සමුද්‍රීය පරිසර දූෂණය වළක්වා ගනිමු.

සමූද්‍ර දූෂණය වත්මන් ලෝකයේ දැවෙන ගැටලුවක් බවට පත් ව තිබේ. ලෝක සමීක්ෂණ වාර්තාවන්ට අනුව සමූද්‍ර පරිසර දූෂණය අතින් ඉහළ රටවල් 20ක් අතරින් ශ්‍රී ලංකාව පසු වන්නේ පස් වන ස්ථානයේ ය. රට වට කොට සාගරය පිහිටි රටෙක, තිස් වසරක වාර්ගික යුද්ධයක් නිමා වී වනාන්තර, ගල්, කඳුවැටි ආදියෙන් තොර සෑම වෙරළ කලාපයක් ම මිනිසුන් ගැවසෙන පරිසරයක් නිර්මාණය වී තිබිය දී, අසන්නට ලැබෙන එම ප්‍රවෘත්තිය, පරිසරය ඉහළින්ම වර්ණනා කරන සහ පරිසරයට ගරු කරන දර්ශනයකින් හෙබි ආගමක් අදහන බහුතරයක් සිටින්නා වූ රටකට තරම් නොවනා බව ද අමුතුවෙන් කිව යුතු නොවේ.

මිනිසා විසින් සෘජු ව හෝ වක්‍රාකාර ව සමූද්‍ර පරිසරයට නොයෙක් ද්‍රව්‍ය හෝ පරිසර දූෂක ශක්තීන් එකතු කිරීම හේතු කොට ගෙන මුහුදු ජලයේ ගුණාත්මකභාවය හා සාගරයේ සුන්දර බව හීන කරන්නා වූ තත්ව ඇති වේ. මෙලෙස ලංකාවේ සාගර කලාපය දූෂණය වීම, වෙරළ දූෂණය සහ සමූද්‍ර දූෂණය ලෙස කොටස් 2කට බෙදේ.

වෙරළ කලාපය තුළ පවත්නා සංචාරක කර්මාන්තය සහ රට අභ‍්‍යන්තරයේ පවත්නා විවිධ කර්මාන්තශාලාවලින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවිධිමත් ක්‍රම හේතුවෙන් රට අභ්‍යන්තරයෙන් ඉවත් වන ප්ලාස්ටික් ඇතුළු කැළි කසළ ගංගා ඇළ දොළ මගින් සාගරයට එක් වී වෙරළ කලාපයට පැමිණීම නිසා වෙරළ දූෂණය සිදු වේ.

එසේ ම දිය වැල් සහ සාගරය හරහා ගලා එන අපද්‍රව්‍ය මගින් ඇති වන දූෂණ තත්වයන් ලෙස, සමූද්‍ර දූෂණය හඳුන්වා දිය හැක. විශේෂයෙන් ශ්‍රී ලංකාව සමීපයෙන් ගමන් ගන්නා නෞකා මගින් ශ්‍රී ලංකාවට අයත් ඈත මුහුදට විවිධ අපද්‍රව්‍ය එක් කිරීම නිසා, එම අපද්‍රව්‍ය සාගර තරංග හරහා සහ සමූද්‍ර දියවැල් ඔස්සේ වෙරළ කලාපයට එක් වීම නිසා සමූද්‍ර දූෂණ තත්වයන් නිර් මාණය වේ.

මෙවැනි සමූද්‍ර පරිසර දූෂණ තත්වයන් නිසා වෙරළ තීරයට සාගරය හා අපගේ සමූද්‍ර පරිසර පද්ධතිය ලෙස සැලකෙන වැලි සහිත වෙරළ, කඩොලාන කොරල්පර, මුහුදු තෘණ, මුහුදු ජීවීන්, කලපු සහ මෝය යනාදියට දැඩි ලෙස බලපෑම් ඇති කරයි. එපමණක් නොව මේ තුළින් මිනිසාගේ සෞඛ්‍යයට මෙන් ම ධීවර කර්මාන්තය වැනි සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ද බාධාකාරී තත්ව ඇති වෙයි.

