මතක

ආදරයත් අනාදරයත් අතර

සිහියත් අසිහියත් අතර

හිමිවීමත් අහිමිවීමත් අතර

පාවුන මම

ඔව් මේ මගේ කතාවයි.

 

2026.01.15(‍පෙ.ව.11.30 )

බැඳීමක් කියන්නේ වේදනාවක්ද? ආදරයක් කියන්නේ හිමිවීමක්ද? අයිතියක් කියන්නේ ලැබීමක් ද? උත්තර නැති ප්‍රශ්න දාහක් අතරේ එකම එක උත්තරයක්වත් හොයාගෙන හිතට පුංචිම හරි අස්වැසීමක් දෙන්න හිතාගෙන ඇඳක් උඩට වෙලා සිවිලිම දිහා බලාගෙන කල්පනා ලෝකෙක අතරමං වුණ මට මතක් වෙන එකම එක ඇස් දෙකයි තියෙන්නේ. ඔව් ඒ ඔයා.අත ඇරියත් අතාරින්න හිතෙන්නේ නැති, දාලා ගියත් දාලා යන්න හිතෙන්නේ නැති මේ ලෝකේ ඉන්න එකම කෙනා . ඒ ඔයා ,ඔව් මම තාමත් කල්පනා කරනවා ඔයා මගේ ලඟ ඉන්නවද? නැද්ද කියල. ඒත් අවුරුදු ගානක් එකට ආව අපේ ගමන පාරවල් දෙකකට වෙන් වුන දවස මට තාමත් මතකයි. එදා අන්තිමට මම ඔයාට දුන්න ලියුම, ඒ අකුරු මට තාමත් මතකයි.

2025/08/28 (අතීතයට)

සුදු,

ඔයා මගේ ජීවිතේට ආව දවසේ ඉඳන් මම ඔයාට ඕනෑ තරම් ලියුම් කියලා ඇති. ඒත් මේ ලියුම ලියන්නේ හිතේ තියාගන්න බැරි තරම් දුකක් හිර කරගෙන. ඔයාට මගෙන් එහාට යන්න ඕනේ කියලා කිව්ව වෙලාවේ මම ඇඬුවා, පුළුවන් උපරිම ඇඬුවා. ඒත් දැන් පුලුවන් උපරිම පාලනයෙන් මම මේ අකුරු ටික ලියන්නේ . කෝල් එකක් අරන් නිකන්ම මේ කතාව ඉවර කරනවට වඩා මේ විදිහට මුණ ගැහිලා කතා කරන්න තීරණය කරපු එකට ඔයාට ස්තුතියි.

ඔයා මගේ ජීවිතේට ආපු දවසේ ඉඳලා මගේ ජීවිතේ හැමදේම හොඳ විදිහට වෙනස් වුණා. ජීවිතේට අත්දැකීම් ගොඩාක් එකතු වුණා. ඇත්තටම ආදරේ කියන හැඟීම මම විඳින්න පටන් ගත්තා. ඒ හැඟීම් වලට ලෝභකමින්ම කවදාවත් එකතු වීමක් නැති බව දන්නා කතාවකට අපි පෙර වදන් ලිව්වා.

ඔයා දන්නවා ඔයා කරන පුංචිම පුංචි දේවල් වලින් මම ගොඩක් සතුටු වෙනවා කියලා. හැමදාම මාව බලන්න එද්දි අතේ ගුලි කරන්න එන බූන්දි ටිකට මම ආස කළා වගේම මගේ කෝප්පේ ඉතුරු වෙන අන්තිම කෝපි උගුරු තුනට ඔයත් ආස කලා. මම කවදා හරි මම ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන හැමදේම ඔයා ළඟ අඩුවක් නැතුව තිබ්බා.

ඒත් ඒ කෙනාව හැමදාම තුරුල් කරලා ළඟින් තියාගන්න බැරි බව මම හොඳින්ම දැනගෙන හිටියා. මතකද අපි දෙන්නා මුණ ගැහුණ පළවෙනි දවසේ මම කඩලා පරිස්සම් කරන් හිටිය පුංචි පිච්ච මල් දෙක මම ඔයාට  දුන්නා. ඒත් මේ අවුරුද්ද පටන් ගද්දිම ඒ මල් දෙක නැතිවුණා කිව්ව ගමන් මම දැනගත්තා අපි මේ පටන් ගත්තේ මම වැඩිපුරම බයෙන් හිටිය අවුරුද්ද කියල.

