මං දිලේෂා. දැන් නම් වයස අවුරුදු විසි නවයක්…. මගෙ අම්මා අප්පච්චි සුනාමියත් එක්ක මාව දාලා යන්නම ගියේ මට අවුරුදු හතක් වෙද්දී… කෙල්ලෙක් විදියට අම්මා අප්පච්චි ඕනිම කාලේ මට සිද්ධ උනේ මට කියලා ඉතුරු වෙච්චි ලොකු ආච්චි ඒ කියන්නේ අප්පච්චිගේ අම්මයි තව කෙනෙකුයි එක්ක ජීවිතේ ගෙවන්න… ජීවිතේ එක පාරක් වැරදුන, ඒත් මං වෙනුවෙන් උන්න මිහිපිට දෙවියා නිසාම ආයෙම ජීවිත පොත ලියන මගෙ කතාව තමයි මේ… මගෙ මතකෙ දිව්වේ මීට අවුරුදු පහකට විතර කලින් දවසකට…
+”දෝණී … මේ දොර ඇරපාන්…”
ඕන් අදත් ඇවිත් … මිනිහා නෙවෙයි ඒ… ඒ කාලේ කාටවත් කියන්න කැමති නැති උනත් ඒ තමයි මගෙ අයියා… ලොකු අප්පච්චිගේ එකම පුතා රන්දෙව්.. ආච්චිගෙ විදියට දේව්.. හයියෝ… මේ වසවර්තියට නොබී උන්නම නින්දක් නැද්ද මන්දා… ගෙදර ආවෙම බීගෙන.
+”තොට කන් ඇහෙන්නැද්ද බං.. ඇරපිය මේ දොර …”
-“ඉන්නවා වදේ … මේ එනවා.. “
ඒ යකා ආයෙම දොර කඩන්න හදද්දි පෙරවන් උන්න බෙඩ්ෂීට් එකත් පැත්තකට කරලා ඉක්මනින් දොර ඇරියේ තරහින්…
+”උඹට ඒ හැටි වෙලාවක් යනවද දොර අරින්න… මින් පස්සේ ඔය මඟුල ඇරදාලා නිදාගනින්.. මං නොකිව්වයි කියන්න එපා …”
දෙව් කියවන්න ගත්තේ මගෙ දිහාවට ඇඟිල්ලකුත් උරුක් කරන ගමන්… ඒ කතාවට මගෙ තරහ දෙගුණ උනා.. ඇයි දෙයියනේ … කාත් කවුරුත් නැති ගෙදර තනියම ඉන්නවා මදිවට දොරත් ඇරන් ඉන්න…
-“තමුසෙගෙ මොලේ හොද නැද්ද ආහ්.. තමුසෙට ඕනේ මාව මේ ගමේ ඉන්න අසහනකාරයොන්ගෙ සෙල්ලම් බඩුවක් කරන්නද… උදේට එළියට බැස්සම දෙගොඩ හරියක් වෙනකං ගෙදර නෑ … කිසිම ගානක් නෑ මං ගැන … ඔව් ඉතින් මං කවුද … තමන්ගේම නංගිත් නෙවෙයිනේ නේ..”
ආපු ආවේගෙට මං කියවගෙන ගියේ ඉකි ගගහා … ඒ රතු වෙච්චි ඇස්වල කඳුළක් යන්තමට දැක්කත් ඒ මං වෙනුවෙන් නෙවෙයි නිසා ගනන් ගත්තේ නෑ මං…
-“දෝණී … මේ අහපන්.. මං…”
එයා මොනවා හරි කියන්න ගියත් ගස්සගෙන කාමරේට ඇවිත් දඩස් ගාලා දොර වහගත්තා… අම්මා අප්පච්චිට කතා කරකර ඇඬුවා එදා… ඇයි ඔයාලා මාවත් අරන් නොගියේ… ආච්චිත් මාව දාලා ගියා.. දෙව්ටත් මං හිටියත් එකයි නැතත් එකයි… යාළුවෙක් වත් උන්නා කියලද මට… හ්ම්ම්… ලොකු ආච්චිට බයේ ස්කෝලේ ඇරෙන්න මං ගෙයින් එළියට බැස්සේ කලාතුරකින්… ඒකත් ආච්චි එක්ක විතරයි… ඒ හින්දද මන්දා මට යාළුවෝ හිටියේම නෑ… ආච්චි ඉන්නැද්දී බැන බැන හරි මාත් එක්ක උන්නට එයා නැති මේ ගෙදර දෙගොඩ හරියක් වෙනකම්ම මං උන්නේ තනියම… අයියා කාරයටත් මහ ලොකු බේබදුකමයි, බේබදු යාළුවොයි ඇරෙන්න මේ ලෝකේ කිසි දෙයක් නැති නිසා …
