හරිත නිෂ්පාදිත පිටුපස කතාව

මිනිසාට කිසිදා සොබාදහම ඉක්මවා යා නොහැක. මන්ද මිනිසා යනු සොබාදහමේ තවත් එක් නොවැදගත් කොටසක් පමණක් ම වන හෙයිනි. විශ්වයේ අරුම පුදුම විපර්යාසයන්ගේ ප්‍රතිඵලයෙන් මිහිමත මැරුණු සොබාදහම සමන්විත වනුයේ ජීවි අජීවි ගහකොළ දියඇලි වන ලැහැබ්, ගිනිකඳු, කාන්තාර, සාගර, දූපත්, තැනිතලාවන්, සානු මෙන්ම නොයෙකුත් සතා සීපාවුන් සහ මනුෂ්‍ය වර්ගයා ගෙනි.
විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් පරතරට පත් ව මානවයා ගුවන, සයුර මෙන් ම මුළු විශ්වයම තරණය කිරීමට පූර්වයෙහි ගෝත්‍රික මානවයා ඇතුළු සමස්ත මනුෂ්‍ය පරපුරම සොබාදහම සමඟ ඒකාබද්ධ වූ පරිසර හිතවාදී අහිංසක දිවි පෙවතක් ගත කළහ.
එකල එසේ වුවද තාක්ෂණයෙන් ලෝක මත නොව අභ්‍යවකශයද තරණය කොට සමාජ වාදී ආර්ථිකය අභිබවා ධනවාදී ආර්ථිකය රජයන්නට පටන් ගැනීමෙන් පසු සමස්ත ලෝක ප්‍රජාවම විවෘත ආර්ථික සංකල්පයට ආයුබෝවන් කියන්නට පෙළඹුණහ. ස්වයංපෝෂිත වූ පරිසර හිතවාදී දැහැමි අර්ථ ක්‍රමයක යෙදී සිටි ශ්‍රී ලංකාද්වීපයට ගෝලීයකරණයේ ග්‍රහණයට හසු වෙමින් විවෘත ආර්ථිකයක් කරා එළඹීමේ ප්‍රතිඵලයක් ලෙස ආඩම්බර සාඩම්බර දහසක් දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අනුකම්පා විරහිත මරු පහරක් එල්ල කරමින් ප්ලාස්ටික් නම් වූ අමුත්තා ශ්‍රී ලංකාවේ සෑම නිවසක්ම සෑම පොළවක් ම සෑම මොහොතක්ම ආක්‍රමණය කරන්නට පටන් ගත්තේත්, එය ව්‍යාප්ත වූයේත් අසුරු සැණිනි.

පූර්වයෙහි නගරාසන්නයේ පමණක් වැඩ පහසු කරන උපකරණ ලෙසින් ප්ලාස්ටික් භාණ්ඩ ප්‍රචලිත වුවද ගම්වැසියන්ගේ අබලි වූ ඇලුමිනියම් හෝ යකඩ ද්‍රව්‍ය වලට හුවමාරුවක් වශයෙන් ප්ලාස්ටික් බේසම් ආදිය ලබාදෙන වෙළෙන්දන් විසින් ග්‍රාමීය ජනතාව ද තමාගේ දෑතින් නිමවන මැටි බඳුන්, කොහුවලින් නිපදවන කොස්ස, ඉඳල්, පාපිස්ස, බුමුතුරුණු අතුරණු පසෙකලා ප්ලාස්ටික් අමු ද්‍රව්‍යයෙන් හැඩ වුණු නානාප්‍රකාර ගෘහ භාණ්ඩ සහ මෙවලම් භාවිතයට පුහුණු කරන ලදී.
එම ක්‍රියාවලිය සරලව සූක්ෂමව සිදුවෙද්දී ඒ සමඟම මහා පරිමාණ වූ ආර්ථික සමාජයීය සෞඛ්‍යය මෙන්ම පාරිසරික ගැටලු රාශියක් මුල් ඇදීමට පටන් ගති. සාක්ෂරතාව 92% ක් ඉක්ම වූ ශ්‍රී ලාංකේය ප්‍රජාව ගේ ආකල්පමය වශයෙන් ඇති දුර්වලතා මෙන්ම දිනෙන් දින ඉහළ යන ප්ලාස්ටික් භාවිතය නිසා අද වන විට මිනිසා විසින්ම තම මානව පරපුර මරා දමන්නා සේ දුක්ඛාන්තයක් උද්ගත වී ඇත. ලෝපුරා කෙරෙන සමීක්ෂණ වාර්තාවන්ට අනුව දිනකට පොලිතින් ආවරණ මිලියන විස්සක් පරිසරයට එක් වෙයි. එසේම පොලිතින් ආහාර දවටන දිනකට මිලියන පහළොවක් ද දිනකට ප්ලාස්ටික් බෝතල් මිලියන දහයක් ද පරිසරයට මුදා හැරේ. එසේම 2050 වසර වන විට ශ්‍රී ලංකා සාගර කලාපය තුළ අඩංගු ප්ලාස්ටික් ප්‍රමාණය මත්ස්‍ය ගහනය ඉක්මවන බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. සංචාරක කර්මාන්තයේ හිණිපෙත්නිපෙත්තේ රඳන දකුණු පළාතේ වෙරළ තීරයන් හි වැලි සාම්පල් හි 70% ක 50mm ට අඩු ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගුය. අතිශය කණගාටුවට කරුණ නම් දස මසක් කුස තුල වඩා බිහි කරන දරුවා පෝෂණය කරන ආදරය පිරුණු මව්කිරි බින්දුවේ පවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු වීමයි.

