දැනෙන හිත් – 01

 

මම මගේ වැඩ ටික ඉවර කරලා  එතනින් පිට වෙන්න මගේ බඩු ටික අස් කරමින් හිටියේ. 
ගිහාන් – කොහොමද?
මම පුදුම වෙලා  ඔලුව ඔසවල  බැලුවේ මගේ ලගට ඇවිත් ඒ වගේ ප්‍රශ්නයක් අහන ආගන්තුකයා  කවුද කියල… සාමාන්‍යයෙන් මගෙන් කෙනෙක් ඒවගේ ප්‍රශ්නයක් අහන්නේ අහම්බෙන්. කිසිම දෙයක් කතා නොකර ‘කොහොමද’ කියල අහන්න තරම් මාව දන්න කෙනක්, ඒ වගේ තනි වචනෙක ප්‍රශ්නයක් මගෙන් අහපු පළමු කෙනා  එයා  වෙන්න ඇති සමහර විට. ඒ වගේ අහඹු මිනිස්සුත් අපේ ජිවිත වල ඉන්නවා. ඒ වෙලාවේ පුදුම වෙන්න තරම් මට හේතු දාහක් තිබුනා., පුදුමෙන් වගේ එයා  දිහා  බැලුවට ඔහුව දැකලා  මගේ මුනට අවේ සිනහවක්. ඒ සමච්චල් සහගත සිනහවක් නෙමේ. හරි හීනියට සතුටකුත් එක්ක ආපු හිනාවක්.
මම – හොදයි. 
පෙරලා  ඔහුගෙන් කොහොමද කියල අහන්න හිතුනත් ඒ මොහොතේ ඒ වචන ගිල ගත්තේ කතාව ඉස්සරහට කරගෙන යන්න මට උවමනාවක් නොතිබුණු නිසා. නමුත් මගේ මුහුණේ හිනාව ඒ විදිහටම තිබුනා.  
ඔහු දිහා  තත්පර දෙක තුනක් බලාගෙන හිටපු මන් ආයිමත් මගේ වැඩේ පටන් ගත්තේ ඔහුත් එක්ක කතා  කරන්න තරම්  දෙයක් මට නැති බව ඔහුට ඒත්තු ගන්වන්නටයි. මගේ ඇස් දෙකෙන් පළමු වතාවට සජීවීව ඔහුව දැකලා  හරියටම මාස 6ක ට පස්සෙයි මේ විදිහට අපි නැවත මුණ ගැහෙන්නේ. පෙර දවස් දෙකකදී මට මුණගැහුනත් මම උවමනාවෙන්ම ඔහුව මග හැරියා. ඒකට මට සාධාරණ හේතු තිබුනා..
ගිහාන් – ඇයි කලින් දවස් දෙකේ හම්බවෙලත් කතා කලේ නැත්තේ? 
ඔහුගෙන් එක එල්ලේ තවත් ප්‍රශ්නයක්. මගේ මුනට ආයිමත් ආවේ හිනාවක්. තත්පර දෙක තුනක් නිශ්ශබ්දව හිටපු මම…
මම – මට කතා  කරන්න දෙයක් නැ. කියන්න තියෙන හැම දෙයක්ම මම ඔයාට කිව්වා. එත් එදා කිව්ව දෙයක් අද ආයිමත් කියන්නම්. පරිස්සම් වෙන්න. ඔයා  ගැන ඇහෙන කතා, මිනිස්සු ඔයාට කියන කතා, ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න. මම මේ දේ කියපු ගමන් ඔයාගේ උත්තරේ මොකක්ද කියල මම දන්නවා. (අනිත් මිනිස්සු මොනවා  කිව්වම මට මොකද) ඒ උනාට අපි ගැන බලාපොරොත්තු තියා ගෙන අපිට ආදරේ කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. අපි ඒ අය ගැනත් හිතන්න ඕනෙනේ.
ගිහාන් – ඉතින් ඔයත් ඒ කතා  අහනවද?
මම – ඔව්. ඒ කතා  අහල ගන්න තියෙන දේ අරගෙන අනවශ්‍ය දේ අයින් කරනවා..
මම නැවත හිනාවෙලා මගේ laptop පරිගණකය කවරයට දැම්මා. මට අවශ්‍ය උනේ ඉක්මනට එතනින් ඉවත් වෙන්න. 
ගිහාන් – ඇයි අද වැඩි කතාවක් නැත්තේ?
මම – මම කොහොමත් වැඩිය කතා  කරන කෙනෙක් නෙමේ. මම වැඩිපුර සවන්දෙන කෙනෙක්. 
