සැරිසරන සෙවණැලි – ලොකු මැණිකේ

සිලි සිලි හඩ නංවමින් තාලයට කඩා හැලෙන දිය ඇල්ලක දසුන මාගේ මතකය සමග මා ද කුඩා අවදියට ගෙන යෑමට සමත් වුනේ මටත් නොදැනීමයි. කොළඹ නගරයේ කර්කෂ උණුසුමට මා කිසි කලෙක ඇලුම් නොකළේ කුඩා අවදිය සීතල සමග මුසුවූ ආනන්දජනක නැවුම් පරිසරයක් තුලම ගෙවුනු නිසාවෙනි.

හදිසියේම සිදු වූ මාගේ සෙනෙහෙබර මෑණියන්ගේ වියෝවෙන්, පියාගේ දරදඩු ගති පැවතුම් වලට හිස නමනවා හැර මා හට කළ හැකි අන් දෙයක් නොමැති වීම මගේත් මගේ මවගේත් අවාසනාව බව අද මෙන්ම එදත් මා දැන සිටියෙමි. මහා විශාල පයිනස් ගස් යාය මැදින් කෙවිල්ටන් වතු යාය දක්වා දිවෙන මාර්ගය කන්ද උඩරට උපන් සියල්ලන්ගේම අභිමානය කදිමට පැහැදිලි කරන්නට සමත් වීම මට දැනෙන්නේත්, මගේ උපන් බිම මනරම් නුවරඑළිය වීමයි කියා මා පවසන්නේත් ඉතා අභිමානයෙනි.

මයිකල් අංකල් වාහනය පදවන්නේ ලෝකයේ තිබෙන විශාලතම වගකීම ඔහුගේ හිස මත තබාගෙන වැනිය. තාත්තාගේ අණ අකුරටම පිළිපදින ඔහු මටද දක්වන්නේ ඊට නොදෙවනි ගෞරවයකි. 

කන් දෙක අගුල් වැටෙන තරමට මට දැනෙන සීතල නිසා මා අත් දෙක බැදගෙනම ඈතින් දස මහා යෝධයෙකු මෙන් අහසට නැගී සිටින නකල්ස් කදු යාය දෙස නෙත් යෝමාගෙනම කටහඩ මදක් අවදි කළෙමි. ඒ මගේ අවශ්‍යතාවයකට නොව මයිකල් අංකල්ගේ යටහත් පහත් පැනයට උත්තර බැදීමටයි.

හිම වලාවන් නිසා පෙනී නොපෙනී මෙන් දිස් වූ කෙවිල්ටන් වලව්ව ඉදිරිපස දැවැන්ත යකඩ ගේට්ටුව ලග මා රැගත් වාහනය නතර වද්දී වේලු සීයා පෙර මෙන්ම අදත් කකුලක් කොර ගසමින් කඩිමුඩියේ දිව ආවේ වසා ඇති ගේට්ටුව විවර කර වාහනයට ඇතුල් වීමට ඉඩ සලසා දීමටයි. මා දුටු විගස බිමටම නැමී පුංචී බේබි හාමු කියා මුළු හදවතේම ඇති ආදරය විඩාපත් මුව ළඟට ගෙන මා ඇමතුවේ උතුරා ගලා යන සෙනෙහස සමගින් බව මා හොදාකාරයෙන්ම දනිමි. මයිකල් අංකල් වාහනය පෝටිකෝව යට නතර කොට ඉක්මනින්ම බැසවුත් මා අසුන්ගෙන සිටි අසුනනේ ද්වාරය දෑතින්ම විවර කළේ ඉතා ඕනෑකමිනි. ඒ නමුත් ඔහු විවරකල දොරින් එළියට අඩියක් තබන්නටවත් පෙර කෙවිල්ට්න් වලව්වේ හිමිකරු, ගම් වැසියන් ඉතා ඉහළින් ගරු බුහුමන් කළ මගේ පියා පයිප්පය උරමින් මයිකල් අංකල් දෙස බලා “මොකද පරක්කු” කියා ඇසුවේ උස් හඩිනි. “හොඳටම වැස්ස, පාරවල් ලිස්සන නිසා හිමින් ආවෙ ලොකුහාමු” කියා බිමට නැමී මයිකල් අංකල් උත්තර බැදි පසු “කොහොමද පුතා”, “හොඳයි!” කියා කෙටි පිළිතුරක් දී මා ගේ තුල ගියේ උපන් නිවසේ දැනෙන සතුට, සෙනෙහස විඳ දරා ගැනීමේ ආශාවක් මට පෙර, මා පසුකර ගේ තුලට දිව ගිය නිසාවෙනි.

