්වල හරියට නයා මැරිච්ච අහිකුණ්ටකයා වගේ Mood ගහලා ඉන්නකොට තමයි අලුත් ප්‍රාර්ථනාවක් අරගෙන ප්‍රාර්ථනා මගේ ජීවිතේට ආවෙ..ප්‍රාර්ථනා.. 
ඔව් නම වගේම එයත් ප්‍රාර්ථනාවක්! හැබැයි අපි, කොහෙත්ම ආගන්තුකයො නෙමෙයි; මොකද අපි එකම ගමේ, එකම මොන්ටිසෝරියේ, එකම ඉස්කෝලෙ, එකම පන්තියේ යාලුවො නිසා.. 
ඒත් එච්චර වෙලත් යාලුවො කිව්වට අපි අතරෙ එහෙම ලොකු මිතුරුදමක් තිබ්බෙ නෑ.. හැබැයි මේ ආදරණීය ආගමනයයි, OL භීෂණ සමයයි ඒ යාලුකම සෑහෙන්න වෙනස් කරා. 
ඒ කාලෙ එයාට Commerce Subject එක සෑහෙන්න අමාරුයි, ඉතිං Syllabus එක ගොඩදාලා දෙන වගකීම නිරායාසයෙන්ම මට බාරගන්න සිද්ද වුනා. ඉස්කෝලෙදි, ගෙදරදි කොටින්ම කිව්වොත් ඉඩක් ලැබෙන හැමවෙලාවකම මට එයාට Commerce කියල දෙන්න සිද්ද වුනා. එහෙම උගන්වද්දි, වැදගත් විෂය කරුණු අතර පතර මගේ ප්‍රථම ආදර කතාවත් එයා ඉස්සරහ Episode by Episode දිගහැරෙද්දි නොදැනීම එයා මගේ දුක අහන අක්කා වුනා. 
ඔව්.. අක්කා කිව්වට වරදක් නෑ, දෙන්නම 2003 වුනාට ප්‍රාර්ථනා මට වැඩිය මාස තුනක් වැඩිමල්.. 
මෙහෙම ටික කාලයක් යද්දි යාලුවො දෙන්නා හොඳම යාලුවො වුනා වගේම ඒ යාලුකම ආදරයකට පෙරළෙන්නත් වැඩි කාලයක් ගියේ නෑ.
මට සෑහෙන කාලෙක ඉඳන් ප්‍රාර්ථනාට Propose කරන්න හිතුනත් අමල් පෙරේරගෙ සින්දුවක පද කිහිපයක් නිතරම ඔලුවෙ රැව් පිලිරැව් දුන්නා.. 
“දැනගත්ත දා ඈත වෙන්වී ගියෝතින්
හැමදාම විඳවන්න මා මෙහි තියා..
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා..” 
ඔව්.. එයාට ආදරේ ප්‍රකාශ කරාම එයා කොහොම React කරයිද? සමහර විට මාත් එක්ක ආයෙ කතා කරන එකක්ම නෑ, අපේ යාලුකම නැතිවෙයි කියල මම බය වුනා.. ඉතිං මට හැඟීම් හංගන් ඉන්න සිද්ද වුනා. 
මට තේරුනා හිතින් විතරක් ආදරේ කරන එක කොච්චරනම් අමාරුද කියලා.. ඉදල ඉදල බැරිම තැන මම උත්සාහය අතෑරියා. ඔව්.. මම ඕන දෙයක් වෙත්දෙන් කියල හිතට හයිය අරං ප්‍රාර්ථනාට Propose කරා. 
එදා මට ලැබුනෙ මම හීනෙකින්වත් බලාපොරොත්තු නොවුනු පිළිතුරක්.. ප්‍රාර්ථනාත් මට ආදරේ කරලා කාලයක් තිස්සෙම. ඉතිං තවත් අලුත් ආරම්භයක් එක්ක අපි දෙන්නගෙ යාලුකම ආදරේකට පෙරලුනා. 
බිල්ඩින් අස්සෙ, පුස්තකාල පඩිපෙළ ළඟ, සංගීත කාමරය තුල අපිට ආදරේ කරා, පෙම්බස් දෙඩුවා, හාදු හුවමාරු කරගත්තා.. 
ඉතිං වැඩිකල් නොයත්ම අපි දෙන්නගෙ ආදර පලහිලව්ව ගැන ඉස්කෝලෙ ගුරුවරුන්ගෙ අවදානයට ලක්වුනා. 