ඔහුට මේ හැම පිළිතුරක්ම මම දුන්නේ හිනා වෙලා. ඒ ක්ෂණයෙන් මගේ දුරකථනය නාද උනේ මම කැමතිම ගීතය නාද වෙමින්. ඇමතුම (ඔහුගෙන්.)  මම ක්ෂණයෙන් දුරකථනය ගෙන පුරුදු පරිදි (ඔහුට) ඇමතුවේ (ඔහුගේ ) නමින්. 
මම – කියන්න ආයුෂ්!
ආයු – කොහෙද ඉන්නේ?
මම – මම නම් දැන් canteen එකේ. ඔයා  කොහෙද?
ආයු – මමත් canteen එකේ ඉන්නේ. අද මොකක්ද ඇදගෙන ආවේ?
මම – අද ඇදගෙන ඉන්නේ ඔයා  කැමතිම මගේ blouse එක. නිල් එකේ අර සුදු මල් මල් තියෙන එක. 
ආයු – ආආආආ….. මම ඔයාව දැක්කා..
මම – ඔයා  කොහෙද ඉන්නේ?
ආයු – මම කෑම ගන්න පෝලිමේ. කවුද ඔය ලග හිටගෙන ඉන්නේ? ගිහාන් ද?
එවිටයි මට මතක් උනේ ගිහාන් තාම මගේ ලග ඉන්නවා  නේද කියලා. මම ගිහාන් දිහා  බලලා  හිනා  උනා..
මම – ආආආආ…. ඔව්. ඉන්න මන් ඔතනට එන්නම්.
දුරකථනය විසන්ධි කරපු මම ගිහාන්ට,
මම – මම යන්නම්. සමහර විට අපි හෙටත් හම්බවෙයි. මම ජිවත් වෙලා  හිටියොත්. ඒ වෙලාවට ලගට ඇවිත් කතා  කලේ නැතත් හිනා  වෙලා  හරි යයි. පරිස්සමින් ඉන්න. 
මම එතනින් ඉවත් උනේ මට ඉවත් වෙන්න අවසරය ලද මොහොතෙමයි. එතනින් ඉවත් උනත් ඔහු මගේ දිහාම බලන් ඉන්නවා  ඇස් කොනකින් මට පේනවා. මම කෑම පෝලිමේ අන්තිමට හිටගෙන හිටපු ආයු සහ එයාගේ යාලුවෝ  දෙන්නා  ගාවට ගියේ පුදුම තරමේ සතුටකින්. ඊයෙත් එයාලව මුණ ගැහුනත් ගොඩක් කාලෙකින් හමුවුනා  වගේ කියන්න දේවල් ගොඩක් එකතු කරගෙන අදත් එයාල ලගට ගියා..
නිෂාන් – හලෝ  ඉන්දු! කොහොමද? කාලද? බීලද?
මට හිකිස් ගාල එකපාරට හිනා  ගියේ මම කොයි වෙලේ එයාලා  ලගට ගියත් නිෂාන් ගෙන් එල්ලවන පලවෙනි ප්‍රශ්නය තමා  ඕක. අදත් පුරුදු පරිදි ඒක ඒ විදිහටම!
මම – ඔව්! ඔව්! අද කලින් lectures තිබුන නිසා  මම කෑම කාල ගියේ.
කොයි තරම් ඒ තුන් දෙනා  එක්ක කතා  කලත් මට කවදාවත් වෙහෙසක් නම් දැනෙන් නැ. මම හිතන්නේ මගේ ජිවිතේ මට හමුවුන හොදම යාලුවෝ 3ක් තමයි මේ. ඒත් වෙනවදට හැමවෙලේම මාව හිනස්සන්න උත්සහ කරන ආයු ඇයි අද මේ තරම් නිහඩ කියල කල්පනා  වෙන්න මට වැඩි වෙලාවක් ගියේ නැ. නිෂාන්, ඉසුරු දෙන්නම ඇස් වලින් මොකක්දෝ  ඉගියක් දෙන්න උත්සහ කරන බව නම් පෙනුන පැහැදිලිවම. මම ආයුගේ අතට තට්ටුවකුත් දාල අංග චලනයෙන්ම “මොකද?” කියල ඇහුවා. නිෂාන්, ඉසුරු දෙන්නම මට හම්බෙන්නේ ආයු ගේ මාර්ගයෙන්. ආයු තමයි මට හමුවුන පලවෙනි යාලුවා. ඒ නිසා අපි දෙන්නා ඕන දෙයක් කියනවා., ප්‍රශ්න හුවමාරු කර ගන්නවා., විසදුම් එකට හොයනවා., කියව ගන්නවා., පිස්සු නටනවා., හිනා වෙනවා., එකතු උනාම නම් පිස්සු වැඩ ගොඩයි. එත් අද එයාගේ වෙනසක්. ගොඩක් වෙලාවට මම හිතන්නේ එයාගේ පොඩි වෙනසක් උනත් මට තේරෙනවා  කියලා. ඒක කොයි තරම් දුරට ඇත්තද කියල ආයු ගෙන්ම තමයි දවසක අහන්න ඕනේ හැබැයි. එයා  දෙපැත්තට ඔලුව වනල නිහඩ උන නිසා  මගේ හඩ අවදි කරන්න මට සිද්ද උනා. මම පුදුම උනේ වෙනදට ඉවරයක් නැතුව කියවන මෙයා  මොකද අද මෙච්චර නිහඩ කියලා?