මාගේ නිදන කාමරය තිබුණේ නිවසේ උඩු මහලේ බැවින් තරප්පු පෙළ දිගේ ඉක්මනින් අඩි තබමින් මා දිව යන විට

චලාස්!!!”. 

ගල්ගැසී හිටි තැනම නතරවුනේ බය බිරාන්ත  වූ නිසාමයි. එකවරම අප්පච්චි දෙස බැලුවත් අප්පච්චි පයිප්පය උරමින් මා පසුකර ගොස් කන්තෝරු කාමරයට වැදුනේය. 

මොකක්ද ඒ?”. 

බේබි හාමු බලා තඩියෙක් ද කොහෙද පැනලා සාලෙ තිබුණ ලොකු මල් පෝච්චිය බිඳුනා වගේ,බේබි යන්නකෝ, මම ඒක අස් පස් කරල දාල එන්නම්, හා හා යමු කාමරයට!”

කියා වේලු සීයා මාද කැඳවාගෙන කාමරයට යන්නට විය. ඔහු මාගේ මලු පිළිවෙලට කාමරයෙන් තබා යන්නට හැරුණේය. දඩාස්!!!! 

මහා විශාල ශබ්දයක් සමග මගේ කාමරයේ ජනෙල් පළුවක් වැසුනේ මගේ ඇඟ හිරි වට්ටමිනි. 

අයියෝ! මේ  ජනෙල් කොක්ක දාලා නෑනෙ ඇලිස්”,

කිය කියා බනිමින් වේලු සීයා ජනේලය ඇර යළි පහළට ගියේ කුමක් හෝ චකිතයකින් වැනිය. 

බේබි උණු කෝපි එකක් බොන්න, බීලා මූණ කට හෝදගෙන විවේක ගන්නකෝ!”කියමින් ඔහු ගිය වග ඇසුනේ යාන්තමිනි. මා ජනේලය අසලට ගොස් ගැඹුරු හුස්මක් ඉහලට ගෙන සියලු ගමන් මහන්සිය දුරු වෙන්නට සිතමින් ඒ හුස්ම වහලයට මුදා හැරීය. කෙවිල්ටන් වලව්වේ පුදුමාකාර ව්චිත්‍රවත් නේක වර්ග මල් පිරී තිබුණි. මා ද ආසාවෙන් ඒ දෙස බලා වතු යාය පුරාවටම ඇසීරී තිබුනු නේක වර්ග මල් දෙස දෑස් යොමු කළේ කිව නොහැකි ආශාවකිනි. එහි තිබූ වෛවර්ණ මල් වර්ග වලව්වේ ගාම්භීරත්වයට සාක්ෂි මෙන් නැගී සිටිති. කෙලවරේ තිබූ ගල් බංකුවේ කවුරුන් හෝ වාඩිවී සිටිනවා මා දැක්කේ යන්තමටය.  අවසරයක් නොමැතිව වත්තට ඇතුල්වන්නට කිසිම කෙනෙකුට බැරි බව මම දැන සිටි නිසා ඒ බංකුව මත වාඩි වී සිටින කෙනා කවුරුන්දැයි විමසිල්ලෙන් බලන විට රෝස පැහැති දිගු සායක් සහ සුදු පැහැති අත් දිගු හැට්ටයකින් සැරසී, කොන්ඩය නිදහසේ කඩා දමා සිටි තරුණියක් යැයි කියා සිතිය හැකි රුවක් මට දකින්නට හැකි විය. මගේ කාමරයට යාබදව තිබූ බැල්කනිය වෙත මා ගියේ ඇයව හොඳින් දැකීමට මට ඉඩක් සාදා ගැනීමටයි. බැල්කනියට වත්තේ කෙලවරේ තිබූ  ගල් බංකුව පහැදිලිව පෙණුනත් ඒ මත හිඳගෙන සිටි තරුණිය සිටියේ නැති වීම මට පුදුමයකි. 

