මිත්‍රත්වය

මේ ලෝකේ අපිට තනි වම ජීවත් වෙන්න බෑ. මේ ලෝකයට ආව දවසෙ ඉඳන් දෙමාපියන්ගෙන් පටන් ගෙන විවිධාකාරයේ සම්බන්ධතාවලින් අපට මිනිසුන් ඇසුරු කරන්න වෙනවා. අපේ සහෝදර සහෝදරියෝ නෑදෑයෝ අසල්වාසියෝ වගේම මිතුරනුත් ඒ අතර වෙනවා. මිත්‍රත්වය කියන බැඳීම සම වයස් කණ්ඩායම් වලට සීමා කරන්න බෑ. අපේ දෙමාපියන්ගේ ඉඳන් බොහෝ නෑදෑ සහ අනෙකුත් සබඳතා හරහා බොහෝ පිරිස් අපේ මිතුරන් වෙනවා.

මිත්‍රත්වය කියන්නෙ දෙපාර්ශවයක් විසින් අන්‍යෝන්‍ය  වශයෙන් එකිනෙකා ව රැක බලා ගැනීමයි. ගෞරවය, විශ්වාසය සහ සහාය වීම සැබෑ මිත්‍රත්වයක පැවතිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයි.

පෙර පාසල් හා පාසල් අවධිය අපිට මිතුරන් ඇති කරගන්න ජීවිතය ලබන පළමු අවස්ථාවක් යැයි කීවොත් එතරම් වරදක් නෑ. සැබෑ මිතුරන් මෙන් ම ව්‍යාජ මිතුරන් සමඟත් හැසිරෙන්න අපට අවස්ථා ලැබෙනවා. මේ ලෝකෙ ඉන්න හැමෝම හොඳයි කියන අදහසින් සිටින හැම පිවිතුරු හදවතක් ම ඒක එහෙම නෑ කියල තේරුම් ගන්න සිද්ධ වෙන සිදුවීම් වෙන්න පටන් ගන්නවා. ඒක කලින් ම තේරුම් ගන්න පුළුවන් වන පිරිසට අඩු දුකක් කැලඹීමක් පමණක් සමාජය හා ගැටීමේ දී දරා ගන්න වෙනවා.

 කතාබහ කරන හැමෝම අපේ යාළුවෝ නෙමෙයි කියලා කාලය ගෙවෙන්න ගෙවෙන්න අපි තේරුම් ගන්නවා. හිනා වෙලා කතා කරන ඕන කෙනෙක් එක මොහොතෙන් අපිට විරුද්ධ වෙන්න පුළුවන්. අවුරුදු ගණනක යාළුකමක් වුණත් දවසක නැති වෙලා යන්න පුළුවන්.

අපි සතුව තියෙන ඊර්ෂ්‍යාව, වෛරය හා ක්‍රෝධය වගේ හැඟීම් නිසා තමයි අපිට ඇත්තටම යාළුවෝ වෙන්න බැරි. හොඳ විනයක් තියෙන හෘද සාක්ෂිය ගැන විශ්වාසයක් තියෙන පුද්ගලයෙක් කවදාවත් ඊර්ෂ්‍යාව වෛරය වගේ හැඟීම් කොච්චර දැනුනත් නොදැනුවත්වම  ඊර්ෂ්‍යාව හා වෛරය දක්වන වචන කටින් පිටවුනත් හිතා මතා අන් අයට හිංසා පිහිටා නො කරන පුද්ගලයන් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේ මිතුරන් හමු වීම  අපේ වාසනාවක්. තවත් සමහර පුද්ගලයෝ ඉන්නවා එයා ලත් තෝර ගත්ත අයට විතරක් සත්‍ය මිත්‍රත්වය දක්වනවා. එහෙම අයගෙ තෝරා ගැනීමක් වෙන්න ලැබීමත් වාසනාවක්.

අපිට හොඳ යාළුවෝ කියලා තෝර ගත්ත පිරිසකුත් ජීවිතයට  හමු වෙනවා. සමහර අයට ජීවිත කාලයට ම එක හොඳ යාළුවෙක් විතරක් ඉන්නවා. තවත් සමහර අයටත් යන යන තැන හොඳ ම යාළුවෝ හමු වෙනවා. තවත් සමහරුන්ට හොඳම යාළුවෝ ජීවිත කාලෙටම හම්බ වෙන්නේ නෑ.



කාලය ගත වෙනවා. අපේ ජීවිත වෙනස් වෙනවා. අපි පාසලෙන් ඉවත්  වෙනවා. විශ්ව විද්‍යාල වලට යනවා. රැකියා සඳහා යනවා. විදේශ රටවලට යනවා. යාළුවෝ මග හැරෙනවා. එතකොට හිතෙන්න පුළුවන් අපි තාමත් හොඳම යාළුවා නෙමෙයි ද කියලත්. එහෙම වෙන්නේ අපි ගමන් කරන පාරවල් වෙනස් වෙලා ආශ්‍රය කරන සමාජය වෙනස් වෙලා අපේ චරිත වෙනස් වෙනවා නිසායි. යාළුකම තාම තියෙනවා. ඒත් අපි නොගැළපෙනවා ඒක නම් ටිකක් සංවේදී වෙන්න ඕනෙ කාරණාවක්!

