දළදා පෙරහැර මංගල්‍යය

පෙරහැර සංස්කෘතිය යනු ශ්‍රී ලාංකික වටිනාකම ලොව ඉදිරියෙ විදහාපාන ප්‍රබලම සාධකයකි. ලංකාවටම ආවේණික වූ විවිධ සිරිත් පිරිත්, ඇවතුම් පැවතුම් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම දේශීය අනන්‍යතාවක් ලෙස පෙරහැර සංස්කෘතිය හැදින්විය හැකිය. පෙරහැර සංස්කෘතිය තුළින් ආගම දහම දස්කම් විස්කම් පිරි ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය පිළිඹිබු කරයි. ලංකාවේ සතර කොන මේ පෙරහැර සංස්කෘතිය රැක ගැනීමට විවිධ වූ පෙරහැර මංගල්‍යයන් වාර්ෂිකව සිදුකරයි.කන්ද උඩරට පෙරහැර මංගල්‍යය, රුහුණු මාහා කතරගම දේවාල පෙරහැර හා නවගමුව පත්තිනි දේවාල පෙරහැර එවැනි වූ පෙරහැර මංගල්‍යයන් කිහිපයකි.එකිනෙකට වෙනස් වූ ආකෘතීන් ඔස්සේ මේ පෙරහැර මංගල්‍යයන් සිදු වුවද සමස්ථයක් වශයෙන් සියළුම පෙරහැර මංගල්‍යයන් ශ්‍රී ලංකික පෙරහැර සංස්කෘතියට නව ජීවයක් එක් කරයි. එකී පෙරහැර මංගල්‍යයන් අතරින් වඩාත් කතාබහට ලක්වන සියළු ජන හදවත් වල පෙරහැර ලකුණු උපදින සුවිශේෂි පෙරහැර මංගල්‍යය නම් සෙංකඩගල දළදා පෙරහැර මංගල්‍යය යි.

දළදා පෙරහැර ඉතිහාසය ඇරඹෙන්නේ බුදුන් වහන්සේගේ උතුම් වූ දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩමවූ අවධියේ පටන්ය. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 800 කට පමණ පසුව හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දළදා වහන්සේ මෙරටට වැඩම කරනු ලබන්නේ දේශිය විදේශීය සතුරු ආක්‍රමණ තම රට තුළ උද්ගත ව තිබෙන අවධියක තවත් නොයෙක් වූ බාධක මැදය. දළදා වහන්සේ ඔවුන් කෙතරම් සුරක්ෂිතව මෙරටට වැඩමවූයේද යන්න ඉතිහාසය යම් තාක් හෝ දන්න සියලු දෙනාම අසා ඇති කරුණකි. උන්වහන්සේ මෙරටට වඩම්මවන විට කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු මෙරට රාජ්‍ය පාලකයා විය. එතුමන් පළමු වරට අනුරාධපුරයේ දළදා මැදුරක් ඉදිකර ශ්‍රී ලංකික බෞද්ධ ජනයට බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගැනීමටත් උතුම් වූ දළදා වහන්සේට හරසරින් ගරු බුහුමන් පුද කිරීමටත් වාර්ෂිකව දළදා පෙරහැර මංගල්‍යය ආරභන ලදි. අද දක්වා වැඩි දියුණු වෙමින් සිදු කරනුයේ එතුමන්ගෙන්ගෙන් ඇරඹි දළදා පෙරහර මංගල්‍යයයි. කල්යත්ම සතුරු ආක්‍රමණ හේතුවෙන් දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා විවිධ ස්ථානයන්ට උන්වහන්සේ වැඩැම්මවීම නිසා පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත් අයුරින් සිදු කිරීමට නොහැකි විය. එමෙන්ම විවිධ රාජධානිවල විවිධ රාජ්‍ය පාලකයන් යටතේ ලංකාව පුරාම දළදා වහන්සේ වැඩ සිටියහ. පසුව පළමුවන විමලධර්මසූරිය රජු සෙංකඩගල රාජ්‍යත්වයට පත් වීමෙන් නැවතත් මෙරට සිංහල රාජධානියක් ගොඩනැගුණි. ඒ වන විට සබරගමුව දෙල්ගමුව රජ මහා විහාරයේ පැවති දළදා වහන්සේ නැවත කන්ද උඩරට වඩම්මවා දළදා මැදුර ඉදිකර සුපුරුදු උත්කර්ෂවත් දළදා පූජෝපහාරය පෙරහැර මංගල්‍යය සමග ආරම්භ කරන ලදී. වර්තමාන සෙංකඩගල දළදා මැදුරේ ඉතිහාසය ඇරඹෙන්නේ එතැන් සිටය. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස දේවාල හතර පෙරහැර සමග මාලිගා පෙරහැර ආරම්භ වීම වර්තමාන පෙරහැර මංගල්‍යයේ මුල් ආකෘතිය විය.

