ලෝක මානවවාදී දිනය

ලෝක මානවවාදී දිනය යනු, ලොව පුරා අසරණ සහ අවශ්‍යතාවට පත් ජනතාව වෙනුවෙන් තම ජීවිත අවදානමකට පත් කරමින් සේවය කරන මානවවාදී සේවකයන්ගේ උදාර සේවය අගයමින් ඔවුන්ට ගෞරවාදරය දැක්වීම උදෙසා සමරනු ලබන විශේෂ දිනයකි.

මෙය සෑම වසරකම අගෝස්තු මස 19 වැනි දින ලොව පුරා ජාත්‍යන්තර මට්ටමින් සමරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2008 වර්ෂයේදී මෙම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, 2010 වර්ෂයේ සිට ලෝක ව්‍යාප්ත වැඩසටහනක් ලෙස මෙය ආරම්භ විය.

2003 අගෝස්තු 19 වැනි දින, ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔවුන්ගේ ඉහළම නියෝජිතයෙකු වන සර්ජියෝ වියරා ඩි මැලෝ සහ මානවවාදී සේවකයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙම සිදුවීම ලොව පුරා මානවවාදී සේවකයන් මුහුණ දෙන විපත්, අවදානම් සහ ගැටළු පිළිබඳ දැඩි අවධානයක් යොමු කළේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2008 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අගෝස්තු 19 දිනය “ලෝක මානවවාදී දිනය” ලෙස නම් කළේය.

ලෝක මානවවාදි දිනයේ ප්‍රධාන අරමුණ වනුයේ, ලොව පුරා සිටින සියලුම මානවවාදි සේවකයින් විසින් හෙළනු ලබන සෑම දහදිය බිදුවකටම වටිනාකමක් ලබා දෙමින් ඔවුන්ගේ සේවය පිළිගැනීම සහ  ඒ වෙනුවෙන් කෘතඥතාවය පළ කිරීමයි.

ඊට අමතරව, ලොව පුරා සිටින අසරණ හා දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබදව අවදානය යොමු කිරීම, සමාජය තුළ මනුෂ්‍යත්වය,අනුකම්පාව වර්ධනය කිරීම සහ සමාජ ගැටලු වලට මුහුණ දෙන ජනතාවට සහය ලබා දීමේ වැදගත්කම ලෝකයාට කියා පෑමයි.

“The world’s great men and women, the pioneers in human rights and humanitarianism, have taught us that the true measure of our humanity is how we treat the most vulnerable.”

                                                       Kofi Annan (Former Secretary-General of the United Nations)

සෑම වසරකම ජාත්‍යන්තර මානවවාදි දිනය (WHD) වෙනුවෙන්, එක්සත් ජාතීන්ගේ මානවීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) සහ තවත් පාර්ශව කිහිපයක් විසින් ඒකාබද්ධව විශේෂිත වූ තේමා පාඨයක් නිර්මාණය කරනු ලබයි.

2025 වසරේ ජාත්‍යන්තර මානවීය දිනයේ තේමා පාඨය ලෙස,

                      “Strengthening Global Solidarity and Empowering Local Communities”

(ගෝලීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ දේශීය වශයෙන් කුඩා ප්‍රජා කණ්ඩායම් බලවත් කිරීම)

ලෙස තෝරාගෙන ඇත.

එමගින් ඔවුන් ලෝකයාට පිළිඹිබු කිරීමට උත්සාහ දරන්නේ,දේශීය ප්‍රජා කණ්ඩායම් යනු හුදෙක් තාවකාලිකව සේවා ලබා ගැනීමටම පමණක් සිටින පිරිසක් නොව තම ප්‍රජාව වෙනුවෙන් නිරතුරුවම සේවයේ යෙදෙන,ඔවුන් වෙනුවෙන් තීරණ ගන්නා,ප්‍රජාවගේ අනාගතය තිරසාරව ගොඩ නැගීම උදෙසා ඇප කැප වී සේවය කරන නායකයින් පිරිසක් බවයි. අපගේ ඉතා කුඩා උපකාරයකින් හෝ කුඩා අගය කිරීමකින් පවා ඔවුන්ව දිරිමත් කිරීමටත්, ශක්තිමත් කිරීමටත් හැකි බව මෙයින් අපට මතක් කර දෙයි.

