තරුණ ජීවිතයට මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම

“ඔබේ මුදල් පාලනය කිරීමට ඔබට නොහැකි නම්, මුදල් විසින් ඔබව පාලනය කරන දිනය වැඩි ඈතක නොවේ.”- ඩේව් රැම්සි (Dave Ramsey)

වර්තමාන වේගවත් ලෝකයට මෙම කියමන ඉතාමත් වලංගු වේ. විශේෂයෙන්ම පාසල් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර, රැකියාවකට හෝ ස්වයං රැකියාවකට පා තබන තරුණ පරපුරට තමන් උපයන මුදල් නිවැරදිව කළමනාකරණය කරගැනීමේ හැකියාව හෙවත් මූල්‍ය සාක්ෂරතාවය (Financial Literacy) අතිශයින්ම වැදගත් වේ.

නමුත් අවාසනාවකට මෙන්, අපේ රටේ සාම්ප්‍රදායික විෂය මාලාවන් තුළ මුදල් ඉපයීම හෝ විභාග සමත් වීම ගැන ඉගැන්වුවද, උපයන මුදල නිවැරදිව පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව උගන්වන්නේ කලාතුරකිනි.

මූල්‍ය සාක්ෂරතාවය යනු කුමක්ද?

සරලවම කිවහොත් මූල්‍ය සාක්ෂරතාවය යනු මුදල් උපයන ආකාරය, එය වියදම් කරන ආකාරය, ඉතිරි කරන ආකාරය සහ ආයෝජනය කරන ආකාරය පිළිබඳව ඇති නිවැරදි අවබෝධයයි. එය හුදෙක් ගණන් හිලව් හැදීමක් පමණක් නොව, ඔබේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ගන්නා බුද්ධිමත් තීරණ සමුදායකි.

“මූල්‍ය සාක්ෂරතාවය යනු හුදෙක් මුදල් ඉතිරි කිරීමක් නොවේ; එය මුදල් පිළිබඳව නිවැරදි තීරණ ගැනීමේ හැකියාවයි.”

තරුණ වියේදීම මෙය වැදගත් වන්නේ ඇයි?

1. “අවශ්‍යතා” සහ “වුවමනා” අතර වෙනස හඳුනාගැනීමට

රැකියාවකට මුලින්ම පිවිසෙන තරුණයෙකුට තමන්ගේම කියා ආදායමක් ලැබෙන විට විශාල නිදහසක් දැනේ. නවතම ජංගම දුරකථන, නවීන විලාසිතා සහ ක්ෂණික ආහාර වෙනුවෙන් මුදල් වියදම් කිරීමට ඔවුන් පෙළඹෙන්නේ එබැවිනි. මෙයට කදිම නිදසුනක් වන්නේ, තමන් උපයන පළමු වැටුපෙන්ම, අතේ ඇති මුදලටත් වඩා වැඩි මිල අධික iPhone එකක් මිලදී ගැනීමට අද තරුණ පරපුර දක්වන දැඩි ලැදියාවයි. ඔවුන් මුදල් කළමනාකරණයට වඩා උත්සාහ කරන්නේ සමාජයට තමන් පොහොසත් බව පෙන්වීමටය.මෙහිදී මූල්‍ය සාක්ෂරතාවය ඇති තරුණයෙකු, තමන්ට අත්‍යවශ්‍ය දේ (Needs) සහ තමන් ආශා කරන නමුත් පසුව ලබාගත හැකි දේ (Wants) මොනවාදැයි පැහැදිලිව වටහා ගනිමින් ඔහු මනා ලෙස මූල්‍ය කළමණාකරණය කරයි.