දෙදහස් විසි පහක් වූ මේ වසරටත් ඇසළ මාසය හුදී ලංකා වාසි ජනයාට මංගල මාසයකි. මන්ද තේජවන්ත හස්ති සේනාවකින් සහ කලා ශිල්පීන්ගෙන් විචිත්‍රවත් අභිමානවත් කන්ද උඩරට පෙරහැර මංගල්‍යය මේ දිනයන්හි වීදි සංචාරය කිරීමයි. නුවර පෙරහැර , සෙංකඩගල පෙරහැර , සිරි දළදා පෙරහැර , මහනුවර පෙරහැර , මාලිගා පෙරහැර සහ කන්ද උඩරට පෙරහැර යනාදී විවිධ නාමයන්ගෙන් ඇසළ මස දළදා මාලිගාව මුල් කරගෙන සිදුකරන පෙරහැර මංගල්‍යය හදුන්වයි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ මුදුන් මල් කඩ බදු වූ උතුම් දළදා වහන්සේට ගෞරව පිණිස සෑම වසරකම දළදා පෙරහැර පැවැත්වීම චාරිත්‍රයක් බවට පත්ව හමාරයි. කප් සිටුවීමේ චාරිත්‍රයෙන් ආරම්භව දිය කැපීමේ චාරිත්‍රය දක්වා නිසි ආකාරව පෙරහැර චාරිත්‍රයන් සිදුකිරීමට දළදා වහන්සේ භාර පැවිදි භාරකාරීත්වයත් ගිහි භාරකාරීත්වයත් වගවී සිටී. බුදු දහමින් සුපෝෂිත, කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ, සශ්‍රීකත්වය හෙබි ගරු ගාම්භීරී මංගල්‍යයක් ලෙස පෙරහැර මංගල්‍යය සිදුවේ. දින පහක් පුරා කුඹල් පෙරහැර නුවර වීදි පුරා සංචාරය කරන අතර අවසන් දින මහ රන්දෝලි පෙරහැර මුළු නුවරම විචිත්‍රවත් කරමින් වීදි සංචාරය කරයි. දේවාභරණ රැගත් දේවාල පෙරහැරද අවසන් මහ රන්දෝලි පෙරහැරට එකතු වේ.

මහ රන්දෝලි පෙරහැර පරිපූර්ණ පෙරහැර මංගල්‍යයකි. දළදා වහන්සේගේ රාජකාරි කටයුතු සිදු කරන නිළමෙවරුන්, දළදා මාළිගාවේ කටයුතු භාර නිලමේවරුන් ඇතුළු කන්ද උඩරට දළදා මංගල්‍යයට එක්වන සියළුම නිලමේවරුන්, නිලධාරීවරුන් දියවඩන නිළමේතුමන් ප්‍රධානව අවසන් මහා රන්දෝලි පෙරහැරට එක් වෙයි. කස, ගිනිබෝල, කොඩි, සේසත්, පන්දම්, බෙර, ලී කෙළි, රබන්, වේවැල්, වෙස් නැටුම් අලි ඇතුන් සියල්ලක්ම මහ රන්දෝලි පෙරහැර වර්ණගන්වන විචිත්‍රාංග ය. පරම්පරාවෙන් පැවත එන නර්තන කණ්ඩායම් බොහෝම ආඩම්බරයෙන් පෙරහැර කාර්යයට එකතු වෙමින් ශිල්ප දක්වයි. ඕනෑම ශිල්පියෙක් දළදා පෙරහැරට එක්වීම තමන්ගේ භාග්‍යයක් ලෙස සලකයි. අවසන් මහා රන්දෝලි පෙරහැරෙන් පසුව නැවතත් දළදා වහන්සේ තැන්පත් කර පූජාවන් පවත්වා දිය කැපීමේ චාරිත්‍ර ආදිය සිදු කර රටේ රාජ්‍ය නායකයාට වර්තමානයේ ජනාධිපතිතුමන්ට පෙරහැර කටයුතු අවසන් බව දැනුවත් කරයි. මේ සියලු චාරිත්‍රයක්ම මනා සේ ඉටු කරමින් පෙරහැර සංස්කෘතිය අද දක්වා සුරක්ෂිතව පවත්වාගෙන එයි.

ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා සිදුකරන්නට ලැබෙන හොඳම අවස්ථාවක් ලෙස දළදා පෙරහැර මංගල්‍යය දැක්විය හැක. පෙරහැර මාසයට මුළු නුවරම අතුරු සිදුරු නැතිව පිරී යන්නේද ඒ නිසාය. එක්වරක් හෝ දළදා පෙරහැර සියැසින් දැක නොතිබේ නම් ඇත්තටම එය කෙතරම් අභාග්‍යක්ද. ශ්‍රි ලාංකිකයින් වශයෙන් අපි අනිවාර්යයෙන්ම ඒ භාග්‍ය උදා කරගත යුතුමයි. එමෙන්ම සෙංකඩගල පෙරහැර හා බද්ධ වටිනාකම් වියැකෙන්නට නොදි රැකගත යුතුයි. රාජා හස්තියා, නැදුන්ගමුවේ රාජා වැනි පිංකාර ඇත් රජුගේ පිට මතින් සාදු කාර මැද නුවර පුරා වැඩි දළදා වහන්සේ මෙවර වාසනාවන්ත වාසනා ඇත් රජුගේ පිට මතින් මහ රන්දෝලියේ වැඩම්ම ලදී. ශ්‍රි ලාංකිකයන් ලෙස අප සියලු දෙනාම අපේ අනන්‍යතාවය, ඉතිහාසය, ප්‍රෞඪත්වය පිළිඹිබු වන කන්ද උඩරට අභිමානවත් පෙරහැර මංගල්‍යය ගැන අවබෝධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. දළදා වරුණ සැමදා සිත් රදවාගත යුතුයි.

 

Written By: –

 

 

 

 

Rtr. Himasha Sewwandi
(Senior Blog Team Member 2025-26)

Edited By: –

 

 

 

 

Rtr. Umesh Eranda Pannilavithana
(Senior Blog Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top