අප සාමාන්‍ය පුරවැසියෙකු වුවද, මානවවාදී සංවිධානවලට ආධාර කිරීම (වෙනත් ආරක්ෂක ආයතන හරහා හෝ මූල්‍යමය සහාය),ජනතා අතර මනුෂ්‍යත්වය සහ අනුකම්පාව වර්ධනය කිරීම (සමාජ මාධ්‍ය, කතා බහ, වැඩමුළු හරහා),දේශීය ප්‍රජාවන් සවිබල ගැන්වීමට සහය වීම  යනාදිය තුළින් අපටද දායක විය හැක.

මානවවාදී සේවකයෙකු වීම යනු සමාජ සේවයක්ම පමණක් නොව විශාල වගකීමක්ද වේ. යුධ, දේශගුණික විපත්, ආර්ථික අර්බුද, සහ සමාජමය අසීරුතා නිසා පීඩා විඳින පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට උපකාර කිරීමේ අභියෝගය ඔවුන් භාර ගත්තද එය ඔවුන්ගේම ආරක්ෂාවට තර්ජනයක් විය හැක.

ඇත්තෙන්ම, එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව, වසරෙන් වසර මානවවාදී සේවකයන්ට එල්ල වන ප්‍රහාර වර්ධනය වෙමින් පවතින අතර, ඔවුන්ගේ ජීවිත විශාල ලෙස අනතුරට ලක් වී ඇත. 2024 වසරේදී පමණක්, ලෝක පුරා සේවකයන් 250කට අධික පිරිසක් මරා දැමීම, පැහැර ගනිමින් තර්ජනය කිරීම හෝ බරපතල තුවාල සිදු වීම් රැසක් වාර්තා වී ඇත. මේම තත්වය යටතේ, ලෝක මානවවාදී දිනය යනු හුදෙක්ම සැරසිලි දිනයක් නොව, සැබෑ අවධානයක් යොමු කළ යුතු දිනයක් බව අවධාරණය කරයි.

මානූෂීයත්වය සීඝ්‍රයෙන් පිරිහී යන ‍යාන්ත්‍රීකරණය වූ ලෝකයක මෙවන් දිනයක් මගින් හෝ  ලෝකයා වෙනුවෙන් තම වටිනා ජීවිතය පූජා කළ උදාර සේවක්‍යින් අනුස්මරණය කිරීම සහ ඔවුන්ගේ වැදගත්කම දැනුවත් කිරීම වටිනා කර්තව්‍යකි.

ලෝක මානවවාදී දිනය තුළින් අපට සිහිපත් කරන්නේ මේ ලෝකයෙහි සැබෑවටම වැදගත් දේ වන්නේ බලය, වස්තුව, සම්පත් නොව මනුෂ්‍යත්වය, අනුකම්පාව සහ අන් අය වෙනුවෙන් අප කෙරෙන ක්‍රියාවන් බවයි.

ඔවුන්ගේ එම අමිල සේවය සදාතනිකව සිහිවටනය කරමින්,මානුෂීයත්වය තුළින් ලොවක් වෙනස් කළහැකි බව අවසාන වශයෙන්  සිහිපත් කරමි.

සෑම දවසක්ම මානවවාදී දිනක් බවට පත් කර ගැනීම අප සැමගේ වගකීමයි.

“Let us honor the unsung heroes and strive to become a light in someone else’s darkest hour.”

 

Written By: –

 

 

 

 

Rtr. Dinadi Harithma
(Junior Blog Team Member 2025-26)

Edited By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top