ඒක කොළ පාට හැන්දෑවක්.
මං තණ බිස්සේ ඉඳන් වැව දිහා බලන් හිටියේ වතුර හුළඟත් එක්ක ඔට්ටු වෙන හැටි. සවස් වරුවක් වුනත් හමන හුළඟේ හිරිගඬු පිපෙන මට්ටමේ සීතලක් ගැබ් වෙලා තිබුණා.. මං කබාය ඇතුළේ හොඳින් ගුලි වෙන්න හදද්දිම පිටිපස්සේ හිටපු කෙනෙක් මගේ ඇස් වැහුවා.. ඒ රේඛා අහුවෙන ගොරෝසු අල්ලක් එක්ක දිග ඇඟිලි තියන අත මට අඳුරගන්න අමාරු වුණේ නෑ..ඒ රුබට්,
මගේ හදවතේ හිස්තැන් පුරවපු පිරිමි ස්පර්ශය. තව විදිහකට කිව්වොත් මං ආදරේ කරන කෙනා.. මං හැරෙද්දිම ලොකුම ලොකු මල් පොකිරකින් එයා එයාගෙ මූන වහගෙන හිටියේ, මං ආසම කපුරු මල් ලෝකයකින්. අළුත් පොලිස් පුහුණුවත් එක්ක එයාව වෙනදා වගේ හම්බවෙන්න බෑ දැන්. ඒත් වෙනදට වඩා තැන්පත් ගතියෙන් මං ඉස්සරහ අද හිටගෙන ඉද්දි ඒක මට චකිතයක් වුණා.. පුරුදු පරිදිම තණ බිස්සේ වාඩිවෙලා අපේ ජීවිත ගැන කතා කළා.. වෙනදා හිටිය සෙල්ලක්කාර පිරිමියා වෙනුවට අද වගකීම් සහගත් ආරක්ෂාකාරී පිරිමියෙක්ව දැක්කා.. මේ හැන්දෑවත් වෙනදා වගේම අහස ළා තැඹිලි පාටක් කරලා ටික ටික අඳුරු වළාකුළු ගාල් කරන්න පටන් ගත්තා.. මං තාමත් එයාගේ උරහිසට ඔළුව තියලා අඳුරු අහසෙ එකින් එක උපදින තරු දිහා බලන් හිටියා.. ඒත් විඳීමත් විඳවීමත් අතරේ මාව දෝලනය වුණා.. රූබට්ව මට සම්පූර්ණයෙන්ම නතර කර ගන්ම බැරි දුකත්, එයා මගේ ළඟ ඉද්දි දැනෙන සතුටත් යන පරස්පර විරෝධී හැඟිම් දෙකම මගේ මනස වියවුල් කළා….නමුත්, ආදරේ පිරුණු ලොකු ලා දුඹුරු පාට ඇස් දෙකයි, කන පිරෙනකන් කියපු කතා ගොඩයි. ඇස් ඇතුලේ අනන්තය හොයපු හවස්වරුයි, මුහුදු රැළි අතරේ හොයපු රොමාන්තයයි, කම්මුල පිරෙන්න ලැබුණු සමුගැනීමේ හාදුවයි, හිත පිරෙන්නම ලැබුණු කපුරු මල් පොකුරයි විතරක්. එයාගේ ඊළඟ නිවාඩු වාරය වෙනකන් මං වෙනුවෙන් හුස්ම දේවී.ඉතින් සොඳුර, නැවත හමුවෙන තුරු මතක අපිව ජීවත් කරාවි…
Written By: –
Rtr. Yasali Dulhara
(Blog Team Member 2023-24)
Edited By:
Rtr. Pamodi Hewawasam
(Junior Blog Team Member 2023-24)
Edited By:
Rtr. Nirushika Sandeepani
(Blog Team Member 2023-24)