මහනුවර ඇසළ මහා පෙරහැර යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික සහ සංස්කෘතික මංගල්ල්‍යයකි. සෑම වසරකම ජූලි සහ අගෝස්තු මාසවලදී පෙරහැර පවත්වනු ලබයි. අප මහා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා වැඩමවන දළදා පෙරහැරේ ඉතිහාසය ක්‍රි. පූ 3 වන සියවස පමණ දක්වා දිවයයි. මහාවංශය, දළදා සිරිත, දාඨාවංශය, සංදේශ කාව්‍ය සහ ෆාහියන් දේශාටන වාර්තා ආදී මූලාශ්‍රවල පෙරහැර පිළිබඳව සඳහන්ය. ඉතිහාසයේ පළමු දළදා පෙරහැර පවත්වා ඇත්තේ කිත්සිරිමෙවන් රජ දවස බව මහා වංශයේ 37 වන පරිච්ඡේදයේ සඳහන් වේ. පළමු විමලධර්මසූරිය රජු විසින් කන්ද උඩරට රාජධානිය පිහිටුවා ඒ වනවිට සබරගමුව දෙල්කඳ විහාරයේ කුරහන් ගලක තැන්පත්කර තිබූ දන්ත ධාතූන් වහන්සේ උඩරටට වැඩමවා කන්ද උඩරට ප්‍රථම දළදා පෙරහැර පවත්වා ඇත. නගරාරක්ෂක දෙවිවරු ලෙස සැලකෙන නාථ, විශ්ණු, පත්තිනි සහ කතරගම දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වූ දේවාල පෙරහැරවල් සහ දළදා පෙරහැර එකතු කර ඇසළ පෙරහැර ලෙස එයට නව මුහුණුවරක් එක් කලේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුයි.
පෙරහැර සමය ආරම්භ වන්නේ කප් සිටුවීමේ චාරිත්‍රයෙනි. පෙර දින පේ කල කප,දේවාල සතරෙහි කපු ගෙයෙහි සිටුවයි. පොල් ගෙඩි දෙකක් දෙපැත්තෙන් තබා පොල් මලක් කපට තියා ගැටගසා පහනක් දල්වයි. මේ පහන පෙරහැර සමය අවසන් වන තෙක් නිවී නොයෑමට වග බලා ගන්නා අතර මෙම පහනට දෙවියන් අරක් ගන්නා බව විශ්වාස කෙරේ. මුල් දින පහේ කප වටා පෙරහැර සිදුකරයි. සයවන රාත්‍රියේ කුඹල් පෙරහැර ආරම්භ කර දින පහක් පුරා පැවැත්වේ. මීළඟට ඇරඹෙන්නේ රන්දෝලි පෙරහැරයි. දියවඩන නිලමේ විසින් රාජකාරි පැවරීම, කරඬුව බාරගැනීම, වැඩසිටින මාලිගාවෙන් කරඬුව පිටතට වැඩමවීම සහ මංගල හස්තිරාජයා මත මත තැන්පත් කිරීම යනාදී චාරිත්‍ර වලින් අනතුරුව මංගල හස්තිරාජයා මාලිගාවෙන් දොරට වැඩමවීමෙන් පෙරහැරෙහි ආරම්භය සනිටුහන් වේ.
කසකරුවන්, ගිණිබෝල්කරුවන්, බෞද්ධ කොඩි, පළාත් කොඩි ඇසළ පෙරහැරේ මුල් අදියරේ දැකගත හැකිය. ඉන් අනතුරුව පෙරමුණේ රාල දළදා මාලිගාවේ රාජකාරිය සහ පෙරහැර කල යුතු ආකාරය සඳහන් වන ලේකම් මිටිය නැමැති පුස්කොළ පොත රැගෙන ගමන් කරයි. ඉන්පසුව ගමන්කරන රන්දෝලි පෙරහැර හස්තිරාජයන් සහ විවිධ ශිල්පීන්ගෙන් විචිත්‍රවත් වේ. මින් පසුව පිලිවෙලින් නාථ, විශ්ණු, කතරගම සහ පත්තිනි දේවාල පෙරහැරවල් ඒ ඒ දේවාලවලින් ඇරඹේ. පෙරහැර යනු වැස්ස අනුකරණය කිරීමක් බව කියැවේ. කසකරුවන් මගින් අකුණු ද ගිණි බෝල මගින් විදුලි කෙටීම ද අඳුරු පැහි අලි ඇතුන් මගින් වැහි වලාකුළු ද නියෝජනය වේ. රන්දෝලිවල තැන්පත් කර ඇත්තේ දේවාලවලින් තාවකාලිකව පිටතට ගත් ආයුධයි.
පෙරහැර වීදි සංචාරය අවසන් කොට දේවාල පෙරහැරවල් අදාළ දේවාල වෙත ගමන් කරයි. දළදා පෙරහැර අස්ගිරි ගෙඩිගේ විහාරයට ගමන් කර දළදාව එහි තැන්පත් කර මාලිගාවේ පරිදිම වත් පිළිවෙත් සිදුකරයි. ඉන් අනතුරුව දිය කැපීමේ මංගල්‍යය සිදුකරයි. එහිදී කප් සතරම ගඟට වීසි කරයි. ගොවියන් විසින් එම කප් කොටස් තම කුඹුරුවල සිටුවා සශ්‍රීකත්වය අපේක්ෂා කරයි. ඉන් අනතුරුව දේවාල පෙරහැර ගණදෙවි කෝවිල කරා ගමන් කරයි. දළදා කරඬුව මගුල් ඇතු පිට නැවත හිඳුවා මාලිගා පෙරහැරට දේවාල පෙරහැරද එකතු කොට දවල් පෙරහැර ඇරඹේ. එහෙ කෙටි වීදි සංචාරයෙන් අනතුරුව පෙරහැර අවසන් වේ.
අනතුරුව දියවඩන නිළමේ විසින් පෙරහැර සාර්ථකව නිමවූ බව රටේ රාජ්‍ය නායකයාට දන්වයි. අවසාන වශයෙන් පෙරහැරට සම්බන්ධ වූ අලි ඇතුන් කලා ශිල්පීන් සහ සියලු දෙනාගේ වස් දොස් දුරුවීමට වලි යක් මංගල්‍යය නම් ශාන්තිකර්මය දින 7ක් මුළුල්ලේ පවත්වයි. ඇසළ පෙරහැර මංගල්‍යය එලෙස අවසානය සනිටුහන් කරයි.
Written By: –
Rtr. Nirushika Sandeepani
(Blog Team Member 2023-24)
Yesterday I saw a caption on fb “පෙරහැර පටන් ගත්තහම මොන පිච්චෙන කාලෙක උනත් වහිනවා. එච්චරයි !
ඒක එහෙම පිළිගන්න එක මට ඔය නොතේරෙන රැඩිකල් විද්‍යාවන්ට වඩා සරළයි , සමීපයි , සංස්කෘතිකයි.” -Deshan Pasindu- & this article made me feel it❤️🔥