සතුට – Wordsville 6.0

 

වර්තමාන මිනිසා අතීතයේ කඳුළු බිඳු දෑස් තුළ පුරවාගෙන, බොඳ වූ දෑසින් නූපන් අනාගතය දෙස බලා ගත්වනම, “අනාගත සාර්ථකත්වය” යැයි කියාගන්නා දෙයක් කරා හැල්මේ දුවමින් සිටියි.මෙහි ඛේදවාචකය නම් අතීතය සහ අනාගතය තුළ මනසින් ජීවත් වන පුද්ගලයාට මේ මොහොතේ පවතින වර්තමානයෙහි සුන්දරත්වය මගහැරී යාමයි. මන්දයත් ජීවිතය සැබැවින් ම පවතින්නේ වර්ථමානය හෙවත් “මේ මොහොත” තුළ පමණක් වන බැවිනි. යම් පුද්ගලයෙකුට තම වර්තමානය ඝාතනය නොකර අපේක්ෂිත අනාගතය බිහි කිරීමට පහත කෙටි, කෙටිකතාව කුඩා හෝ අභිප්‍රේරණයක් වේ නම් එය මගේ බලාපොරොත්තුවයි.

                                                                                                                                  

තෙරක් නැති අහස් කුස කැබලි කරමින් නැගී සිටින සද්දන්ත ගොඩනැගිලි සේනාවෙහි අතරින් පතර පෙනෙන අහස් කැබලි අතර පුරුදු පරිදි මාගේ දෑස් නතර විය. අහස් කුස කැබලි කළ දුෂ්ට ගොඩනැගිලි ඉවත් කොට දෑස් අභියස වූ රූපය මනසින් සංස්කරණය කොට මවා ගැනීමට මොහොතක් උත්සාහ කළෙමි.

“නමුත් ඇයි?”යන ප්‍රශ්නය එක්වර ම මා සිතට නැඟිණි. කැබලි වූ අහසකින් මට සෑහීමකට පත් විය නොහැක්කේ මන්ද? අහස් කැබලි පවා කෙතරම් නම් කලාත්මක ද? මම සඳළුතලයේ සිට කල්පනා කරද්දී, අවසාන වීමට නියමිත දිනය හා තරඟ වදින මහ පාරේ ජන ගඟ දෙසට මා දෑස් යොමු විය.

සවස වැඩ ඇරී නිවෙස් කරා ඇදෙන ගැහැණු සහ පිරිමි, ඔවුන්ගේ උල් සෙරෙප්පු සහ හම් සපත්තු තුළට බැස කාපට් ඇතිරූ පාර පෙලමින් ගමන් කරමින් සිටිති.අතීතය හා අනාගතය යන මලු කරගහගත් මෙම මිනිසුන්ගේ දහඩිය සහ දුහුවිලි මුසු මුහුණු, යම්කිසි නොසිඳෙන විඩාවකින් සැලෙමින් පවතින්නා සේ ය.කුමක් කරම්ද? ඔවුන් ජීවිත කාලය පුරා සංස්කරණය කිරීමට වෙර දරන, ඔවුන්ගේ ජීවිත තුළ මේ මොහොතේ ඇති ආනන්දය මොහොතක් විඳ ගැනීමට ප්‍රමාණවත් කාලයක් හෝ අවශ්‍යතාවයක් ඔවුන් හට නොමැති සේ ය.

දෑස් අහියස තිබූ අහස් කැබලිවලින් සෑහීමකට පත් නොවූ, මොහොතකට පෙර සිටි මම ද ඔවුන්ගෙන් එකෙක් නොවුනේදැයි මට සිතුනි.

මෙසේ සැඳෑ කල සඳළුතලයට වී නිමා වීමට නියමිත දිනය දෙස බලා සිටින විට අතීත මතක ගඟ සිත් ඉවුර දෙගොඩ තලා ගලන්නට පටන් ගති. මම දෙවරක් නොසිතා ම ඒ සිතුවිලි දහරට පැන එතුළ කිමිදෙමින් මගේ කෙළිලොල් ළමා විය සහ හිරිමල් තරුණ විය සිහිකළෙමි. නමුත් මා තව දුරටත් තම මව සමඟ හුරතල් වන පස් හැවිරිදි සිඟිත්තියක හෝ යෞවනයේ හිනි පෙත්තේ පසුවන තෙවිසි වයස් කෙල්ලක හෝ නොවමි.අඩ සියවසකට වැඩි අත්දැකීම් මතින් ජීවිතය ඉගෙන ගත් තලත්තෑනි ගැහැණියක ලෙස මා පසුකර පැමිණි අතීත මග දෙස බලා සැනසුම් සුසුම් හෙළීමට අද මට ඉඩ ප්‍රස්ථාව පැමිණ ඇත. සතුට,දුක,ආදරය,විරහව වැනි නානාප්‍රකාර හැඟිම් විඳිමින් විඳවමින් තනි මඟක තනි ගැහැනියක ලෙස පැමිණි මඟ දෙස බැලීමේ දී සියුම් ආඩම්බරයකින් මගේ හද පිරී යයි.මා කුඩා කල සිට ම ආසා කළ වෘත්තිය වූ ගුරු වෘත්තිය මගේ රැකියාව කර ගැනීමට උදා වූ භාග්‍ය ද අමතක කළ නොහැක. එයින් මා නව යොවුන් පාසල් සිසුවියකව සිටි කාලයේ දී සිහින මැවූ ලෙස දහසකුත් දරුවන්ගේ නෙත් මෙන් ම සිත් පෑදීමට මට භාග්‍ය උදා විය.