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය ලෙස අතීත ජනප්‍රවාදයේ එන ශ්‍රී ලංකාව අද ලෝකය හඳුනා ගනුයේ භූමි ප්‍රමාණයෙන් කුඩා වුවද සාගරයට මහා පරිමාණ වශයෙන් ප්ලාස්ටික් මුදාහරින්නා වූ රටක් වශයෙනි. ලෝකයේ තාක්ෂණික වශයෙන් දියුණුවට පත්ව හැල්මේ දිව යද්දී හරිහමන් ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමවේදයක් හෝ නොමැති අප රටෙහි අධික ලෙස භාවිතා වන ප්ලාස්ටික් බෝතල් වලින් ප්‍රතිචක්‍රීකරණය වනුයේ 3%ක් තරම් වූ සුළු ප්‍රතිශතයකි.
ජනප්‍රිය චිත්‍රපටයක් වන ටයිටැනික් හි ප්‍රධාන රංගන ශිල්පියා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය පිළිබඳව පිළිකුල් සහගත ප්‍රකාශයක් කරමින් එය අසිරිමත් අලි ගහනය ට ද තර්ජනයක් වී ඇති බව සිය මුහුණු පොතෙහි සටහන් කරයි. එපමනක් නොව මෙම අධික පාස්ටික් භාවිතය සංචාරක කර්මාන්තයට ද කර්මාන්තයටද මරු පහරක් එල්ල කර ඇති බව මොනවට කියා පාන්නේ විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කසල ගහනය පිළිබඳව ජාත්‍යන්තරයේ දක්වන අදහස් වලිනි.

මෙවන් ශෝචනීය තත්ත්වයක් තුළ පරිසරය කෙරෙහි ඇල්මැති දේශප්‍රේමීන් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමෙහිලා ගන්නා වූ වූ අනේකවිධ උත්සාහයන් සැබැවින්ම ප්‍රශංසනීයයි. ප්ලාස්ටික් භාවිතය අවම කිරීමෙහිලා මතු වන වැදගත් ම ගැටලුව වනුයේ ප්ලාස්ටික් ආදේශක මොනවාද යන්නයි. මෙහිදී ශ්‍රී ලංකාව යනු සියල් සපිරි වාසනාවන්ත දේශයක් බව සිහිපත් කිරීම සිදු කළ යුතුම කරුණකි. මන්දයත් ශ්‍රී ලාංකිකයන් සරල නොමිල පහසු යැයි සිතා ප්ලාස්ටික් භාවිතයට හුරු වූයේ අපේම ලාංකිකයන් ඔවුන්ගේම දෑතින් සකස් කොට පාරම්පරික ව සුරක්ෂිත කළ මැටි කර්මාන්තය කොසු ඉදල් කර්මාන්තය බුමුතුරුණු කර්මාන්තය පැදුරු කර්මාන්තය ආදී දේශීය ව්‍යවසායන් සියල්ලම වසුරු පිඩක් සේ ඉවත දමමින් නොවේද?