2. ණය උගුල්වලින් බේරීමට හැකි වීම

වර්තමාන ඩිජිටල් ආර්ථිකය තුළ ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards) සහ “දැන් මිලදී ගෙන පසුව ගෙවන්න” (Buy Now, Pay Later – BNPL) වැනි ක්‍රමවේදයන් තරුණ පරපුර ඉතා සූක්ෂ්ම මූල්‍ය උගුලක සිර කිරීමට සමත්ව ඇත.මෙහිදී තරුණ තරුණියන් විශාල ලෙස තමන්ට අත්‍යවශ්‍ය නොවන වුවමනාවන් ණය වී හෝ සපුරා ගැනීමට උත්සාහ කරති.නමුත් අවසානයේදී ඔවුන් නොසිතනා අයුරින් විශාල ණය උගුලකට හසුවෙති.

මේ පිළිබඳව ලොව සුපිරි ධනවතෙකු වන වොරන් බෆට් පවසන්නේ අපූරු කතාවකි:

“ඔබට අනවශ්‍ය දේවල් මිලදී ගැනීමට ඔබ මුදල් වියදම් කරන්නේ නම්, නොබෝ දිනකින්ම ඔබට ඔබේ අත්‍යවශ්‍ය දේවල් පවා විකිණීමට සිදුවනු ඇත.” – වොරන් බෆට් (Warren Buffett)

3. ආයෝජනයේ වටිනාකම වටහා ගැනීමට (Value of Investing)

තරුණ වියේදී රුපියල් 1,000ක් ආයෝජනය කිරීම, වයස අවුරුදු 40කදී රුපියල් 10,000ක් ආයෝජනය කිරීමට වඩා වටී. මන්ද, තරුණ අයට කාලය නමැති වටිනා සම්පත ඉතිරිව පවතී.

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවා වැල් පොලී ක්‍රමය (Compound Interest) හැඳින්වූයේ ලොව අටවැනි පුදුමය ලෙසයි. නිවැරදි මූල්‍ය අවබෝධයක් ඇති තරුණයෙකු මුදල් නිකම්ම තබා නොතබා, සුරක්ෂිත ආයෝජන වෙත යොමු කිරීමට උත්සාහ කරයි.

4. හදිසි අරමුදලක ඇති වටිනාකම (Emergency Fund)

ජීවිතය සැමදා එකලෙස ගලා යන්නේ නැත. රැකියාවක් අහිමි වීමක් හෝ වෙනත් ඕනෑම හදිසි අවශ්‍යතාවකදී අන් අයගෙන් අතපා ණය ගැනීමට සිදුනොවීමට නම් තමන්ට කියා “හදිසි අරමුදලක්” (Emergency Fund) තිබිය යුතුය. අවම වශයෙන් මාස 3-6ක වියදම් පියවා ගත හැකි මුදලක් මේ වෙනුවෙන් වෙන්කර තැබීමට තරුණ වියේදීම පුරුදු විය යුතුය.

5. ඩිජිටල් මූල්‍ය වංචාවලින් ආරක්ෂා වීමට (Cyber & Financial Scams)

වර්තමාන ඩිජිටල් ලෝකයේ තරුණ තරුණියන් අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කිරීමට බෙහෙවින් හුරු වී සිටී. නමුත් මූල්‍ය සාක්ෂරතාවයේ තවත් ප්‍රධාන පැතිකඩක් වනුයේ ආරක්ෂාවයි.

Crypto සහ Easy Money උගුල්:

ඉතා කෙටි කලකින් අධික ලාභ ලබාදෙන බව පවසන වංචනික “පිරමිඩ ජාවාරම්” (Pyramid Schemes), ව්‍යාජ Cryptocurrency ආයෝජන සහ Forex trading apps් පිළිබඳව තරුණයන් දැනුවත් විය යුතුය.

6. උද්ධමනය සහ මුදලේ අගය බිඳවැටීම පිලිබදව වටහා ගැනීමට (Understanding Inflation)

මුදල් නිකම්ම බැංකු ගිණුමක හෝ තැන්පත් කර තැබීම පමණක් ප්‍රමාණවත් නොවන බව තරුණ පරපුර වටහා ගත යුතුය.