මම –  ආයුෂ්? මොකද අනේ වෙලා  තියෙන්නේ? ඇයි අද කතාවක් නැත්තේ? ආආආආ…… මොකද උනේ? මොකක්ද අලුත් ප්‍රශ්නේ? කියන්න බලන්න. අපි මොනාද විසදලා  නැත්තේ? ආආආආ….. කියන්නකෝ  අයියෝ… මොකක්ද මොකක්ද අලුත් ප්‍රශ්නේ? ම්ම්ම්ම්……….
ආයු – නැ නැ. මුකුත් නැ. ඉතින් ඔයා  ගිහාන්ට මොකද කිව්වේ?
ක්ෂණයෙන් ප්‍රශ්නෙ තෙරුන මම හිනා වෙලා එයාට උත්තර දුන්නා..
මම – වැඩි දෙයක් කිව්වේ නැ. පරිස්සමින් ඉන්න කියල තමයි කිව්වේ.
ආයු – ආආආආ….. 
දැඩි නිහඩ තාවක් ඇති වෙන විදිහට මේ වෙලාවේ නිෂානුත් හැසිරුණ එක ගැන මට පුදුම හිතුනා. කෑම එක අරගෙන අපි ඉද ගත්තත් නිහඩ තාවය එලෙසමයි. කියන්න දෙයක් හිතා ගන්න බැරුව සැහෙන අසරණ වෙලා මම ඒ වෙලාවේ හිටියේ. කෑම ගන්න හදන කොටම අපේ තවත් හොදම යාලුවෙක් උන කනුෂ එතන.
කනු – හලෝ! කට්ටිය කොහොමද? කන්නද හදන්නේ? 
කොයි වෙලාවේ මුණ ගැහුනත් හරිම සුහදශීලි විදිහට හැසිරෙන කෙනෙක් තමයි කනුෂ. මගේ ජිවිතේ මට හමුවුන තවත් ලස්සන යාලුවෙක්. 
කනු – මේ මොකද කොල්ලා  කන්නේ? කෙල්ල කන්නේ නැතුව?
එයා  ඒක ඇහුවේ හොදටම හිනා වෙලා. මගේ ඇස් 2ක උඩ ගියා. ඒ මොකක්ද ඒ කනු කිව්වේ? මම එයා  දිහා  බලලා  යන්තම් හිනා  උනා  විතරයි. එයා  අදහස් කරපු දේ මට තේරුනා. ඒ උනාට ඒ දේ නිසා  ආයු upset වෙන්න ඇති කියලා  හිතල මම ක්ෂණිකව කතාව වෙනස් කලා..
මම – කෝ  දුලා? අද දැක්කෙවත් නැ. කතා  කරන්නවත් බැරි උනා. එයාව අල්ලගන්න හිටියේ මම කොහොමත්. 
කියන්න දෙයක් නැතුව කිව්වට එහෙම දෙයක් තිබුනේ නැ. කනුගේ ඊලග ප්‍රශ්නය එන්න කලින් මම ඉක්මනට ඔරලෝසුව දිහා  බලලා,
මම – ආනේ….. පරක්කු උනා. මම අද අම්මට කිව්වා  කලින් එනවා  කියලත්. මේ ඔයාල දැන් කෑම කාල බෝඩිමට නේද යන්නේ?
ආයු දිහා  නොබලා  ඒ ප්‍රශ්නේ ඇහුවේ එයා  කීයටවත් උත්තර දෙන්නේ නැති වෙයි කියලා  හිතලා. මොකද එයා  මේසේ කෑමට ඉඳ ගත්ත වෙලාවේ ඉඳලා  කලේ ඔලුව පාත් කරගෙන කෑම කාපු එක විතරයි.
ආයු – ඔව්. 
ඒ තරම් කෙටි පිළිතුරක්……. මට මාව විතරක් නෙමෙයි. මන් හිතන්නේ වටේ හිටපු අයටත් එයාලව අදහ ගන්න බැරි උනා මන් හිතන විදිහට. තත්වය තේරුම් අරගෙන එතනින් ඉක්මනට අයින් වෙන එක හැමෝටම හොඳ වෙයි කියලා  හිතල මම පුටුවෙන් නැගිට්ටේ මන් නිසා  කාගෙවත් හිත රිදෙන්න ඕනේ නැති නිසයි. 
මම – හරී….. එහෙනම් මන් යන්නම්. කට්ටිය පරිස්සමින් යන්න. ආයු මන් යනවා  එහෙනම්. පරිස්සමින් යන්න. බුදු සරණයි!