අනේ බේබි හාමු, මගේ රත්තරන් බේබි හාමු ආවා ද ?! අම්මේ ලස්සන!! එංගලන්තය කුමාරයෙක් වගේ මගේ මැණික!” 

කියා හඬමින් කෝපි කෝප්පයක් ද රැගෙන ඇලිස් ආච්චි පැමිණියාය. අම්මාගේ වියෝවෙන් පසුව මට දෙවැනි අම්මා මෙන් වූයේ ඇලිස් ආච්චියි. ඇය මා මෙලොව එළිය දකින මොහොතේ පටන් මා සමග සිටි බව මට බොහෝ දෙනා කියා ඇත. අම්මාගේ ආදරයට නොදෙවැනි වන්නම ඇය මට ආදරය කළාය. එය සත්තය. මා පිළිගන්නා එකම සත්‍ය එයයි. ඇලිස් ආච්චි සමග හිතලු වී මා ඇය දුන් කෝපි කෝප්පය රැගෙන නැවත බැල්කනියට ගොස් අසුන් ගතිමි. නැවතත් ඈතින් පෙනෙන ගල් බංකු උඩ අර තරුණිය මල් දෙස බලමින් සිටියාය. මා ටික වෙලාවක් ඒ දෙස බලා සිටිමි.

කවුද අර?”

හඩ අවදි කළෙමි.

කෝ මැණිකේ කොහෙද?” 

අර ගල් බංකු උඩ ඇලිස් ආච්චි”. 

ඇය ඈතින් පේන බංකුව නොබලා කෝපි කෝප්පය මා අතින් ගෙන මුහුන බිමට හරවා ගෙන යන්නට විය. ගොරෝසු සපත්තු අඩි තරප්පු පෙළට වදින හඬින් මට තේරුන් ගියේ අප්පච්චි මා බැලීමට උඩු මහලට එන බවයි. මම මාගේ වියන් බැඳි යහන මත දිගාවී දෑස් වසාගෙන සිටියේ ඔහු මඟහැරීමට සිතාගෙනය. මගේ හදවත තුළ ඔහු කෙරේ සෙනෙහසක් කවදත් ඇති නොවීම මට පුදුමයක් නොවුවත් මා යළි නැගිට නාන කාමරයට ගොස් උණු වතුර කරාමය හැර හොඳින් දිය නා විඩාව නිවා ගත්තෙමි. ඉතා සැහැල්ලු දිගු කලිසමක් සහ ලොකු කමිසයක් ඇදගෙනම කාමරයේ තිබුණු කන්නාඩි මේසෙ ලඟට ගොඩ වූයේ හිස පීරන්නටය. පුදුමයකි! අර ගල් බංකුව මත වාඩිවී සිටි සුන්දර තරුණිය මට පිටුපා සිටිනවා මං කන්ණාඩියෙන් දුටුවෙමි. මම හැරී බලද්දී පුදුමයකි! කිසිවෙක් මට පිටු පසින් නොසිටියහ. මේ මොහොතේ මා තරුණයෙකු වුවද හිත කිසියම් නොසන්සුන්තාවකින් පෙලෙන්නට පටන් ගත්තේය. 

ඇලිස් ආච්චී!”,

මම ශබ්දයෙන් ඈට කතා කෙරු නමුත් ඈ වෙනුවට වේලු සීයා පැමිණි බැවින් මා කිසිවක් නොකියා සිටියෙමි.