මම සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් වුනාට මොකද, එයා ශිෂ්‍ය නායිකාවක්.. ඒ හින්දම නිසාදෝ දවසක් ශිෂ්‍ය නායක කණ්ඩායම බාර ගුරුවරයා අපි දෙන්නව කැඳවලා අනිසි විදියට බලපෑම් කරා මේ සම්බන්ධය නවත්තන්න කියල.. 
එදා ඉඳන් අපි අස්සෙ පස්සෙ මුකුළු කරන්න ගියේ නෑ.. පොත් පෑන් දෙක තුනක් අරගෙන Principal’s Office එක ඉස්සරහම තියෙන Garden එකේ Bench එකේ වාඩිවෙලා පාඩම් කරන මුවාවෙන් ආදරේ කරා.. මට පෙනුන විදියට ඉරිසියාකාර ගුරු මණ්ඩලේටම එදා හික් ගෑවුනා. 
එක්කො එයාලට තේරෙන්නැති “මුන්නම් හදන්න බෑ” කියල, එහෙමත් නැත්තං තේරෙන්නැති “අපි වැරදියටනෙ හිතල තියෙන්නෙ, එයාලා ⁣ඉගෙනගන්න උනන්දු ළමයිනෙ” කියලා.. කෙසේ වෙතත් එදයින් පස්සේ අර ගුරා ආයෙ අපිට මොකුත් කීවෙ නෑ. 
අපි දෙන්නම දෙකට ගනින්න බෑ වගේ හිටියට, වෙලාව ආවම ඔය වගේ නූල් සුත්තර ගේම් ඕන තරම් දීලා තියෙනවා. 
ඔහොම යද්දි ගමේ මිනිස්සුන්ටත් අපේ පලහිලව්ව ගැන ආරංචි වෙනවා.. දන්නවනෙ ගමේ ගෑනුන්ගෙ හැකර කටවල් ගැන.. කොහොමහරි ප්‍රාර්ථනාගෙ අම්මටත් ඔය ඕපදුපය ආරංචි වෙලා දවසක් අපේ ගෙදරටම ඇවිත් මට හෙනම තගක් දාලා ගියා “උබල මගුල් නටන්නැතුව ප්‍රාර්ථනාට ඉගෙනගන්න දීපං.. අනික කෑලි කපලා ගඟේ මූදෙ දැම්මත්, උබටනම් මගේ දුවව දෙන්නෑ කියලා”. එදා ප්‍රාර්ථනාගෙ පුංචි පෝන් එකත් අම්මා අරගෙන.. අපිට Message කරන්නවත් විදියක් නෑ..කිව්වට මොකද ප්‍රාර්ථනාටයි මටයි අතෑරගන්න බැරි නරක පුරුද්දක් තියෙනවා “මිනිස්සු එපා කියන දේම කරන්න හිතෙන”. ඉතිං කවුරු මොනවා කිව්වත් අපි අපේ ආදර කතාව නැවැත්තුවෙ නෑ, බාධක මැද්දෙන් පරෙස්සමට අරගෙන ගියා. 
ඒ අතරෙ  අපි ඉගෙනීමම ආයුධයක් කරගෙන වෙනම Game එකක් Plan කරා අපිට ඇනුම්පද කීව, බාල්දි පෙරලපු හැමෝටම කටඋත්තර නැතිවෙන්නම Return එකකක් දෙන්න. 
අපේ Plan එක වුනේ A/L වලින් හොඳම Rank එකක් දාලා එකම Campus එකට Selected වෙන එක. හැබැයි ඕක Plan කරද්දි අපි O/L කරලවත් නෑ; ඒ කියන්නෙ අවුරුදු 4ක් අනාගතේට කරපු Plan එකක්. 
කොහොමහරි O/L Exams ලියල ඉවර වුන ගමන් අපි දෙන්නම A/Ls වල⁣ට Class යන්න පටන් ගත්තා, එයා Arts Stream එක තෝරගන්නකොට මම Commerce Stream එක තෝරගත්තා. 
එයාට ඕන වුනේ Colombo Law Faculty එකට එන්න වගේම මට ඕන වුනේ Colombo Management Faculty එකට එන්න. 
විෂය ධාරාවන් 2ක්.. එයා කරපු Logic Subject එක අපේ ඉස්කෝලෙ තිබුනෙ නෑ, ඉතිං මම හිටපු පාසලේම ඉද්දි, එයාට ටිකක් දුුර බාලිකා පාසලකට යන්න වුනා. අපිට අපිවම සෑහෙන්න මගෑරුනා. 
