මහනුවර පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින දළදා වහන්සේ ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙස සලකා බැතිමතුන් එයට වන්දනාමාන කරති. මේ හේතුව නිසාම දිනපතා, සතිපතා සහ වාර්ෂික පූජා හා චාරිත්‍ර පවතී. වාර්ෂිකව ඇසළ මාසයේ ( අගෝස්තු) පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර නමින් ප්‍රසිද්ධ දළදා පෙරහැර ඒ අතර වේ. එය ශ්‍රී ලංකාවේ බෞද්ධ සැමරුම්වල සුවිශේෂී සැමරුම ලෙස සලකනු ලබන අතර දේවත්වයෙන් ආශිර්වාද ලබන්නාවූ උතුම් පිංකමකි. දීඝ පරිච්ඡේදයේ මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව, තවත් සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපයක් අතර, මහාපරිනිර්වාණයෙන් පසුව සතර දළදා වහන්සේ නිරුපද්‍රිතව පැවතුණි. කාලිංග රාජ්‍යයේ මුටසීව රජ දවස දිගින් දිගටම ඇති වූ ගැටුම් හේතුවෙන් වසර 45ක් පුරාවට ශ්‍රී සද්ධර්මයෙන් පිරිපුන් සතර දළදා වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරන ලදී. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු කිත්සිරිමෙවන් රජ දවස ශ්‍රී දළදා සමිඳුන් සුරකිනු පිණිස දළදා වහන්සේ ලංකාවට වැඩම කරවූහ. මෙම සිදුවීම ක්‍රිස්තු වර්ෂ 310 දී සිදු විය. ශ්‍රී දළදා සමිඳුන් වැඩමවීමෙන් පසු ප්‍රථම වරට ඉසුරුමුණිය විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර, කිත්සිරිමෙවන් රජු විසින් ධාතූන් වහන්සේ හට ගෞරවාදරයෙන් වන්දනාමාන කරන ලදී. ශ්‍රී දළඳා වහන්සේ ගේ ආශ්චර්යයෙන් කිත්සිරිමෙවන් රජු සහ රටවැසියන් මවිතයට හා විස්මයට පත් විය. ඔවුන් එය අනුරාධපුර රාජධානියේ වාර්ෂික උත්සවයක් බවට පත් කළේ කලට වැසි සහ හොඳ අස්වැන්නක් අපේක්ෂාවෙනි. වත්මන් දළදා පෙරහැර සඳහා පසුබිම සැකසුණේ එම තත්ත්වයන් මතයි. රජතුමා කිරුළු පැලඳීම කෙසේ වෙතත්, නිසි කලට වර්ෂාව ලබා දෙන ආශ්චර්යමත් ශ්‍රී දළදා සමිඳුන්ගේ භාරකාරත්වය නොලැබුනේ නම්, රටවැසියන් ඉදිරියේ ඔහු සැබෑ නායකයා ලෙස නොසැලකේ. එය එදා සිට අද දක්වා පවතින සම්ප්‍රදායකි. අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ මහනුවර රාජධානිවල වාර්ෂික දළදා පෙරහැර සර්වඥ දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වය ප්‍රදර්ශනය කිරීම සහ සර්ව ආගමික වතාවත් හා පූජාවන් සමඟින් පැවැත්විණි. පළමුවැනි විමලධර්මසූරිය රජතුමා කිරුළු පැළඳුවත් දළදා සමිඳුන්ගේ භාරකාරත්වය නොලැබුණු නිසා රටවැසියන් අතර සැබෑ රජු ලෙස සැලකුවේ නැත. එබැවින් දළදා වහන්සේ සෙංකඩගල (වත්මන් මහනුවර) රාජධානියට වැඩම කරවීමට ඔහු විසින් නොයෙකුත් උත්සාහයන් ගන්නා ලදී. පසුව දෙවනගල රත්නාලංකාර හිමියන්ගේ ආරක්‍ෂාව යටතේ සබරගමුව දෙලගමුව මහා විහාරයේ සිට රහසිගතව දළදා වහන්සේ ඌව පළාත හරහා මහනුවරට වැඩම කරවා පළමුවරට මහනුවර අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානයේ තැන්පත් කරන ලදී. ඉතිහාස කතාවලට අනුව රජ මාලිගා පරිශ්‍රයේ ශ්‍රී දළදා මාලිගාව ඉදිකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර දළදා මාලිගාව ආරම්භ විය. ශ්‍රී දළදා පෙරහැර නොයෙකුත් පුද පූජා හා ප්‍රසංගවලින් යුතුව අඛණ්ඩව ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගත් ශ්‍රී දළදා පෙරහැර, ක්‍රිස්තු වර්ෂ 1815 දී රට මුළුමනින්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වන තෙක් ඇසළ මාසයේ පැවැත්විණි. දියවඩන නිලමේවරයෙකුගේ භාරකාරත්වය ඇතිව ශ්‍රී දළදා පෙරහැර සහ ශ්‍රී දළදා සමිඳුන්ට අදාළ සම්ප්‍රදායන් අඛණ්ඩව සිදුකෙරිණි. බෞද්ධ ගෞරවය හා කරුණාව මුල්කරගත් දළදා පෙරහැර සම්ප්‍රදාය දේවාල චාරිත්‍ර වාරිත්‍ර සමඟ මුසු වූයේ පරම මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින්ය. මංගල හස්තිරාජයා මත වඩමවා වීදි සංචාරය කරන සධාතුක කරඩුව, ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා බැතිමතුන් වන්දනාමාන කරයි. මෙය ලෝකයේ පැරණිතම සංස්කෘතික උත්සවය ලෙස සැලකෙන අතර එහි වර්ණවත්, චමත්කාරජනක තේජසින් එය අමරණීය අත්දැකීමක් බවට පත් කරමින් අඛණ්ඩව පවතී.
Written By:
Rtr. Sandamalie Nawarathna
(Blog Team Member 2024-25)
Edited By: –
Rtr. Naduni Premathilaka
(Blog Team Member 2024-25