ගෙනාපු බඩු සේරම අම්මලා එක්කම අස්පස් කරපු මම අලුත් ගෙදර හැම තැනම ඇවිදලා බැලුවා . ලස්සනයි! මං මේ ගෙදරට ගොඩක් කැමතියි . මටම තනි කාමරයක් ! එක තමයි සුපිරිම දේ. හවස් වෙලා මං ආවා මගේ බඩබොක්කෙ ෆ්‍රෙඩා චතුකයා හම්බෙන්න.
“කුලිය කීයද බං? “
“රුපියල් 30,000ක් බං මාසෙකට”
“හයිවේ එක අයිනෙ කිව්ව නේද තියෙන්නෙ”
“ඔව් බං.
ඒ හරියෙ කළින් ගෙවල් ගොඩාක් තිබිලා. හයිවේ එකට ඉඩම් ගන්න ඒ මිනිස්සුන්ව අයින් කරලා ඒ ගෙවල් වලින්.”
“එහෙමද? අඩෝ මේ මෙහෙම කිව්වට බය වෙන්න එපා හොඳේ.”
“කියපන් බං. මොකක්ද ?”
“මං අහලා තියෙනවා හයිවේ වල රෑට අමුතු සද්ද ඇහෙනවා කියලා. ඔහොම තමන්ගෙ ඉඩම් වලින් අයින් කරපු මිනිස්සු ඒ ගැනම හිතලා මැරිලා ගිහින් රෑට හයිවේ අයින් වලට වෙලා හූල්ල හූල්ල ඉන්නවලු.”
“හැහ්! අඩෝ ඒක නම් පට්ට ජෝක් එක බං. උන්ට කරන්න වෙන වැඩ නැද්ද බං?”
“අඩෝ විහිලු නෙවෙයි බූරුවෝ. මං අහලා තියෙනවා එහෙමයි කියලා”
” අනේ ඔය මනස්ගාත බං.හොල්මන් කියල දෙයක් නෑ .”
චතුකයා කියපු දේ ඒ කනින්ම එලියට වීසිකරලා දාලා මං ඌට අත වනාගෙන ගෙදර ආවා. දවසෙ මහන්සියටම අපි හැමෝම වේලාසනම ඇඳට වැටුණා.
ඉතින් ඔහොම දවස් පහ හයක් ගෙවිලා ගියා. ඒ/ලෙවෙල් විභාගෙත් ළඟම එන නිසා මම ඉක්මනින් පාඩම් කරන තැන හදාගත්තා. අද තමයි මේ ගෙදරට ආවත්හරි පළවෙනියටම පොත් ටිකට අත තියන්න යන දවස. වේලාසනම රෑට බඩ පුරෝගෙන මං මේසෙට ආවා.
වෙලාව රෑ දොළහමාරයි. පොතක් ඇතුලේ ඔබාගෙන හිටපු මගේ ඇස් දෙක එකඑකපාරටම කාමරේ බිත්ති පුරා දුවන්නට වුණේ මට ඇහුණු අමුතු සද්දයක් නිසා. අමුතු අඩි සද්දයක් මගේ කාමරේ වහලෙන්! මම ඉක්මනින් අම්මලාගෙ කාමරේට දිව්වා. මං හිතන්නෙ වහලෙ උඩ ලේන්නු දුවනවා. මං ආයෙත් පොත් වලට බර වුණා. තවත් මාසයක් දෙකක් අලුත් ගෙදර අලුත් මතක එක්ක ගෙවිලා ගියා. කීපවතාවක්ම මං වැඩ කරන වෙලාවට අමුතු සද්ද ඇහෙන්න ගත්තත් මං කාටවත් ඒ ගැන කියන්න ගියෙ නෑ. වැඩියෙන්ම මට ඕන වුණේ එදා චතුකයා මට කියපු දේ ඇත්ත නෙවෙයි කියලා මටම ඔප්පු කරවන්න.
ටිකක් පහුවෙලා නිදාගන්න ගියපු මම එකපාරටම ඇහැරුණේ දිව ගිලෙන්න වගේ ගිය නිසා. ලයිට් දාන්න කම්මැලිකමට කළුවරේම කුස්සිය පැත්තට ඇවිදන් ගියපු මගේ කකුල මොකේක හරි හැප්පුණා. ස්විච් එක පහුකරන් ආපු නිසා මං ආපහු හැරෙන්නෙ නැතිව ඉස්සරහටම ඇවිදන් ගියා. කුස්සියේ ලයිට් එක දාලා මං වතුර වීදුරුවක් පුරෝගෙන එක හුස්මටම බීලා දැම්මා. මගේ කකුල පැටලුණේ මොකක්ම හරි ලොකු දෙයක. හරියට නිකම් කවුරුහරි කෙනෙක් පාර මැද වකුටු වෙලා ඉඳගෙන ඉඳලා වගේ. මගේ හිතේ එක එක දේවල් ඇඳෙන්න ගත්තා.ඒත් එක්කම වගේ මට අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් ආවා. මටම සුළැඟිල්ල උස්සපු මම බාත් රූම් එක දිහාවට ඇවිදන් ගියා.