එසේ නම් මේ එළඹ ඇත්තේ නැවතත් ඉහත කී යටගියාවේ දේශීය පරිසර හිතකාමී ව්‍යවසායන් බලගන්වමින් දේශය ප්‍රෞඩත්වය ලෝකය ඉදිරියේ බැබළවීමේ මොහොතයි. පරිසර විනාශයේ අයහපත වටහාගත් ලෝකයා හරිත ආර්ථිකයකට යොමු වෙමින් සිටින මොහොතක ශ්‍රී ලංකාව ද එය එසේ ම අනුගමනය කිරීමෙහි කිසිදු වරදක් නොමැති බව අවධාරණය කළ යුතුය. එහිදී විශේෂයෙන් සංචාරක හෝටල්, ඇඟලුම් කර්මාන්තශාලා සිය ක්‍රියා වලින් සහ සේවකයන් හරිතකරණයට යොමු කරමින් සිටීම හේතුවෙන් ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට මිල කළ නොහැකි පමණක් නොව සපුරාලිය නොහැකි පරිසර හිතකාමි නිශ්පාදිත සඳහා අධික ඉල්ලුමක් පැනනැගී ඇත.
සතුටට කරුණ නම් මෑත ඉතිහාසයේ කිසිදා කළ හැකි යැයි නොසිතූ ව්‍යාපාර අවස්ථාවන් ශ්‍රී ලාංකිකයන් විසින් උත්සාහ කිරීමයි. උදාහරණ ලෙස උතුරු පළාතේ වැසියන් අද වන විට තල් ගසේ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉදිආප්ප වට නිපදවීම, කෙසෙල් බඩ උපයෝගී කොටගෙන බෑග් මැසීම, බෙන්තර ප්‍රදේශයේ විශ්වවිද්‍යාල සිසුවෙක් විසින් කාර්යාලයක ඉවතලන්න කඩදාසි භාවිතයෙන් පෑන් බට නිෂ්පාදනය කිරීම, ඉවත ලන සාරි භාවිතයෙන් එළවළු ආදිය රැගෙන යාමට සාරි බෑග් නිෂ්පාදනය, දැව භාවිතයෙන් එලවලු කැපීම සඳහා ලී පුවරු නිෂ්පාදනය, ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කොට ලබාගත් නූල් උපයෝගී කරගෙන ටී ෂර්ට් මැසීම (පසුගිය වසරේ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයන් භාවිත කළේ ඉහත පරිදි නිෂ්පාදනය කළ නිල ඇඳුම් වීම ජාත්‍යන්තරය ඉදිරියේ අපගේ පරිසර හිතකාමී නිෂ්පාදන ඇගයුමට ලක් කිරීම තරම් ආඩම්බරයට කරුණකි) ආදිය දැක්විය හැකිය.

මීට අමතරව පරිසර හිතවාදී බුද්ධිමත් මනසින් හෙබි ශ්‍රී ලාංකිකයන් උදෙසා ප්ලාස්ටික් ආදේශක ලෙස කඩදාසි කෝප්ප. කඩදාසි බට, ඇලුමිනියම් බට, බීම පානය කිරීම සඳහා ප්ලාස්ටික් බෝතල් ආදේශක ලෙස උන බට වලින් සකස් කරන ලද බෝතල්, කොහු ආශ්‍රිත නිෂ්පාදන, මැටි ආශ්‍රිත නිෂ්පාදන, මෙන්ම වේ වැල් ආශ්‍රිත නිශ්පාදිත රෙදිවලින් තැනූ ගමන්මලු බෑග් ආදිය නිෂ්පාදනය කළ හැකි.
ව්‍යාපාර අදහසක් තිබූ පමණින් එය ක්‍රියාත්මක කිරීම දරුණු ආර්ථික අර්බුදයක හිනිපෙත්තේ සිටින අප වැනි කුඩා රටකට පහසු නොවේ මේ සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් රාජ්‍ය අනුග්‍රහය පෞද්ගලික අංශයේ ප්‍රමාණවත් ඉල්ලුම මතු නොව විශේෂයෙන්ම ප්ලාස්ටික් හැර දා දේශීය පරිසර හිතකාමී නිෂ්පාදිත සඳහා ශ්‍රී ලාංකික පාරිභෝගික කැමැත්ත සහ ඉල්ලුම පැවතිය යුතුය. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ස්වෙච්ඡා කණ්ඩායම් මේ මොහොත වන විටත් දරන්නාවූ නොමද උත්සාහය සියල්ලන්ගේම ඇගයීමට පාත්‍ර විය යුතුය.
එසේම පුරවැසියන් දිනක් තුළ පොලිතීන් ආවරණ භාවිතා නොකරන්නට දිනකට මිලියන විස්සක් පොලිතීන් පරිසරයට එක් නොවනු ඇත. එසේම පුරවැසියන් දිනක් තුළ ප්ලාස්ටික් බෝතල් භාවිතා නොකරන්නට මිලියන දහයක් බෝතල් පරිසරයට එක් නොවනු ඇත. එසේ නම්,  එක් වන්න සැවොම ප්ලාස්ටික් රහිත අපේ දේ අගයන දේශයක් නිමවන්නට…. 

Written By:-


Rtr. Kumudu Lakshani
(General Member 2022-23)

Spread the love
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
ZaRa

Well said 👏💯