අපේක්ෂිත සිදුවීම්වලට වඩා හිතට කාවදිනුයේ අනපේක්ෂිත සිදුවීම් බව ඔබත් පිළිගන්නවා ඇති. අන්න ඒ වගේ කිසිම දවසක හිතුවෙවත් නැති විදිහට සතුටින් පටන් ගත්ත දවසක් මේ විදිහට හිත පුරා බයෙන් අවසන් වන්නට නියමිත බව ජෝන් පවුල එතකොට දැනගෙන හිටියේ නැහැ.
හුඟ කාලයක් තිස්සේ ඔවුන් බලන් හිටපු පුංචි කුරුළු කූඩුවේ නිවාඩුවත් ආවා. මේ පාර කලින් නොගියපු තැනකට යන්න තීරණය කරපු ඒ පවුලේ හත් දෙනා, කල්පිටිය තෝරාගත්තා. මේ ගමන ඇරඹුණේ පාර පැත්තෙන් වුණාට ගමනාන්තයට යන්න පුළුවන් වුණේ විනාඩි 20ක පමණ බෝට්ටු ගමනකින් පස්සෙයි. ඒ යද්දීම වෙනම දූපතකට යනවා වගේ කියන හැඟීම තිබුණත්, වෙනස් අත්දැකීමකින් ඒ හැමෝටම වෙන කිසිම දෙයක් කල්පනා වුණේ නම් නැහැ.
ඒ බෝට්ටු ගමනින් පස්සේ ජීප් රථයකට ගොඩ වුණු ජෝන් දෙපළයි, ළමයි පස් දෙනයි නවාතැන් පොළට යනකම් ම දැක්කේ වියළි වටපිටාවක ඉඳලා හිටලා එහාට මෙහාට යන මිනිස්සු කීපදෙනෙක් විතරයි. කොහොමහරි අන්තිමට ඔවුන් මුහුදු වෙරළේ විශාල භූමි ප්‍රදේශයක පැතිරිලා තිබ්බ හෝටලයට ආවා. ආපු ගමන් විඩාවයි, මොකක්ද තියෙන්නේ කියලා දැනගන්න තිබ්බ ආසාවයි එක්ක ලොකු අමුත්තක් නම් ඔවුන්ට දැනුණේ නැහැ. කොහොමහරි හවස් වරුවත් ගෙවිලා කළුවර වැටෙන්න පටන් ගත්තා. ඇඟපත හෝදගෙන රෑ කෑමට ලෑස්ති වුණු එයාලාට එයාලගේ කාමර තිබ්බ ගොඩනැගිල්ලෙන් එහා තිබ්බ අවන්හල් ගොඩනැගිල්ලට එන්න තිබ්බේ වෙරළේ ගහල තිබුණ ලී පටි දිගේ. තම්බපු එළවළු එක්ක රස ෆ්‍රයිඩ් රයිස් එකක් කාපු එයාලට අතුරුපසට ලැබුණේ බිත්තර දාලා හදපු කැරමල් පුඩිමක්. කොයිවෙලෙත් මොකක්මහරි බාල්දියක් පෙරළන පවුලේ බඩපිස්සා වූ මල්ලිට එතකොටම හදිස්සියේ කාමරයට යන්න වුවමනා වෙනවා. කළුවරේ තනියම යවන්න බැරි නිසා ජෝන් මහතාත් ඔහුගේ තනියට යන්නේ තමන්ගේ අතුරුපස අනිත් අය එද්දී ගේන්න කියලයි.
ඒ ඔවුන්ට වැරදුන තැන! ලී පටි දිගේ තාත්තගෙත් මල්ලිගේත් අතුරුපස අරගෙන ඒ මග එළි කරපු පුංචි ලයිට් එළිය දිගේ ගියපු ජෝන් මහත්මියයි, කෙල්ලෝ හතර දෙනායි දෙන්න දෙන්න ගානේ ඇවිදින්න පටන් ගන්නවා. ඒ විදිහට අන්තිමටම හිටියේ ජෝන් මහත්මියයි, එයාගේ වැඩිමල් දුවයි. එයාලා හිතන් හිටියේ නම් එහෙමයි. හැබැයි ඒක එහෙම නෙමෙයි කියල එයාලට තේරුම් ගන්න වැඩි වේලාවක් නම් ගියේ නැහැ. ලී පටි දිගේ අඩි තියන සද්දේ ඒ දෙන්නට ඇහුනේ ඉස්සරහින් විතරක්ම නෙමෙයි. ඒත් එක්කම අම්මගේ දිහාවට හැරුණ ලොක්කගේ මුණුහ දැක්කා ජෝන් මහත්මියට තේරුණා ඒ තමන්ට විතරක් දැනුණ දෙයක් නෙමෙයි කියලා. “හැරිලා බලන්න එපා!” ඈ කිව්වේ එපමණයි. ඉක්මන් ගමනින් ඉස්සරහින් ගියපු අයවත් හදිස්සි කරවලා ඔවුන්ගේ කාමර හිටපු ගොඩනැගිල්ලට ආවත් හිතේ බය අඩු වුණේ නැහැ, වැඩි වුණා මිසක්! මොකද පළවෙනි තට්ටුවේ තිබ්බ ඔවුන්ගේ කාමරවලට යන්න තිබ්බේ කළුවර පඩිපෙළක් දිගේ. රෑ කෑමට යද්දී දාලා තිබ්බ ලයිට් නිව්වේ කවුද කියලා එයාලට හිතාගන්න බැරි වුණා. ඒ නගිනකොටත් පිටිපස්සෙන් කෙනෙක් එන ඒ හැඟීම තදටම ඉවුන්ට දැනෙන්න වුණා. හිතේ බය පිරිලා තිබ්බත් කුතුහලය ඉවසගන්න බැරිම තැන අන්තිමට ආපු ලොක්කගේ ඔළුව එක තත්පරයකට පිටිපස්සට හැරුනා. කට්ට කළුවරේ පෙනී නොපෙනී දුටු ඒ රුව අදටත් ඇයට පැහැදිලි කරන්න බැහැ. කොහොමහරි ම කාමරවලට ගියපු එයාලා ඒ පුඩිම කාමරේ එළියේම තියන්න අමතක කළේ නැහැ.
මූළු රෑම ඒ වෙච්ච දේට පැහැදිලි කිරීමක් හිත හිත එකම කාමරේට වෙලා හිටපු එයාලා එදා රෑ නිදාගත්තේ පැය දෙක තුනකටයි. යන්තම් රැය පහන් වුන ගමන් එතනින් පිට වුණු ඔවුන්ට දැනගන්න ලැබුණේ එහෙ මිනිස්සු කන්න බොන්නවත් නැතුව හරිම අමාරු කාලයක් ලු ගෙව්වේ.
ඒ රෑ ඔවුන්ට දැනුණේ එහෙම දුක් විදපු ආත්මයක ඇමතුමක් ද? අදත් එක ප්‍රශ්නාර්ථයක්!
Written By:-
Rtr. Zahra Zuhri
(Co-Editor 2022-23)
Edited By:-
Blog Team 2022-23