දුරුතු පුර පසළොස්වක පොහොය දිනය

ශ්‍රී ලාංකීය පොහොය දිනයන් යනු බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම් සිහිපත් කරනු ලබන මාසික බෞද්ධ නිවාඩු දින වේ.ඒ අතුරින් දුරුතු පොහොය සෑම වසරකම පළමු පුර පසළොස්වක පොහොය දිනය වන අතර එය ජනවාරි මාසයේදි යෙදී තිබෙයි.

දුරුතු පොහොයේ වැදගත්කම

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක සිදු විය.
ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශ්‍රිතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ (අදමිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරැසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක.පසුව මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවිය.එය ශ්‍රී ලංකාව බුද්ධ ධර්මයෙන් ආලෝකමත් වීමේ ආරම්භයයි.

දේශනාවලින් පැහැදුණු සුමන සමන් දෙවියන් වහන්සේ සමනල කන්ද මුදුනේ තම පූජනීය පා සටහන තබන ලෙස බුදුන් වහන්සේට ආරාධනා කළේය. දුරුතු පොහොය දින සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේ තම සිරි පා සලකුණ  සමනල කන්දේ පිහිටුවන ලදී. එහිදී, වන්දනාමාන කිරීමට තවත් යමක් ලබා දෙන ලෙස සමන් දෙවියන් ඉල්ලා සිටි අතර එවිට බුදුන් වහන්සේ තම හිසින් කේශධාතු මිටක් ගෙන පරිත්‍යාග කළ සේක. සුමන සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන ,බුදුන් වහන්සේ දහම් දෙසූ මහියංගනයේ  සත්රියන් උස, විසි රියන් වට ඉන්ද්‍රනීලමය සෑයක්  ඉදි කරන ලදී. බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. 

බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම සිදුවූයේ ද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.

මෙදිනට ආගමික ස්ථානවලට ගොස් දන්දීම්, සිල් රැකීම් ආදී ආගමික වතාවත්වල යෙදීම බොදු දනන්ගේ සිරිතකි.උපාසක උපාසිකාවෝ අටසිල්, දස සිල් රකිමින් පෙහෙවස් සමාදන්ව, අපමණ පින් දහම් රැස්කර ගනිති. භික්ෂු භික්ෂු, උපාසක, උපාසිකා සැමට දන් දී ඇප උපස්ථාන කිරීමෙන් සැදැහැතියෝ ද පින් රැස්කර ගනිති. දරුවෝද වැඩිහිටියෝ ද විහාරස්ථානයට ගොස් මල් පහන් පුදා කුසල් කර ගනිති.එබැවින්, දුරුතු පොහොය දිනය යනු ශ්‍රී ලාංකීය බෞද්ධයින්ට මහත් වැදගත් වු ඓතිහාසික දිනයකි.

කෙලෙස් මලින් පීඩිතව එකිනෙකා වෛරයෙන් ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මුසපත් වී විනාශ මුඛයට යන ජීවිත මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සනසා සදහම් ආලෝකයෙන් ඒකාලෝක කිරීමට මේ උදාර දුරුතු පොහෝ දින අදිටන් කර ගනිමු.

 

Written By: –

 

 

 

 

Rtr. Dinadi Harithma
(Junior Blog Team Member 2025-26)

Edited By: –

 

 

 

 

Rtr. Mesandi Nikagoda
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top