අද රුපියල් 1,000කින් මිලදී ගත හැකි දේ තව වසර 5කින් මිලදී ගැනීමට ඊට වඩා වැඩි මුදලක් වැය වේ. උද්ධමනය (Inflation) නිසා මුදලේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වේ.

මූල්‍ය සාක්ෂරතාවය ඇති පුද්ගලයෙකු කරන්නේ මුදල් නිකම්ම තබා නොගෙන, උද්ධමන වේගයට වඩා වැඩි ප්‍රතිලාභයක් (Return on Investment) ලැබෙන රන් ආභරණ, ඉඩකඩම් හෝ විශ්වාසවන්ත අන්‍යෝන්‍ය අරමුදල් (Mutual Funds) වැනි ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමයි.

7. ක්‍රෙඩිට් ලකුණු (Credit Score) පිළිබඳ අවබෝධය

ලංකාවේ Credit Information Bureau (CRIB) වාර්තාව පිළිබඳව බොහෝ තරුණයන් දන්නේ නැත.තරුණ වියේදී ගන්නා සුළු ණයක් (උදාහරණයක් ලෙස දුරකථනයක් ගැනීමට ගන්නා ලීසිං පහසුකමක් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක්) නියමිත වේලාවට නොගෙවීම නිසා CRIB වාර්තාව “අසාදු ලේඛනයට” (Blacklist) ඇතුළත් විය හැකිය.

මෙය පසුව තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යාපාරික ණයක් (Business Loan) හෝ නිවසක් සෑදීමට නිවාස ණයක් (Housing Loan) ලබාගැනීමේදී විශාල බාධාවක් වේ.

8. පැසිව් ආදායම් මාර්ග (Passive Income) ගොඩනැගීම

හුදෙක් එකම එක රැකියාවකින් ලැබෙන වැටුප මත පමණක් යැපීම අවදානම් සහගතය.මූල්‍ය නිදහස (Financial Freedom) ඉක්මනින් ළඟා කර ගැනීමට නම් තරුණ වියේ සිටම ක්‍රියාකාරී ආදායමට (Active Income) අමතරව, තමන් නිදා සිටින විට පවා මුදල් උපයන මාර්ග හෙවත් පැසිව් ආදායම් මාර්ග (Side Hustles, Digital Products, Dividends) නිර්මාණය කර ගැනීමට උත්සාහ කළ යුතුය.

සාර්ථක මූල්‍ය ගමනක් සඳහා තරුණ ඔබට කෙටි උපදෙස් කිහිපයක්:

අයවැයක් (Budget) සකස් කරන්න

ඔබට ලැබෙන ආදායම සහ සිදුවන වියදම් ලියා තබන්න.බොහෝ තරුණයන්ට මාසය අවසානයේ “මගේ සල්ලිවලට මොකද වුණේ?” යන ගැටලුව පැනනඟී. මෙයට එකම විසඳුම අයවැයක් (Budget) පවත්වා ගැනීමයි.

පළමුව තමන්ට ගෙවා ගන්න (Pay Yourself First)

බහුතරයක් දෙනා කරන්නේ ආදායමෙන් වියදම් සියල්ල සිදු කර, මාසය අවසානයේ ඉතිරි වන මුදලක් ඇත්නම් එය ඉතිරි කිරීමයි. නමුත් සාමාන්‍යයෙන් ඉතිරි වීමට මුදලක් ඉතුරු වන්නේම නැත. මෙම ක්‍රමය සම්පූර්ණයෙන්ම කඩුතලියක් මෙන් අනෙක් පැත්ත හැරවිය යුතුය. වැටුප හෝ ආදායම ගිණුමට පැමිණි වහාම, තමන් කලින් තීරණය කරගත් ප්‍රතිශතය (උදාහරණයක් ලෙස 20%) වෙනමම ආයෝජන හෝ සේවින්ස් ගිණුමකට ස්වයංක්‍රීයවම (Standing Order එකක් මඟින්) බැර විය හැකි ලෙස සකසා ගන්න.

