ඒ ඇස්.

මට ඒ ඇස් මුණ ගැසුණේ අහම්බෙන්. මං මේ අහම්බෙන් කියන්නෙ පාර
වල්වල, බස්වල දකින ලස්සන මූණු දැකලා සැණෙන් මග ඇරෙනවා වගේ
නෙවෙයි. දෛවය ලියලා තියෙන විදිහට ඔයාව හමු වුණත් මට ඔයා වගේ
කෙනෙක් හමුවෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා.
කාලයට කොච්චර දේවල් කරන්න පුළුවන් ද? මිනිස් සබඳතා කොච්චර ළං
කරනවා ද ඈත් කරනවා ද? අපි කොච්චර ළං වුණා ද? අඳුනන්නෙ නැති අපි
අඳුන ගත්තා. ඒත් කතා කළේ නෑ. ඉතින් අපි ටික කාලයකට වෙන් වුණා. නැවත
දෛවය අපි ව මුණ ගැස්සුවා. අඳුනන අපි කතා කළා. මේ වතාවෙ මං ආසම දේ,
අපි ඇස් වලින් කතා කළා. දන්නවද හැම මිනිහෙකුට ම ඇස් වලින් කතා
කරන්න බෑ. නො කියන වචන තේරුම් ගන්න බෑ. ඒත් මට පුළුවන් තරමට ම
ඔයාටත් පුළුවන්. ඉතින් මං හරිම ආදරෙයි ඔය ඇස් වලට.
ඉතින් අපි ආයෙත් වෙන් වුණා ආයෙමත් ළං වෙන්නෙ කවදද කියල නො දැන ම.
ඒත් ඒ ලස්සන, මං ඔයා දිහා බලන් හිටපු දිග දවස්, අමතක නොවේවි
හැමදාටම.එක දවසක් තිබුණා මං ආදරෙන් ඇස් තෙත් කරන් ඔයා දිහා බලන් හිටපු. ඔයා
මං ළඟින් ම ඉඳ ගෙන හිටියා කවදාකවත් නැතිව. ඔයාගෙ ඇස් වල තිබුණේ
ආදරය නෙවෙයි. මට දැනුණේ ආකර්ෂණයක්. මං මේ කියන්නේ හැමෝම කියන
ආදරයට කලින් ඇති වෙන ආකර්ෂණය නෙවෙයි. මං දන්නෙ නෑ ඒ හැඟීම වචන
කරන්න ඇත්තටම.
අන්තිම වතාවට මං ආයෙම ඔයාව දැක්කා දුර ඉඳන්. හරියට ආදර චිත්‍රපටවල
වෙනවා වගේ මුලු ලෝකය ම නතර වුණා. මට ඔයාව, ඔයාගෙ ඇස් විතරක් ම
දැනුණා. අපි හිටියෙ එළිමහනක නම් වැහි පොද වැටෙනවා දැනෙන්න තිබුණා.මල්
මගෙ හද ගැස්මේ තාලයට වැනෙන්න තිබුණා. සුළඟට කෙස් ඇවිත් මුහුණේ දඟ
කරන්නට තිබුණා. ඒත් අපි හිටියෙ එහෙම ලස්සන තැනක නෙවෙයි. ඔයා මගෙත්
නෙවෙයි. මට ඔයා කොච්චර දැනුණාත් ඔයා මගෙ නෙවෙයි කවදාකටවත්. ඉතින්
මං ඔයාට ළං නොවී මගින් ම හැරුණා.මං දන්නෙ නෑ ඇත්තටම හිමි වෙන්නෙ නැත්නම් ඇයි අපිට වටින මිනිස්සු
හම්බෙන්නෙ කියලා, දැනෙන හැම හිතක් ම අයිති කර ගන්න හිතන්නෙ කියලා,
ඇයි අපිට දැනෙන හිත් අයිති කර ගන්න බැරි කියලා.ආ..අන්තිම මොහොතෙ මට වලංගු හේතුවක් මතක් වුණා ආර්ථික විද්‍යාවට ස්තුති
වෙන්න. ඔව්, ඒ හිඟකම නිසා. කුමක් හෝ සාධකයක හිඟකමක් නිසා.
ඉතින්, ඒ ඇස් මගෙ නොවෙන්න හිඟ වෙන්න ඇත්තෙ මොනවා ද කියල
ඔයාලට අදහසක් තියේ ද?

Written By: –

 

 

 

 

Hirushi Nethmini

Edited By: –

 

 

 

 

Rtr. Naduni Premathilaka
(Senior Blog Team Member 2024-25)

Spread the love
guest


0 Comments
Inline Feedbacks
View all comments