මහමෙරක බර එකපිට එක වැටී ඔසවා ගන්නට නොහැකිව හුන් මගේ හිස ඇය දෝතින්ම බදන් නළලත හාදුවක් තිබ්බා. ඉතාම උණුහුම් හාදුවක්. ඒ ක්ෂණයෙන්ම තමයි අපි වාඩී සිටි ඩ්‍රැෆඩිල් යාය පවන් රැල් එක්ක තාල මිමිණුවේ. මම ඇගේ දෑස් තුළ කිමිදුණෙත් රතුකහ වියළි කේතුධර පත් වැස්සක්ව අපි උන්නු තැන්න සැරසුවෙත් ඒ වෙලාවෙදිමයි. එක්වරම හීත සුළං කැරැලි ඩ්‍රැෆඩිල් මල් පොකුරුත් එක්ක නටන්න පටන් ගත්තා. හරිම ලස්සන, ආදරණීය තාලයකට. මං අහස දිහා බැලුවා. සුදු පෙණැති වළාකුළු අපි දිහා හොරැහින් බලාහිඳ මං දුටු විගස අහක බලාගත්තා. ඇගේ කොපුල් පීච් පාට වෙලා. මං වඩාත් මෘදුව ඒ කොපුලක් සිපගත්තා.මගේ ඉහ මත රකිමින් මා විසින් පෝෂණය කළ ‘ආතතිය’ ඇගේ එකම එක හාදුවකින් සුණුවිසුණු වූ හැටි! ඒ තමයි ආදරයේ බලගතුම හාදුව.මායාවෙන් තොර ප්‍රේමයේ මැජික්මය පුදුමය. ඝනීභවනය වී තිබෙන ආත්මය සීරුවට වාෂ්පීකරණය කර හිරිමල් වැස්සක්ව ඇදහැලී ප්‍රේමය වැළඳගන්නට තරම් මුදු මොළොක් කරන්නට එයට මහ පුදුම බලයක් තියෙනවා.. ඉතින් ආදරය නම් සොඳුරු හැගුමින් ඔබත් මමත් බලාපොරොත්තු නොවී ලබන ආශ්චර්යය නම් එයම නොවේද? මිහිතලය මත සිටින අපුරු මායාවන් ඇති මිනිසුන් හට එකම එක මොහොතකටවත් ජීවත් වෙන බව මතක් කර දෙන්නේ ප්‍රේමයම නොවෙද ?බොහෝම උණුහුම් හදවතක් ඇත්තියක් වූ ඇය අඳුරු රැයවල් දහස් ගානකට පසු මා ලද චමත්කාරයයි. ජීවිතයට තවත් එකම එක දවසක් ජීවත් වෙලා බලමු කියන්නට මගේ දෑතම තදින් අල්ලාගෙන පවසන මා සතුව ඇති එකම බලාපොරොත්තු මවන්නිය යි. මගේ ජීවිතයේ ප්‍රේමය වී මා වෙතට පැමිණියාට ඔබට ප්‍රේමයෙන්ම මිස අන්කිසිවකින් ස්තූතිවන්ත විය නොහැක. වසන්තයේ මැද පිපුණු නුඹ නම් වූ ඒ ලාකහ පැහැති ඩ්‍රැෆඩිල් මලෙහි රේණුවක මගේ සෙනෙහස තවරා ප්‍රේමයෙන් තුරුළු කරගන්නෙමි.ආදරයට ආදරයෙනි…
Written By:
Methma Lakshani
University of Colombo – Faculty of Management and Finance
Edited By:
Rtr. Pamodi Hewawasam
(Junior Blog Team Member 2023-24)
Edited By:
Rtr. Sanjana Hirushi
(General Member 2023-24)