නිකිණි පොහොය දිනයේ වැදගත්කම

බුදු දහම වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් නිර්මලව අප වෙත පැමිණියේ කෙසේ ද? එහි පිළිතුර සැඟවී ඇත්තේ නිකිණි පොහොයේ ඓතිහාසික වැදගත්කම තුළ ය.

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය යනු, බුදු දහම සුරැකීමේ අදිටන යළි අලුත් කරන පුණ්‍යමය දිනයකි. බෞද්ධ ඉතිහාසයේ විශාල සන්ධිස්ථානයක් වන ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ නිකිණි පොහොය දිනයකදීය. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව උන්වහන්සේ දේශනා කළ ධර්මය හා විනය නිවැරදි ලෙස සංග්‍රහ කර සුරක්ෂිත කිරීම උදෙසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ  ප්‍රධානත්වයෙන්, රහතන් වහන්සේලා පන්සීය නමකගේ පමණ සහභාගීත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්විණි. අපට නිර්මල බුදු දහම අධ්‍යනය කිරීමට හැකි වී ඇත්තේ එම උතුම් කැපකිරීම නිසා ය.

නිකිණි පොහොය දිනය බෞද්ධයන්ට වැදගත් වීමට තවත් එක් හේතුවක් වන්නේ පසුවස් එළැඹීමේ අවස්ථාව මෙම පොහොය සමඟ සම්බන්ධ වීමයි. වස් කාලය ආරම්භ වන්නේ ඇසළ පොහොය දිනයෙන් පසුව එළඹෙන පසු දින එනම්, ඇසළ අව පෑල විය දිනයේ සිට වුවද යම් හේතුවක් නිසා නියමිත දිනට වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා උදෙසා නිකිණිපුර පොහොයෙන් පසුදින එනම්, නිකිණි අව පෑල විය දිනයේ දී පසු වස් එළැඹීමට අවසර ලබා දී ඇත. නිකිණි පොහොය දිනය වස් කාලය තුළ යෙදෙන බැවින් භික්ෂූන් වහන්සේලා භාවනාව ධර්ම අධ්‍යයනය හා ආධ්‍යාත්මික දියුණුව උදෙසා වැඩි කාලයක් කැප කරති. ගිහි බෞද්ධයන්ද සංඝයා වහන්සේලාට උපස්ථාන කිරීම වැනි පුණ්‍ය ක්‍රියාවන් වල නිරත වෙමින් තම ජීවිත වඩාත් යහපත් කර ගැනීමට උත්සාහ දරති.

බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූද, ධර්ම භාණ්ඩාගාරික වූද ආනන්ද හිමියන් වහන්සේ උතුම් රහත් ඵලයට පත්වූයේ ද නිකිණි පුන් පොහොය දිනයකදීය. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ නිධන් කොට සේරුවාවිල චෛත්‍යය තැනීම ආරම්භ වූයේද නිකිණි පොහොය දිනයකදී බව වංශ කථා වල සඳහන් වේ.

Written and designed By: –

 

 

 

 

Rtr. Duhara Nuwansi
(Junior Blog Team Member 2026-27)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top