එසේ ම ඛනිජ තෙල් මගින් සිදු වන සමූද්‍ර පරිසර දූෂණය සුළුපටු නොවේ. විශේෂයෙන් කඩොලාන පරිසර පද්ධතීන්හි කඩොලාන පත්‍ර හැළී ශාක මිය යාම, එම පරිසරයේ දිවි ගෙවන සත්ව විශේෂ විනාශ වීම ද බරපතළ තත්වයකි. එපමණක් නොව වෙරළ මතුපිට තෙල් ඒකරාශී වීම, කැස්බෑවන්ට දැඩි ලෙස බලපෑම් කරන අතර ඛනිජ තෙල් මත්ස්‍ය බිත්තරවලට ද හානිදායී වේ.

මෙවන් හානිදායී තත්වයන් හමුවේ සමුද්‍රීය පරිසරය රැකගැනීමේ යුද්ධයෙන් රට ජයග්‍රහණය කරවීම ශ්‍රී ලාංකිකයන් ඉදිරියේ මහත් විශාල අභියෝගයක් බවට පත් ව ඇත. මෙම අභියෝගය ජය ගැනීමට නම් මුහුදට සම්බන්ධ වන ගංගා මෝය කලපු ඇතුළු ජල තීරයන්ට කිසිදු අපවිත්‍ර ද්‍රව්‍යයන් මුදා හැරීමෙන් වැළකිය යුතු ය. එහි දී වෙරළ ආශ්‍රිත ව වාසය කරන්නන් කිසිදු අයුරකින් අපවිත්‍ර ද්‍රව්‍ය හෝ ජලය මුදා හැරීමෙන් වැළකීම, ධීවර ක්ෂ්‍රේත්‍රය තුළ නියැළෙන්නන් මත්ස්‍ය අපද්‍රව්‍ය හා ධීවර ආම්පන්න සුන්බුන් වැනි දේ වෙරළ ආශ්‍රිත ජලාශවලට මුදා හැරීමෙන් වැළකීම, ධීවර බෝට්ටු හෝ වෙනත් නාවික කටයුතු මගින් අපවිත්‍ර ද්‍රව්‍ය හෝ තෙල් සාගරයට එක් කිරීමෙන් වැළකීම වැනි ක්‍රියාමාර් ග වඩාත් වැදගත් වේ.

මීට අමතර ව වෙරළ සම්පත් සංරක්ෂණය කිරීමේ මූලික වගකීම පැවරී ඇති සමුද්‍රීය මරිසර ආරක්ෂණ අධිකාරිය මගින් විවිධ දැනුවත් කිරිම් හා ක්‍රියාකාරකම් හරහා ජනතාව තුළ ආකල්පම ය වෙනසක් ඇති කොට සමුද්‍රීය පරිසර ආරක්ෂණය කෙරෙහි ඔවුන් පෙළඹවීමට කටයුතු කිරීම අගය  කළ යුතු වේ. එසේ ම නිරන්තරයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිසි අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේද ඇති කිරීම කළ යුතු වේ.

මෙලෙස සමූද්‍ර දූෂණයෙන් තොර ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කරනු වස් සියලු ශ්‍රී ලාංකිකයන් කැප වීමෙන් සාගර සම්පත් ඇතුළු ස්වාභාවික සම්පත් සුරැකිය යුතු ය. එවිට මිනිසාට යහපත් ජීවන තත්වයක් ඉහළ ආදායමක් උරුම කර දෙන දූෂණයෙන් තොර සශ්‍රීක පරිසරයක් නිර්මාණය වනු ඇත. එපමණක් නොව ජෛව විවිධත්වයෙන් අනූන වූ කොරල්පර වැලි කඳු, මෝය හා කලපු වැනි පරිසර පද්ධතීන් මතු උපදින දරු පරපුර උදෙසා ආරක්ෂා කර ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.

Written By:-


Rtr. Kumudu Lakshani
(General Member 2022-23)

Spread the love
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Prabodhani

thank you miss