එක පාරක් වැහෙනකොට පාරවල් සීයක් ඇරෙනවලු.. අපේ ආදරේදිත් එහෙමයි.. පාසලෙන් වෙන්  වුනාට, ටියුෂන් එක ආයෙ අපිව ළං කරා. ඇළපාර, පරවි වැල්ල, Navy කුලුණ… තංගල්ලෙ ටියුෂන් ආපු අපි දෙන්නගෙ ප්‍රේමනීය පාරාදීසයන් බවට පත්වුනා. 
කොවිඩ් 19, ආර්ථික කඩාවැටීම්, ආර්ථික උත්පාත, දේශපාලන අස්ථාවරත්වයන්, නිතර හමුවීමට බාධා ඇති කලත් අපේ ආදරේනම් වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ. 
කොහොමහරි මේ සියල්ල මැද්දෙ අපි A/L Exam එක සාර්ථකව අවසන් කරා, Exam ඉවර වුන ගමන් මට පොඩි Job එකක් හම්බුනා, එයත් VTA Course එකකට Selected වුනා. ඒ හින්දා ඒ ටික කාලෙදිත් අපිට අපිවම මගෑරෙන්නටට වුනා. 
කාලය සාපේක්ෂව ගෙවිලා ගිහින් 2023 සැප්තැම්බර් 04 හරියටම හවස 04.37ට A/L Results ආවා. කොච්චර Confident පිට ලිව්වත් Exam එකක Results එනකොට අදටත් හිතට දැනෙන්නෙ චකිතයක්. ඉතිං එදාත් ඒ චකිතය එක්ක අපි Donets එක Check කරා.. 
ඔව්..  “ලව් කරන්න ගියාම අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා” කියන අජපල් බොරුව අපි දෙන්නා එකතුවෙලා පරාද කරල පෙන්නුවා. දෙන්නටම A3යි, දෙන්නටම Campus යන්න පුලුවන්. 
ඉතිං ඒ ගැම්මටම අපි,  අපි දෙන්නගෙම ඉලක්කය වුන කොළඹ කැම්පස් එක First Choice එක විදියට දාලා Apply කරත්, හිතපු නැති විදියට ප්‍රාර්ථනා Colombo Law වෙනුවට සුදුසුකම් ලබන්නෙ Colombo Art වලට..චුට්ටක් ගැස්සුනත් මොකද අපි Plan කරපු ඒ Game එක සාර්ථකව Play කරන්න අපිට පුලුවන් වුනා. 
අපේ ආදරේට තිබ්බ කරදර ඔක්කොම ඉවරයි කියල හිතාගෙන 2024 පෙබරවාරි මම මුලින්ම තුම්මුල් සරසවියට ආවා, හැබැයි Non – Academic Staff එක වර්ජනයක් පටන් අරං එතනදිත් මට තව මාස 6ක් බලන් ඉන්න සිද්ද කරා එයාව කැම්පස් ගෙන්න ගන්න.. ඔන්නෝක තමයි ප්‍රශ්නෙ.. 
කාලයක් ගතවුනත් කොහොමහරි ප්‍රාර්ථනාත් කොළඹ කැම්පස් එකට ආවා. මේ “අවුරුදු 4ක සරසවි ප්‍රේමය විදින්න අපි අවුරුදු 4ක් පාසල් ප්‍රේමය කැප කරා”. එදා ඉදන් අද වෙනකං අපි අපිට මගෑරුනු ආදරය උපරිමයෙන් විඳිනවා. තවත් විදියකට කියනවනම් ඇරියස් කවර් කරනවා. 
Management කැන්ටිම, තිසාවැව ලඟ Bench එක, Library Lift එක වගේම පස්වෙනි තට්ටුව.. මේ තුම්මුල්ලෙ අපිට හමුවෙන්න තියෙන, හාදු හුවමාරු කරගන්න තියෙන පෙම්මුල්ලවල් බවට පත්වුනා. 