 හොඳම යාළුවෙක් හමු වෙලා නැති තරුණ, වයසක අය පවා මේ ලෝකේ ඉන්නවා. සමහර විට එයාලා වැඩිය කතා කරන් නැති ටිකක් ගුප්ත චරිත වෙන්න පුළුවන්. නැත්නම් අසරණ පාට නිසා හැමෝම කොන් කරලා වෙන්නත් පුළුවන්. ඒ වගෙ සමහර අය තනි වම සතුටු වෙන්න ඉගෙන ගන්නවා. තවත් සමහරු ජීවිත කාලය ම තමා පිළිබඳ අවතක්සේරුවෙන් ඉන්නවා. නමුත් තවමත් හොඳම යාළුවෙක් අඩු ම ගාණේ සාමාන්‍ය යාළුවෙක් වත් හමු වෙලා නැති කෙනෙක් නම් තමන්ගේ ජීවිතයේ දිගේ ඉස්සරහට යන එක වටිනවා.

මටත් ඒ දවස්වල හොඳම යාළුවෙක් හම්බ වෙලා තිබුණේ නෑ. මට ඉස්සර ම කාලේ ගොඩක් යාළුවෝ හිටිය ට හොඳම යාළුවෙක් ඉඳලා නෑ. අනිත් හැමෝටම හොඳම යාළුවෝ ඉන්නවා ඒත් මට ඉඳලා නෑ. මම වැඩිපුර ම කළේ තනියම කරන්න පුළුවන් දේවල්. මට යාළුවෝ හිටියේ නෑ කියන්නම බෑ. ඒත් යාළුවෝයි හොඳම යාළුවෝයි අතර වෙනසක් තියෙනවා. හොඳම යාළුවා හැමවෙලේම ළඟ ඉන්නවා. ප්‍රශ්නයකදි පවා තනි නො කරනවා.   ඒත් යාළුවා හමු වුණොත් කතා කරනවා.  අභ්‍යන්තර සීමාවලට ළං වෙන්නෙ නෑ. මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියලා නො හිතෙන වෙලාවල් ඕනෑ තරම් තියෙන්න පුළුවන්.

ඒත් මං 7 වසරෙදි මගේ පළවෙනි පළවෙනිත්  නෙමෙයි ඒත් මං කැමතියි මගෙ  පළවෙනි හොඳම යාළුවෝ දෙන්න කියලා එයාලව හඳුන්වන්න.මගෙ හොඳ ම යාළුවෝ දෙන්නා හන්බුණා. අපි අවුරුදු ගාණක් එකට ඉස්කෝලෙ හිටියා. ඒත් අපි ඊට පස්සේ වෙන වෙන ඉස්කෝලවලට ගියපු නිසා වෙන් වුණා. අපි වෙනස් වෙනවා. ඒත් අපි තාමත් හොඳම යාළුවෝ. මං හිතන්නේ එයාලා තමයි මට හොඳම මිතුරන් මුණ ගැස්වීමේ වාසනාව අරන් ආවේ. එදා ඉඳන් මං යන යන තැන මට හොඳම යාළුවෙක් නැත්නම් දෙන්නෙක් ඉන්නවා. මං තනියම හිටපු ඒ දුර දවස් තිබුණ අවුරුදු වල මම, මං වෙනුවෙන් ම ජීවත් වුණ හින්දා මට අද හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

ඉර පායාවී. බැහැ ලා යාවී. සඳ පායාවී. බැහැ ලා යාවී. ගස් වැල් වල මල් පිපේවි. ඵල වලින් බර වේවි. කුරුල්ලන් පියාඹා වී. අපි හැමදාම ඇහැරේවී. ඒ හැම දවසකම අපේ පවුල අය ඇරුණ ම අපිත් එක්ක ඉන්න කෙනෙක්, අපි එක්ක කාලයකින් කතා කරන්න බැරි වුණා  නේද කියලා මතක් කරන කෙනෙක්, එයා කොච්චර හොඳයි ද කියල හිතල තනියම හිනා වෙන කෙනෙක් හම්බෙන්න පුළුවන්. අද වෙනකල් එහෙම සැබෑ මිතුරෙක් හමු වෙලා නැත්නම් දුක් වෙන්න එපා. අපිට ජීවත් වෙන තව දවස් ඕනෑ තරම් තියෙනවා. එහෙම අයටත් මට වගේ වාසනාව අරන් එන කවුරු ම හරි ඒවි. සමහර විට ඒ ආදරය වෙන්නත් පුළුවන්. ඉතින් ඉවසන්න.

 

Written By: –

 

 

 

 

Rtr. Hirushi Rajapaksha
(Senior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Hirushi Ranathunga
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top