ඥානය වෙනුවෙන් ආයෝජනය කරන්න (Invest in Yourself):මුදල් සහ ආර්ථිකය හැසිරෙන ආකාරය පිළිබඳව ලියැවුණු ලෝක පූජිත පොත්පත් (උදා: Rich Dad Poor Dad, The Psychology of Money, Richest Man in Babylon) කියවීම, වෘත්තීය මට්ටමේ කෙටි පාඨමාලා හැදෑරීම සහ නව කුසලතා (Skillsets) ප්‍රගුණ කිරීම කළ යුතුය.

මන්ද, “දැනුම වෙනුවෙන් කරන ආයෝජනය සැමවිටම ඉහළම ප්‍රතිලාභ ලබා දෙයි” (බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්).

“Lifestyle Inflation” හෙවත් ආටෝප ජීවන රටාවෙන් ප්‍රවේශම් වන්න

බොහෝ තරුණයන්ගේ ආදායම රුපියල් 50,000 සිට 100,000 දක්වා වැඩි වන විට, ඔවුන්ගේ ඉතිරි කිරීම් වැඩි වෙන්නේ නැත; වෙන්නේ ඔවුන්ගේ වියදම් ද රුපියල් 100,000 දක්වා ඉහළ යාමයි. මෙයට Lifestyle Inflation යැයි කියනු ලැබේ.ආදායම වැඩි වන විට, වියදම් අධික කරමින් සමාජයට රිංගීමට උත්සාහ නොකර, එම අතිරික්ත මුදල තව තවත් ආයෝජන සඳහා යෙදවිය යුතුය. සැබෑ ධනවතෙකු යනු “පොහොසත් බව පෙන්වන” කෙනෙකු නොව, “මූල්‍යමය වශයෙන් නිදහස්” කෙනෙකි.

හදිසි අනපේක්ෂිත අරමුදලක් (Emergency Fund) අනිවාර්යයෙන්ම පවත්වා ගන්න

ජීවිතය සැමදා එකලෙස ගලා යන්නේ නැත. රැකියාවක් අහිමි වීමක්, හදිසි අනතුරක් හෝ පවුලේ සාමාජිකයෙකුගේ අසනීප තත්ත්වයක් වැනි ඕනෑම මොහොතක ණය උගුල්වලට හසු නොවී සිටීමට මෙය වැදගත් වේ.

මුදල් යනු ජීවිතයේ සියල්ලම නොවන බව සැබෑවකි. නමුත් මුදල් පිළිබඳ නිවැරදි පාලනයක් නොමැති වූ විට, එය ඔබේ මානසික නිදහස, සතුට සහ අනාගත සිහින සියල්ලම විනාශ කර දැමීමට සමත් වේ.

එබැවින් තාරුණ්‍යයේදී මූල්‍ය සාක්ෂරතාවයෙන් සන්නද්ධ වීම යනු හුදෙක් පොහොසත් වීමක් නොව, තමන්ගේ ජීවිතයේ පාලනය තමන් අතට ගැනීමකි. අද දවසේ ඔබ ගන්නා කුඩා බුද්ධිමත් මූල්‍ය තීරණය, හෙට දවසේ ඔබව නිදහස් සහ ස්වාධීන පුද්ගලයෙකු බවට පත්කරනු නොඅනුමානය.

“ධනවත් වීම යනු ඔබ උපයන මුදල මත තීරණය වන්නක් නොවේ; එය ඔබ ඉතිරි කරන සහ කළමනාකරණය කරන මුදල මත තීරණය වන්නකි.” – රොබට් කියොසාකි (Rich Dad Poor Dad කෘතියේ කතුවරයා)

Written By: –

 

 

 

 

Rtr. Dinadi Harithma
(Junior Blog Team Member 2025-26)

 

Edited By: –

 

 

 

 

Rtr. Pasan Jithnuka
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top