හැමදාම කියන දේවල් ටික අදත් පුරුදු විදිහටම කියල මම නැගිටලා  ආයිමත් ආයු දිහා  බැලුවේ එයා මන් යන්න කලින් මට මොනාහරි කියයිද කියලයි. කිසිම දෙයක් නැහැ. දැඩි නිශ්ශබ්දතාවයක් විතරයි එතනතිබුනේ. කනුෂ මගේ දිහා  බලාගෙන ඉන්නකොට නිෂාන්, ඉසුරු දෙන්නම බලාගෙන හිටියේ ආයු දිහා  පුදුම වෙලා. මම සිහින් හිනාවක් විතරක් රඳවා ගෙන canteen එකෙන් එලියට අවා. පාර දිගේ යනකන් කල්පනා  කලේ ආයු අවුල් උනේ මම ගිහාන් එක්ක කතා  කරපු එකටද? එහෙම නැත්නම් කනු ඇවිත් කියපු එකටද කියලා? බස් එකට නගින්න මට ටික දුරක් ඇවිද ගෙන යන්න ඕනේ. පාරේ කිසිම කෙනෙක් නැහැ. වාහනයක් තියා  මනුස්සයෙක්වත් ඒ වෙලාවේ පාරේ නොහිටිය එක ගැන මම සතුටු උනා. මොකද එතකොට මට නිවී හැනහිල්ලේ ඕන දෙයක් කල්පනා කර කර නිදහසේ යන්න පුළුවන්. 
මට නොඇසුණු, මම නොදැකපු කොටස පසුවට ලියා  තබන්නම්.
==========================================================================================================
හැබැයි එහෙම තනියම යන්න ලැබුනෙත් බොහොම පොඩි දුරයි. (ඔහුගේ) සුපුරුදු කටහඩ ආයිමත්. හිතට ලොකු සතුටක් දැනුනත් පුදුමත් හිතුනා.
ආයු – ඉන්දු……. ඔහොම ඉන්න. 
මම නතර වෙලා  බලාගෙන හිටියේ දුවගෙන වගේ මෙයා  මොකද එන්නේ කියල………
ආයු – ඔච්චර වේගෙන් ඇවිදින්න එපා. අනිත් අයට ඔයාගේ ලගට එන්න දුවන්න වෙනවනේ……
අන්න පරණ ආයු…. එයාටත් හිනා. මටත් හිනා. 
මම – මම ඉතින් කොහොමත් වේගෙන් ඇවිදිනවනේ….
මම ඒ ටික නම් කිව්වේ ආඩම්බරෙන් හිනා වෙලා. ආයිමත් නිහඩ තාවයක් ඇති උනත් ඒ වෙලාවේ මට නිහඩ බවක් කීයටවත් උවමනා උනේ නැ.
මම – ඉතින් ඉතින්……. මොකද මේ හදිස්සියේ?
ආයු – හදිස්සියක් නැ. 
මම – ආආආආ…….. හදිස්සියක් නැත්නම් හොදයි. මොකද ඔය හදිසි වෙලා  ගන්න තීරණ ගැන එහෙම පස්සේ ගොඩක් පසුතැවෙන්න වෙනවා. 
ඒක ඒ වෙලාවේ එහෙම දෙයක් කිව්වේ ඇයි කියල මන් පස්සේ කල්පනා  කලා. ඒක එතනට බර වැඩිද මන්ද…….
ආයු – sorry!
මම – ඇයි? ඇයි? sorry කියන්නේ? sorry කියන්න ඕනේ වෙන්නේ අපෙන් කාටහරි වැරැද්දක් උනාමනේ. ඔයාගෙන් මට වැරැද්දක් උනේ නැ. ඉතින් ඇයි sorry කියන්නේ?
ආයු – මගේ අතින් වැරැද්දක් උනා. ඒ වෙලාවේ මන් හැසිරුණ විදිහ වැරදියි.
මම – නැහැ  ආයු. ඔයාගේ අතින් මට වැරැද්දක් උනේ නැහැ. ඒ නිසා  sorry කියන්න ඕනේ නැ.
ආයු – කමක් නැහැ. මන් sorry කියන්නම්. එතකොට මගේ හිතට හොදයි.
මම – හරී. ඔයාගේ කැමැත්තක්. හැබැයි මතක තියා ගන්න. ඔයාගෙන් මට වැරැද්දක් උනේ නැහැ.
ආයු – හරි. හරි. ඒ කතාව ඇති. දැන් ඒක අමතක කරමු.
