පුංචි කාලේ යහළුවො නැත්නම් සහෝදර සහෝදරියො එක්ක සෙල්ලම් ගෙවල් හදපු , කෝම්පිට්ටු හදපු අතීතයක් අපි හැමෝටම තියනව. මතක් කලත් මුහුණට සිනහවක් එන තරමට ඒ අතීතය හරිම සුන්දරයි. මේ වෙද්දි අපි හැමෝම එක එක විදියෙ අත්දැකීම් එක්ක වෙනස් වෙලා.
සමහරු ඉගෙන ගන්නවා, රැකිය කටයුතු නැත්නම් ව්‍යාපාරයක නිරත වෙනවා. තරඟකාරී සමාජය තුළ කිසියම් විදියකින් කාර්යබහුල වෙලා. හුඟදෙනෙක්තමන්ගෙ අරමුණු ඉටු කර ගැනීමට පමණක් සීමා වෙලා. පරාර්ථකාමී හැඟීම්වලින් තොරව තරඟකාරීත්වය තුළ තම ඉලක්ක පමණක් අරමුණු වෙලා. කරුණාව , දයාව, සහකම්පනය පරාර්ථකාමීත්වය මිනිසුන් අතරින් ඈත් වෙලා.
මනුෂ්‍යන් වශයෙන් අපි හැමෝටම අරමුණක් තියෙන්න ඕනෙ. අරමුණු ඉටු කරගැනීමෙන් අපේ ජීවිතය සුන්දර වෙනවා. ඒ වගේම පරාර්ථකාමීත්වය තුළින් ඒ ජීවිතය තවත් සුන්දර වෙනවා.
බුද්ධිමත් මනුෂ්‍යයෙක් විදියට කරුණාවන්ත වෙන එක අනුවණ කමක් නෙවෙයි. තමන් ළඟ තියන දෙයකින් තවත් කෙනෙක්ව සතුටට පත් කරලා, ඒ දිහා බලලා සතුටට පත් වෙන මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. ඒත් කෙනෙක්ගේ කරුණාවන්තකම දැනුනම ඒකෙන් ප්‍රයෝජන ගන්න හිතෙන පරාර්ථකාමීත්වයෙන් අඩු මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා.
ආපහු අර, පුංචි පුංචි රණ්ඩු කරන ගමන් සමගියෙන් සෙල්ලම් බත් උයන පුංචි ලමයෙක් දැක්කොත් ඔයලට හිතෙයි පුංචි හදවත් කොච්චර ලස්සනද කියලා.

ඔව් ඇත්ත,
අපි අවට ඉන්න අයට සිනහවකින් සංග්‍රහ කරන එක අසීරු කාර්යක් නෙවෙයි. අපි නොහිතන විදියට ඒක තව කෙනෙක්ට ශක්තියක් වෙන්න පුළුවන්. පුංචි දෙයකින් හරි තව කෙනෙක්ට උදව් කරන්න සතුටු කරන්න අපි පුරුදු වෙන්න ඕන.
තමන්ට ප්‍රමුඛත්වය දීම ආත්මාර්ථකාමී නැහැ. තමන්ට ආදරය කරන ගමන් හැකි සෑම අවස්ථාවකම අන් අයට කාරුණික වෙන්නත් අමතක කරන්න හොඳ නැහැ.
මම පුංචි සරල ක්‍රමයක් කියන්නම්. අපි තව කෙනෙක්ට දෙයක් කියන්න හරි කරන්න හරි කලින් ඒ දේ තමන්ට වුනොත් දැනෙන විදිය හිතලා බලන්න. ඒ කියන්නේ තමන් උපමාවෙන් අනිත් අය ගැන හිතන්න පුරුදු වුනොත් අපි අතින් සිද්ධ වෙන පුංචි වැරදි පසු තැවීම් අවම කරගන්න පුළුවන්.
මේ ලෝකෙ හැම හදවතක්ම පුංචි ළමයෙකුගේ හදවතක් තරම් සුන්දර වුනොත් කාර්ය බහුල සමාජය හුඟක් ලස්සන වේවි.
Written By: –

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