බේබි හාමු ජනෙල් වහමු, සීතල වැඩියි! කොළඹ රටේ රස්නෙ ඉඳලා මෙහෙ ආව ගමන් ඔරොත්තු දෙන්නේ නැහැ, සීතලට ලෙඩ වෙයි, ටිකක් නිදා ගන්න! මම කෑම ටික උඩට අරන් එන්නම්” 

කියා කියන්නට වද්දී මගේ කාමරයේ ද්වාරය ශබ්දයෙන් වසා කවුරුන් හෝ තරප්පු පෙළ බසිනවා මට ඇසුනි.

කවුද ඒ?”. 

ලොකුහාමු ඇර වෙන කවුද බේබි? හා හා බේබි ටිකක් නිදාගන්නකො!”

කියා වේලු සීයා යන්ට ගියේය. මා වයස අවුරුදු දහඅටක තරුණයෙක් වුවද  මා නොදන්නා කිසියම් දෙයක් මේ නිවසේ සිදුවන බව  සිතුන මුත් එය අසන්නට මට කිසිවෙක් සිටියේ නැත.

වේලු සීයා! උඩට කෑම අරන් එන්න එපා, මම පහලට එන්නම්!”

කියා මම උඩ සිටම කෑගැසුවෙමි

හා එහෙනම් පහළට එන්න කමු” 

කී පසු මා ටික වෙලාවක් උඩු උඩුමහලේ තිබූ පින්තූරේ දෙස බලමින් අතීතය සමග සුහද පිළිසඳරක හදවතින් යෙදුණි.

අහස උසට දේපල කන්ද තිබුනත් මහමග හිඟමන් යදින යාචකයෙකුට වඩා අසරණ තනිකමක් මට දැනෙන්නට විය. සියල්ලම දරාගෙන මම දිවා ආහාරය වලදන්නට පහලට යන්නට තරප්පු පෙළ බැස එන විට, සාලය මැද අර තරුණිය වතුර වීදුරුවක් අතේ තබාගෙන සිටගෙන සිටිනු දැකීමෙන් මම පුදුම විය. ඈ සිටියේ මා හට ඇයගේ මුහුණ නොපෙනෙන ලෙසින් පිටුපා ගෙනයි. ඉක්මන් ගමනින් පඩිපෙළ බැස මා ඇය ලඟට දිව ගියද ඇලිස් ආච්චි ආහාර බෙදාගෙන පැමිණීමත් සමඟ මට අර තරුණිය යළි මඟ හැරුණාය. මම ඇය ළඟට පැමිණියේ අවුල් වුණු හදවතකිනි. 

බේබි හාමු, ලොකුහාමු එන්න එහෙනම් වාඩිවෙලා කමු නේද? ” 

ඇලිස් ආච්චි මට කෑම බෙදා දෙන විට මාගේ කල්පනාව වෙන අතකට දුවන්නට විය.

පුතා නිදි නිසා මම කතා නොකර පහළට ආවා, ඔයාට බඩගිනි ඇති එහෙනම් අපි කමු නේද?”  

අප්පච්චි හඬ විවෘත කළ කියූ දේ නිසා මම බත් කටවල් දෙක තුනක් කා වතුර උගුරක් බී නැගිට්ටෙමි.

ඇයි පුතා කෑවෙ නෑනේ?” 

මට බඩගිනි නෑ, මට ඇති අප්පච්චි, මහන්සි කන්න බෑ,”

මම ඇවිදගෙන මිදුල දෙසට එන්නට විය. මිදුල ඈත තිබෙන ගල් බංකුවේ ලඟට මා හෙමින් ඇවිදගෙන ගියෙමි. මයිකල් අංකල් ගේ පුතා වූ සුරේෂ් මල් ගස් වලට සාත්තු කරමින් සිටියේය.

පුංචි කාලේ මතක් උනා සුරේෂ්”  

අනේ  මම ලගට එනකම් දැක්කෙ නෑ බේබි”. සුරේෂ්  නැමී ගරු කරමින් මට කතා කරන්නට සැරසුණි.

හරි හරි සුරේෂ් වැඩ කරන්න, ඔයා කෑවද?”