මෙසේ අතීත සිතිවිලි ගඟ තුළ කිමිදෙමින් සිටි මාගේ සිතිවිලි ගඟ සිඳී යාමත් සමඟ එළඹ සිටි සිහිය උදා විය.

පුරුදු පරිදි ම සැහැල්ලු සිතින් උදා වීමට නියමිත නිශාවත් සමඟ දොඩමළු වීමට පසෙක තැබූ මගේ හුරු බුහුටි ගිටාරය ගෙන වැයීමට තීරණය කළෙමි.සඳළුතලයේ සඳට මා දැක පුරුදු තැනටම ගොස් කුඩා පුටුවකට බර වීමි.

“ම්ම්ම්…

ගිනියම් ඉර…

සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ…

අපි කව්රුද… “

සුපැහැදිලි සුසර බව ගිටාරය හැර ගොස් ඇති හැඩයි.ගිටාරයේ තත් සුසර කිරීමට සුසර ඇණය සෙමෙන් කරකැවීමට පටන් ගතිමි.

තත සිඳි ගියේ ය.

චටාස්!! ………… වහලයට නැමුණු පොල් ගසෙන් ගිලිහුණු පොල් ගෙඩියක් උළු කැටයක් ද දෙබෑ කරමින් පහල ටකරන් වහලයට වැටෙන හඬ ඇසුණි. දසත අඳුර හැර අන් කිසිවක් නැත. නැවතත් දෑස් පොඩිකර අතේ දුරින් තැබූ ජංගම දුරකථනය ගෙන දුරකථන තිරය දෙසට දෑස් යොමු කළෙමි. වෙලාව අලුයම හතරයි විසි අට ලෙස සටහන් ව තිබුණි. උදෑසන හතරයි තිහට අවදි වීම සඳහා දුරකථනයේ තැබූ සංඥාවට පෙර ගසෙන් ගිලිහුණු පොල් ගෙඩිය මා සිහිනයෙන් සම්මුති යථාර්ථයට අවදි කර ඇත. අඳුරට හුරු වූ මගේ දෑස් අසල මගේ සැමියා සුවෙන් නිදා සිටිනු පෙනේ.දරු දෙදෙනා ද සුව නින්දේ විය යුතුය.

ඔව්…ජීවිතය සිහිනයක් නොවන නිසා දැන් උදා වීමට නියමිත දිනය සමඟ ම, මා ද පිබිදිය යුතුය.උදෑසන ආහාරය සකස් කොට සියල්ලන්ගේ ම ඇඳුම් ස්ත්‍රික්ක කොට දිවා ආහාරය පාර්සල් සකස් කළ යුතු ය. දරුවන් අවදි වූ පසු ඔවුන්ගේ කුසට ආහාර ද, මළුවලට අනාගත බලාපොරොත්තු ද පුරවා පාසල් යැවිය යුතු ය. සැමියා ද කාර්යාලයට නික්ම ගිය පසු මම ද විගහට හැඳ පැලඳ වේලාව අනුව කුසට ආහාරයක් ලබා දෙන්නේදැයි තීරණය කොට අවසානයේ අදවත් ප්‍රමාද නොවී අටයි තිහට පෙර කාර්යාලයට වාර්තා කළ යුතුය.

නමුත් ඊයේ සිටි මා නොකළ යමක් මම අද කරමි. එනම් අනාගතය වෙනුවෙන් අරගල කරන හා අතීතය තුළ තැවෙන අපේ ජීවිත තුලට මේ මොහොත තුළ ඇති ආනන්දය ගෙන ඒමයි.මාගේ යටිසිත රචනා කොට රාත්‍රියෙහි තිරගත කළ සිහිනය තුල වූයේ මා කුඩා කල අනාගතයේ දී ගෙවා දැමීමට ආශා කළ ජීවිතයයි. නමුත් ඊට වෙනස් භූමිකාවක් රඟ දැක්විය යුතු ජීවිතයක් මට අද ලැබී ඇත.කම් නැත. සිය දහස් මිනිසුන් අතරින් අද මට අයිති ජීවිතය සතුටින් ගත කිරීමට ඉටා ගතිමි.

“සතුට” යනු ආයතනීය ඉහල පෙළ නිලතල සහ ව්‍යාපාරික සාර්ථකත්වය තුළින් ගොඩනැගෙන ආර්ථික සහ සාමාජීය සුවපහසු කලාපය තුල ලැඟුම් ගත් මිල අධික සුඛෝපභෝගී වස්තුවක් නොවන බව දැන් මට වැටහේ. බිඳෙන මුහුදු රළකින් උපදින පෙණ පිඬු,හරිත පැහැ ගහ කොළ, වළා සේල දවටාගත් පුරහඳ,උස් ගොඩනැගිලි හිස් වැදී සිදුරු වූ අහස් කුස වැනි ඉතා සරළ සංසිද්ධි තුළ පවා සුන්දරත්වය සතුට නොඅඩුව ගැබ් ව පවතී.එසේ ගත් කළ සතුට යනු හඹා ගොස් අත්පත් කරගත යුත්තක් නොවන බවත් එය තනිකරම තෝරා ගැනීමක් වන බවත් මට දැන් වැටහේ. ඉතින් වර්තමානයේ සරල සතුට තුළ ජීවත් වෙමින් එහි ආනන්දය විඳිමින් ම අනාගතය සරිකරලීමට වෙහෙසෙමි.

ඔව්…එය පුදුමයකි. නැහැ, හාස්‍යයකි. නමුදු සත්‍යකි. සිහින පවා ජීවිතය උගන්වයි!

 

Written By: –

 

 

 

 

Dewmi Sajana Jayawardhana
(University of Kelaniya)

 

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top