ඔව් මගේ බය ඇත්තක්  වුණා. අපි දෙන්නාගේ පාරවල් දැන් දෙකට බෙදෙන්න ඕනේ කියලා ඔයා කිව්ව වෙලාවෙ මට ඒක දරාගන්න අමාරු වුණා. ඒක ලොකු වේදනාවක්. ඒ වේදනාවේ වැරදිකාරයා ඔයාද?මමද ?මේ කතාවේ කවදාවත් අපි දෙන්නට එකතු වෙන්න බැරි බව දැන දැනම මේ කතාවට අඩිය තිබ්බ ඔයා වත් මමවත් සීයට සීයක් හරිත් නෑ සීයට සීයක් වැරදිත් නෑ.

ඔයා පුංචි පුංචි කපුරු මල් වලට ආස කරද්දි මම හැමදාම ආස කරේ කවදාවත් අතට අරන් ලස්සන බලන්න බැරි දුර ඉඳන් බලලා සතුටු වෙන්න හැකි ටියූලිප් මලකට. ඒ නිසා කවුරු හරි කිව්වොත් මම ඔයාට ආදරේ කරලා කරේ වැරැද්දක් කියලා මට ආයෙත් අවස්ථාවක් ලැබුණොත් මම බය නැතුව ආයේ ආයෙත් ඒ වැරැද්දම කරනවා. ඒ තරමට ඔයා මට සම්පූර්ණ ආදරයක් දුන්නා. ආදරේදී මිනිස්සු අන්ධයිලු. මම ආසයි එහෙම අන්ධ වෙන්න. මුළු ලෝකෙම කළුවර වෙද්දි ඒ කළුවර අතරින් ඔයාගේ ඇස් දෙක විතරක් දිලිසෙනවා බලන්න.

ඉතිං අද ඉඳන් මම ඔයාගේ ජීවිතෙන් යන්නම යනවා. ආයේ ඔයාගේ ඇස් ඉස්සරහට මම එන්නේ නෑ.. ඒත් ඔයාගේ ජීවිතේ වටිනම දවසේ කලු ලෝගුව ඇඳලා ඔයා ලස්සනට ඉන්නවා බලන්න විතරක් මම ආයේ එන්නම්.

 

මම කලින් ඔයාට ආදරේ කළේ ඔයා මගේ කියන හැඟීම එක්ක. ඒත් දැන් ඔයාට කෙනෙක් ඉන්නවා. හැම හමුවීමක්ම හිමිවීමකින් කෙළවර වෙන්නේ නෑ කියලා මම දන්නවා. ඉතින් දැන් දෙන්නෙක් අතරේ තුන් වෙනියෙක් වෙලා පවුකාර ජීවිතයත් තෝරගන්න මම කැමති නෑ. ලබන ආත්මෙකදී හරි ඔයාගේ එයාට ඔයාටත් වඩා හොඳ කෙනෙක් ලැබිලා අපිට එකතු වෙන්න බැරි වුන හැම හේතුවක්ම නැතිවෙලා ඔයාව මගේ විතරක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

පෙති පුරා සුවඳ විහිදුණු

අනන්තයේ යළි හමුවෙමු

මේ භවේ බැරි නම් ඉතින්

අපි මතු භවේ වත් අපේ වෙමු

බිඳුණු සිත් සතන් සුව කළ

ඒ ආදරයෙන් යළි හමුවෙමු

මේ භවේ බැරිනම් ඉතින්

අපි මතු භවේ වත් අපේ වෙමු

                                                      (උ.ගැ)

මට දුන්න ආදරේට ගොඩක් පින්. තෝරගත්ත පාරේ ඉස්සරහටම යන්න. ආයේ හැරෙන්න ඕනේ කියලා හිතුනොත් එන්න. මම ඉන්නම් මෙතනම .

ආදරෙන්,

ඔයාගේ මැණික.

2026/01/15(ප.ව.01.10)

අනේ මන්දා මාත් මේ මොනවා කල්පනා කරනවාද කියල. බොරු දේවල් හිතලා මමත් බොරුවට දුක් වෙනවා. මම දන්නවා කවුරු මොනවා කිව්වත් ඔයා මාව දාලා යන්නේ නෑ කියල.

“අන්න නර්ස් එනවා බෙහෙත් අරන්. හැමදාම ඉතින් ඕක බිව්වට පස්සේ මට ටිකක් නින්ද යනවා. අර මගේ කෝප්පේ කෝපි ටිකත් බීලා මගේ ලඟින් ඉන්න හොඳේ. මෙහෙම අත අල්ලගෙන, නින්ද ගියාට පස්සේ මාව දාලා යන්නේ නෑ නේද? කියන්නකෝ ,යන්නේ නෑ නේද?

 

Written By: –

 

 

 

 

Sahan Anusha
(Faculty of Management and Finance)
University of Colomobo

 

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top