නෑ හාමු මේ පෝර ටික දාලා යන්නම්”

“සුරේෂ් වලව්වේ ගෑනු ළමයෙක් කාව හරි වැඩට ගත්තදමම දැක්කා එහාට මෙහාට යනවා, අර ගල් බංකුවේ වාඩි වෙලා හිටිය, එයා මට අඳුර ගන්ගන්න බැරි වුණා ඒකයි මම ඇහුවෙ

සුරේෂ් මා දිහා බලා සිටියේ ගැහෙන හදවතකින් ද මන්දාය. 

ඇයි සුරේෂ් කවුරු හරි වැඩට ආවද?

දන්නෑ  බේබි හාමු මම දන්නේ නම් නෑ . බේබි හාමු ඇතුලට යන්න ටිකක් නිදා ගන්න.මම මේ වැඩේ ඉවර කරල දාල එන්නම්”.

සුරේෂ්!”

ඔහුගේ කමිස කොලරයෙන් ඇද මා දෙසට ඇද ගත්තේ මට ඇතිවුන කේන්තිය නිසායි. “මට හන්ගන දෙයක් මේ ගේ ඇතුලේ ඉන්න හැමෝම ළඟ තිබුණ බව මට තේරුණාකියපං කවුද මෙහෙ උඹලා ඇරෙන්න ඉන්නේ? මම නොදන්න කෙනෙක් ඉන්නවද? කියපං!”

සුරේෂ් බිමට නැමී බිම වාඩි වුණේ මට තියෙන ගෞරවයටයි.

කියපං කවුද ඒ ? මේ වත්තට කාටවත් එන්න බෑ, මේ ගෙදරට කාටවත් එන්න බෑ, අප්පච්චි ආපහු කාවහරි එක්කගෙන ආවද? ඇත්ත කියපං!”

අම්මා ජීවතුන් අතර සිටින විට අප්පච්චිගේ ගති පැවතුම් මම දැන සිටි නිසා මට ඔහු ගැන එතරම් සැකයක් ඇති වී එය වෛරයක්ද වී ඔහුගෙන් එය අසා දැනගන්නට ඇතුළට යන්නට හැරෙද්දි

බේබි හාමු බේබි හාමු ඒ හමුව දැක්කද? හාමු අනේ හාමු ම..ම….මම කියන්නම්..මේ වලව්වේ හැමෝම දකින … අහන දේ අද බේබි හාමු දැක්කද?”

ඔව් ඉතින් ඒ කවුද කියපං”

“ලොකු මැණිකේ බේබී”

මොකක්!? මොනවාද උඹ කියන්නේ? මට තේරෙන්න කියපන්!”

බේබි අනේ කාටවත් කියන්න එපා මම කිව්වා කියල, බේබි හාමු, ලොකු මැණිකේ හැමදාම මේ වලව්වේ ඉන්නවා. ලොකුහාමු ගොඩක් දේවල් කරා යවන්න. ඒත් වැඩක් වුණේ නෑ, බේබි හාමු මේ වලව්වට ආපහු එනකල් යවන්න බෑ කියලා කතාවක් තියෙනවා, දැන් ආවා නේ බේබි, අපි බලමු ටික දවසකින් මොකද වෙන්නේ කියලා,” සුරේෂ් කියූ වචන මා දෙපා පණ නැති කරන්නට විය.. ඇස්වලින් කඳුළු පිරිණි.මුවගට කිසිදු වදනක් ආවේ නැත.

“මගෙ රත්තරං අම්මා අනේ යන්න එපා කොහෙවත් යන්න එපා මේ ගෙදර මා එක්කම ඉන්න.”

මම අහස දිහා බලාගෙන පපුව පැලෙන්න වේදනාවකින් කියන්නට විය.

” මට තනිකමක් නැහැ මගේ අම්මා එක්ක මට මේ වලව්වේ ජීවත් වෙනවා….”

Written By:-


Rtr. Shamalky Fernando
(General Member 2022-23)

Edited By :-


Blog Team 2022-23

Spread the love
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
jamu303.com

Уou should take part in a contest for one of the finest blⲟgs on the
intеrnet. I most certainly will recօmmend thius blog!