ආයු මුහුණේ හිනාවක් රදව ගෙන එහෙම කියල, ඒ මොහොතේ මම කීයටවත් බලාපොරොත්තු නොවුනු දෙයක් කලා. එයා  පාර පැත්තට ඇවිත් මාව පාරෙන් අයින පැත්තට දාල එයාගේ එක අතක් මගේ කර වටේ යැවුවා. අපි ඒත් අපේ ගමන නොනැවතී ඉස්සරහට ඇවිද ගෙන යන ගමන් හිටියේ. මම ඇස් කොනෙන් එයාගේ අත දිහා  බලලා  කෙලින්ම බැලුවේ එයාගේ මුණ දිහා. ඇහි බැම දෙසැරයක් උඩට ඔසවලා  හිනා වෙලා ගොළු භාෂාවෙන් අහපු දේට ඔහුත් හිනා වෙලා  හිස දෙපසට වැනුවා.
-නිමි-
==========================================================================================================
මට නොඇසුණු, මම නොදැකපු කොටස මෙලෙස ලියන්නම්. 
නිෂාන් – ආයුෂ්, මොකද බන් වෙලා  තියෙන්නේ? ඉන්දු ඔච්චර යනවා  කියල කියද්දීත් උබ එක වචනයක්වත් කතා කලේ නැනේ.
ආයු – මන් මොනවා  කියන්නද? එයා  යනව කිව්වහම මන් ඉන්න කියන්නද ඕනේ?
කනු – ආයුෂ්? ඒ….. මේ මොකද මේ? මෙයාට ඩොන් ගිහින් තියෙන්නේ ඇයි මේ?
ඉසුරු – පිස්සු බන්. ඉන්දු අද ගිහාන් එක්ක කතා  කර කර හිටියා. ගිහාන්ට පරිස්සමින් ඉන්න කිව්වා  කියල තමයි මෙයාට ඔය පත්තු වෙලා  තියෙන්නේ.
කනු – අනේ මන්ද බන්. උබට නම් පිස්සු. ඉන්දු ගිහාන්ට පරිස්සමින් ඉන්න කියන්න ඇති. ඒ වගේම ඉන්දු අපිටත් දැන් යන්න කලින් පරිස්සමින් යන්න කිව්වා. ඒත් එක වචනයක් එයා  උඹට විතරයි කිව්වේ. එයා උඹට විතරයි බුදු සරණයි කිව්වේ. අන්න ඒක හොදට මතක් කරලා  බලහන් උඹ කේන්ති ගන්න එක හරිද කියල. බන්, සමහර කෙල්ලෝ  ඉන්නවා  එයා  ලෝකේ කොහේ හිටියත්, මොන කොල්ලව ආශ්‍රය කලත්  තමන් කැමති කොල්ලට එකම එක විශේෂත්වයක් දෙන. එක වචනෙකින්, එක බැල්මකින් අපිට දැනෙන්න ගොඩක් දේවල් උන් කියනවා. ඒ දේවල් කවදාවත් මග ඇරගන්න එපා බන්. මොකද පස්සේ අපිටම ඒ දේවල් තේරුම් යන කාලයක් එනවා. අන්න එදාට පසුතැවිලි නොවී ඉන්න ඒ වගේ ලස්සන දේවල්, ලස්සන තැන් කවදාවත් මග ඇරගන්න එපා. අනිත් දේ, ඒ වගේ ලස්සන දේවල්, ලස්සන තැන් ඉබේ අපි ලගට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දේවල් අපි හදා ගන්න ඕනේ. උඹට ඒ දේ  miss උනා නම් අනිවාරෙන් ඒක හරි ගස්සන්න තැනක් හදා ගනින්. දැන් ඔතන ඉඳගෙන ඉන්නේ නැතුව, තව පරක්කු වෙන්නේ නැතුව, දැන් කරන්න හොදයි කියල හිතෙන හොදම දේ කරපන්.

Written By:

 

 

 

 

Vonara Weerakoon
University of Colombo – Faculty of Technology

Edited By:

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Nawodi Thathsarani
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments