වෙරළ රැල්ලට ආදරෙයි

මේක පටන් ගන්නේ කොහෙන් ද? කියන්නේ කොහොමද? ඉවර කරන්නේ කොතනින් ද? කියලා හිතාගන්න බෑ.

ඒත් අපි මුල ඉඳලම පටන් ගමු.

සරසවි ජීවිතයට කකුල තිබ්බ පළවෙනි දවසේ නොදැක්ක මුහුණු ගොඩක් දැක්කා. ඒත් එක්කම මං දැක්කා මගේම ඡායාවක්, මගේම ප්‍රතිබිම්භයක්.

කමක් නෑ

මේ ලෝකේ එකවගේ අය හත් දෙනෙක් ඉන්නවනේ…

අහලා තිබ්බට දැක්කේ එදා.

 

කාලයත් එක්ක සෙමෙස්තර එකක් ඉවර වුණා.

දෙවෙනි එකත් පටන් ගත්තා. දෙකෙත් අඩක් විතර ගිහිල්ලා තියෙද්දී,

අර මුල දී දැක්ක පුද්ගලයාව නිතර නිතර මුණ ගැහෙන්න පටන්ගත්තා. ඒකත් එක්තරා විශේෂ ස්ථානයක.

 

එයා නොදැනුවත්ව මම කාලයක් යනකම් එයා ගැන සෙවිල්ලකින් හිටියා.

 

මේරියන්ස් ලා කිව්වා වගේ “පළමුව සිනා සේ, දෙවනුව ලියුම් දේ, තෙවනුව තෑගීබෝග අරන් යයි” ඒ විදියට ම සිද්ධ වුණා. 

ලියුම් නැති වුණත්, අපි කතා කරන්න ගත්තා.

රෑ වෙනකල්, කොච්චර වැඩ කොච්චර තිබ්බත්, හෙට දවසක් ගැන, හෙට දවසක තියෙන වැදගත්ම වැඩ ගැන වුණත් අපි සිතුවේ නෑ. ඒතරමටම අපි අපේ කතාවට ඇබ්බැහි වෙලා.

අපි පටන් ගත්ත කතාව දිගින් දිගටම වැඩි වුණා.

දෙවෙනි සෙමෙස්තර අවසානයටත් ආවා.

 

හිතාගන්නවත් බැරි තරමට ම මම එයාට ළං වෙලා. එයත් එහෙමයි කියලා හිතෙන්න තරම් දාහක් හේතු මට තිබ්බා.

ඉතින් මම එයාගෙන් ඒ ගැන ඇහැව්වා.

පිළිතුරක් නොලබාම කාලය ගෙවිලා ගියා.

පැය ගණන්, සති ගණන්, මාස ගණන්, සමහරවිට අවුරුද්දක්…….

 

වෙරළේ කොච්චර චිත්‍ර ඇන්දත්, රැල්ල ඒවා මකනවා වගේ…

මං කොච්චර දේ කරත් ඒ හැමදේම නොවටිනා දේවල් සේ මැකිලා ගියා.

ඒත් රැල්ල ඉතුරු කරපු දේවල් වෙරළේ තාමත් හැංගිලා.

වැලි පතුලේ තැන්පත් වෙලා.

වෙරළ කවදාවත් ඒවට දොස් කියන්නෑ.

වෙරළ තමන්ගේ වටිනාකමත් පහළට දාලා ඒවා ආරක්ෂා කරගත්තා.

සමහරකුට කුණු ගොඩක් වූ දේ, වෙරළට නිධානයක් වුණා.

 

ලියුම් නැති ලෝකේ, දවසක් එක පණිවිඩයක් එනවා.

“මම දැන් ස්ථාවරයි.”

 

මේ වචන තුනත් එක්කම තව කෙනෙකුගේ මනස අස්ථාවර වෙනවා.

මුල දී අවිශ්වාසයක්, කුතහලයක් තිබ්බත්… කාලයත් එක්ක ඒක ඇත්ත බව වැටහුණා.

 

රැල්ල වෙරළට ආදරෙයි නෙවෙයි; රැල්ල වෙරළට කැමතියි. ඒත් සදහටම නෙවෙයි. තාවකාලික තෘප්තියකට.

ඒ වගේම රැල්ල කවදාවත් වෙරළට අයිති වුණේ නෑ. රැල්ල අයිති වුණේම මුහුදට.

ඉතින් රැල්ල එනකං වෙරළ තාමත් බලං ඉන්නව ද?

නැත්තම් වෙරළ මතක එක්කම ස්ථාවර වෙයි ද?

අහස කැරකෙද්දී පිළිතුර හමුවේවී!

 

Written By: –

 

 

 

 

Anonymous

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top