සරසවි ප්‍රේමය ගැන මතක් කරනකොට, අපි දෙන්නටම මුහුණ දෙන්න සිද්ද වුන අප්‍රසන්නම අත්දැකීම ගැනත් අනිවාර්යයෙන්ම කියන්න සිද්ද වෙනවා. ඒ තමයි කුඩාකල නිසි අවදානය නොලැබුනු, කැම්පස් එක ගෙදරින් අරගෙන ආපු කිහිපදෙනෙක්ගෙන් අපිට කැම්පස් එක ඇතුලෙදි ලව් කරල අහුවෙන්න එපා කියලා තර්ජන ගර්ජන ආපු එක.. 
ඒ වගේ ගෞරවය බලෙන් ගන්න, බයකරල ගන්න පුලුවන් කියල හිතන සමහර හීනමානකාරයොන්ට දෙන්න පුලුවන් හොඳම Return එක තමයි, සතපහකට ගනන් ගන්නෙ නෑ, බය නෑ කියන එක ඔවුන්ට දැනෙන්න සලස්වන එක. 
ඒ හින්දම අපි ඒ සාපරාධී බියගැන්වීම් වලට බය නොවී, ගනන් නොගෙන අදටත් කැම්පස් එක ඇතුලෙ ලව් කරනවා. 
ආදරේ උතුරන්න තිබ්බට, තාම අපි දෙන්නම මහලොකු සල්ලිකාරයො නෙමෙයි. ඒ හින්ද සමහර දවස්වලට දෙන්නම එක බත් එකෙන් දවසම බැලන්ස් කරනවා, බත් එකක් ගන්නත් සල්ලි නැති දවස්වලට ප්ලේන්ටියක් දෙකට බෙදන් බොනවා. එහෙම තමයි ජීවිතේ.. 
දෙන්නටම පොඩියට ටියුෂන් එකක් කරලා, Contract එකක් කරලා යහමින් ගානක් හම්බෙන දවස් වලට අපි කරන්නෙ, Lectures ඉවර වෙලා බෝඩිමට යනගමන් නවලෝක හෝල්ට් එක ඉස්සරහ තියෙන කෑම කරත්තෙන් Chicken Bun දෙකක් අරං, කනගමන් කියව කියව කොම්පඤ්ඤවීදිය වෙනකන්ම පයිං යන එක. ඒක වෙනමම Vibe එකක්.. 
අපි කැම්පස් ඇවිත් අවුරුද්දකුත් වෙන්න ළඟයි, මේ ගෙවුන ටික කාලෙට, Law කැන්ටිමට ගිහින් ප්ලේන්ටියයි වඩයයි කකා චැටක් දාන එක, මන්දාවට වෙලා හෙමීට සින්දුවක් මුමුණන එක, Art එකේ ගේට්ටුව ලඟ Bench එකට වෙලා රෑ වෙනකං මදුරුවො තල තල රන්ඩුකරගන්න එක.. දැන් අපි දෙන්නගෙ දින චර්යාව වෙලා.. 
අද වගේම එදාත්, හැමදාකමත් ලස්සන, සුන්දර ආදරකතාවලට, ආදරවන්තයින්ට මේ කොළඹ සරසවිය තෝතැන්නක් වෙන්නට ඇති; වේවි! සහ ඒ කතාන්දර ඇතුලෙ, ප්‍රාර්ථනාගෙයි හේෂාන්ගෙයි ආදර කතාවටත් අනිවාර්යයෙන්ම පුංචිම හරි තැනක් තියේවි කියල අපි හිතනවා. 
අද අපි ඉන්න තැන ඉඳන් ආපස්සට හැරිලා බැලුවොත්, සරසවි ප්‍රේමය කියන්නෙ අපේ මේ කතාවෙ තවමත් දිගහැරෙමින් තියෙන එක් පරිච්ඡේදයක් විතරයි. තව ලස්සන පරිච්ඡේද ගණනාවක් අනාගතේදි අපි දෙන්නා මේ කතාවට එකතු කරාවි. 
මේ ලියපු අපේ කතාව කොඩිගහයට හැටේ වත්තෙ මහේෂ් අයියගෙ කියමනක් එක්කම, දැනට මෙතනින් අවසන් කරන්නම්.. 
“අපි ඇවිත් තියෙන්නෙ ටික දුරයි.. තව දුර ගමනක් යන්න තියෙනවා..!”

Written By: –

 

 

 

 

Rtr. Heshan Dissanayake
(University of Colombo)

Edited By:

 

 

 

 

Rtr. Naduni Premathilaka
(Senior Blog Team Member 2024-25)

Spread the love
guest


0 Comments
Inline Feedbacks
View all comments