බුදු දහමේ හරය වන්නේ හුදෙක් ආගමික වතාවත්වලට සීමා වූ ජීවන රටාවක් නොව, ප්‍රඥාවෙන් ලෝකය දෙස බැලීමටත්, කරුණාවෙන් සියලු සත්ත්වයන් වෙත ළඟා වීමටත් මිනිසාට මඟ පෙන්වන උතුම් දර්ශනයකි. එම දර්ශනයේ අසිරිමත් ශාසනික සිදුවීම් රැසක් සිහිපත් කරවන ඉල් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ඉතිහාසයේ පමණක් නොව, මානව සමාජයේ ආධ්‍යාත්මික පරිවර්තනයේ ද වැදගත් සන්ධිස්ථානයකි. ඉල් පොහොය යනු දින දර්ශනයේ සටහන් වන තවත් එක් පුර පසළොස්වක දිනයක් පමණක් නොවේ. එය ධර්මයේ ආලෝකය එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගලා ගිය, මනුෂ්‍යත්වයේ අර්ථය කරුණාව හා ප්‍රඥාව තුළින් නැවත අර්ථකථනය වූ දිනයකි.
ඉල් පොහොය දිනයේ වැදගත්ම ශාසනික සිදුවීමක් වන්නේ ප්‍රථම ධර්මදූත මෙහෙවර ආරම්භ වීමයි. බරණැස ඉසිපතනාරාමයේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව රහත්භාවයට පත් වූ පස්වග මහණුන් ඇතුළු රහතන් වහන්සේලා හැටනමක් ධර්ම ප්‍රචාරය සඳහා විවිධ දිශාවන් වෙත පිටත් කර හැරීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළහ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, “චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය…” යනුවෙනි. එනම් බොහෝ දෙනාගේ හිතසුව පිණිසත්, බොහෝ දෙනාගේ සුවය පිණිසත් ධර්මය දේශනා කරමින් චාරිකාවේ හැසිරෙන ලෙසයි.
තමන් අවබෝධ කරගත් සත්‍යය තමන් තුළ පමණක් රඳවා නොගෙන, ලෝකයාගේ යහපත වෙනුවෙන් බෙදා දීමේ උතුම් ආදර්ශය එමඟින් ප්‍රකාශ වේ. අද ලෝකය තාක්ෂණයෙන් හා දැනුමෙන් ඉදිරියට ගමන් කළ ද, මානව සබඳතා තුළ කරුණාව, සහකම්පනය හා අවබෝධය පවත්වා ගැනීමේ අවශ්‍යතාව එදාටත් වඩා අද දින දැනෙන්නේ එබැවිනි.
මෛත්‍රී බෝසතාණන් වහන්සේට නියත විවරණ ලැබීම ද ඉල් පොහොය හා සම්බන්ධ සුවිශේෂී ශාසනික සිදුවීමකි. අනාගතයේදී ලොව පහළ වීමට නියමිත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිළිබඳ බෞද්ධ විශ්වාසය තුළින් මෛත්‍රිය, අපේක්ෂාව සහ අනාගතය පිළිබඳ ආධ්‍යාත්මික විශ්වාසය ප්‍රකට වේ.

උරුවෙල් දනව්වේ ජීවත් වූ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම ද ඉල් පොහොය හා සම්බන්ධ ශාසනික සිදුවීම් අතර සඳහන් වේ. පසුව ඔවුහු බුදු සසුනට එක් වූහ. මෙම සිදුවීම තුළින් පෙනී යන්නේ සමාජය තුළ පවතින විවිධ විශ්වාස, මතවාද හා ආකල්ප වෙනස් කිරීම සඳහා බලහත්කාරය නොව, ප්‍රඥාව, ඉවසීම සහ කරුණාව වැදගත් වන බවයි. මතභේදවලින් පිරුණු වර්තමාන සමාජයට ද මෙය ඉතා වටිනා ආදර්ශයකි.
අන්‍යයන්ගේ වේදනාව හඳුනාගැනීම, වෛරය වෙනුවට මෛත්‍රිය තෝරාගැනීම, අසාධාරණය ඉදිරියේ නිවැරදිව කටයුතු කිරීම සහ තමන්ගේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් තවත් කෙනෙකුගේ සිත නොරිදවීම යන සියල්ල ධර්මය ජීවිතයට සමීප කරගැනීමේ ප්‍රායෝගික මාර්ග වේ. බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ ධර්මදූත මෙහෙවරේ සැබෑ අරුත වන්නේ දැනුම, කරුණාව සහ ප්‍රඥාව ලෝකය සමඟ බෙදාගැනීමයි.
එබැවින් මෙම පින්බර ඉල් පොහොය දිනයේදී අතීත ශාසනික සිදුවීම් සිහිපත් කරමින්, සිත තුළ මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව වර්ධනය කර ගනිමින් යහපත් ජීවිතයක් ගත කිරීමට අදිටන් කර ගනිමු.

Written By: –

Rtr. Dimali Bhagya
(Senior Blog Team Member 2026-27)