අප්පාහ්! බාත් රූම් එකේ දොර ඇරෙන්නෙ නෑ. මං දෙතුන් පාරක්ම දොර තල්ලු කළා. දැන්නම් මගේ අවයව පුපුරන්න එනවා. ඒ තරමටම උත්සන්න අවස්තාවේ හිටපු මං අන්තිම වතාවට කියල හිතාගෙන ආයෙමත් දොර අරින්න ට්‍රයි කළා. පුදුමයි! මෙච්චර වෙලා ඇරුණෙ නැති දොර එකපාරටම ඇරුණෙ මාව බාත් රූම් එක ඇතුලට වීසි වෙන ගමන්මයි. තවත් තත්පරයක්වත් නොයිඳ මං මගේ වැඩේ කරගත්තා. සේරම ඉවර වෙලා මූණ පොඩ්ඩක් තෙමාගෙන එළියට එන්න හදද්දිම වගේ මං කණ්නාඩියෙන් කාගෙහරි ඡායාවක් දැක්කා. මට හොඳටම විශ්වාසයි ඒ දැක්කෙ මාවම නෙවෙයි කියලා. මම ඉක්මනට ගිහින් බාත් රූම් එකේ දොර අරින්න හැදුවත් ආයෙමත් දොර ලොක් වෙලා. මං කීපවතාවක්ම දොර අරින්න ට්‍රයි කළා. බැරිම තැන අම්මලාට කෑගහලා කතා කළා. ඒත්..කවුරුත්ම ආවෙ නෑ.මේ මොකක්ද වෙන්නෙ? ඇයි මං මෙච්චර කෑගහලත් කවුරුත්ම එන්නෙ නැත්තෙ?
මං හොඳටම බය වුණා.
එකපාරටම ආයෙත් මට අර අඩිසද්දෙ ඇගෙන්න ගත්තා. බයටම මං බිම ඉඳගෙන කකුල් දෙක අතරෙ මූණ හංගගත්තා. කරන්න ඕන මොනවද කියල මට තේරෙන්නෙ නෑ.
ටික වෙලාවකට පස්සෙ මං ඔලුව උස්සලා බැලුවා. එකපාරටම බාත් රූම් එකේ කවුළුවෙන්!!!
දවස් දෙකකට පස්සෙ මට සිහිය එද්දි මං හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ. හැමෝම වට වෙලා මං දිහා බලන් හිටියා. අම්මා මං ළඟට ඇවිත් ඇහුවා “දොර ලොක් වුණා නම් ඇයි දරුවො අපිට කතා කළේ නැත්තෙ?” කියලා. ඒකට දෙන්න උත්තරයක් මට තිබුණෙ නෑ. සිද්ද වුණු කිසිම දෙයක් හිතාගන්න බැරුව මං ඔහේ බලාගෙන හිටියා.
“පේශන්ට රිලැක්ස් වෙන්න දීලා ඔයාලා දැන් එළියට යන්න” නර්ස් එහෙම කියාගෙන ගියා. අම්මලා රෝහල් කාමරෙන් එළියට යන්න හැරෙනවත් එක්කම චතුකයා මං ළඟට ආවා. “උඹ කාව හරි දැක්කද?” ඌ එකපාරටම මගෙන් අහපු ප්‍රශ්නෙට මං තබ්බීරිවෙලා ගියා. ඒත් එක්කම මං එදා කවුළුවෙන් දැක්ක දේ මතක් වෙලා ගැස්සිලා ගියා. ඌ මගේ උරහිසට අතක් යවලා තට්ටු කර කර ” මං උඹට එදා කිව්වනෙ බං” කියලා ඔලුව බිමට බර කරගෙන දෙපැත්තට වනන ගමන් කිව්වා.
එදා සිද්දිය ගැන මං තවම කාටවත් මුකුත්ම කිව්වෙ නෑ. අඩු තරමෙ චතුකයාටවත්. මගේ හිතේ බය දෙගුණ වෙන්නෙ ආයෙමත් මට ඒ ගෙදරටම යන්න වෙනවා කියලා මතක් වෙන වෙලාවට තමයි.
Written By:-
(Member 2022-23)
Edited By:-
Blog Team 2022-23
Excellent….❤
Great