__________________________________________________________________________________________________________
හැමදාමත් මං උදෙන්ම අවදි උනේ වැඩට යන්න කලින් ගෙදර වැඩ සේරම ඉවර කරන්න ඕනි හින්දා… ඉස්සර නම් සේරම කලේ ආච්චි… බැරි අමාරුකම් තියෙද්දිත් ඒ වයසක අත් තේ දළු එක්ක ඔට්ටු උනේ අපි දෙන්නව ජීවත් කරන්න… පුංචි කාලේ නොතේරුම්කමට ආච්චි එක්ක තරහ හිතුවත් ඊට අවුරුදු තුනකට උඩදි එයත් අපිව දාලා යන්නම ගියාට පස්සේ මං තේරුම් ගත්තා එයා මං වෙනුවෙන් කරපු හැම දෙයක්ම…. දේව්ගේ අම්මා අප්පච්චිත් අපෙ අම්මා අප්පච්චි එක්කම මේ ලෝකෙන් යන්න ගියපු දා ඉඳන් අපි දෙන්නව උස්මහත් කලේ ආච්චි… ඉන්නකම් මට රස්සාවක් කරන්න දුන්නේ නෑ … ඒත් නැති උනාට පස්සේ ගෙදර වියදම් බලාගන්න උනේ මට… දේව්ටත් හරිහමන් රස්සාවක් තිබුණේ නැති හින්දා මං ටවුන් එකේ බුක්ෂොප් එකක වැඩ කලා මං…. ඇස් දෙකත් පොඩි කරකර එදා කාමරේ දොර අරිද්දි සාලේ මැද්දේ නිදාගෙන උන්නු දේව්ව දැක්කම තිබුන නිදිමතත් යන්න ගියා… මේකට මොකක් වෙලාද… ආච්චි ඉන්න කාලේ ගෙදර නෑවිදින් දවස් දෙක තුන උන්නත් දැන් කීයට හරි ගෙදර එන එක පුරුද්දක් වෙලා… ඒත් කවදාවත් මෙහෙම එළියේ නිදාගන්නවා දැකලා තිබුණේ නෑ මං…
+”දේව්… දේව්… නැගිටිනවා මනුස්සයෝ…”
කොච්චර තරහෙන් උන්නත් දන්න කාලේ ඉඳලා ඇස්මානෙ උන්න කෙනාට කෙනහිලිකම් කරන්න හිතක් නැති හින්දාම මං හෙමිහිට එයාගේ අතකට තට්ටු කලේ කතා කරන ගමන් …
-“ආහ්හ්… ම්ම්හ්හ්… ඔ.. ළු.. වහ්…”
දේව් ඇඟ මැලි කැඩද්දි මං එතනින් එන්න ආවේ එයා එක්ක කතා කරලා දවස අවුල් කරගන්න ඕනි නැති හින්දා… කුස්සියට ඇවිත් ව්‍යංජන දෙකකුත් එක්ක බතක් හදලා තේත් වක්කරලා ප්ලාස්ක් එකට දැම්මේ වෙනදා විදියටම… ඉස්සර ආච්චි මේ දේවල් කරනවට මං ආච්චිට බනිද්දී එයා තරවටු කරනවා මට මතක් උනා …
** “මේ අහපන් පොඩ්ඩී.. ඌ බේබද්දෙක් වෙන්න ඇති… සූදු කෙලිනවා ඇති… ඒත් ඌ උඹෙ අයියා පොඩ්ඩියේ… උඹලගෙ අප්පලාගේ ඔලමොට්ටලකම් හින්දා උඹලා කවදාවත් එකට හැදුනේ නෑ තමයි… ඒත් උන්ගේ ආරෝවට උඹලා පලි නෑ… දැන්වත් උඹලා දෙන්නා ආදරෙන් ඉඳපල්ලාකෝ…”
+”අනේ යන්න ආච්චි … ඕකට මං උන්නත් එකයි මලත් එකයී.. එහෙව් එකා මට මොන ආදරයක්ද..”
මං ගානක් නැතුව කියද්දි ආච්චි මූණත් කළුකරගෙන මගෙ කනෙන් ඇදලා පාරක් දුන්නා මතකයි…
** “ඌ උඹට පණ ඇරලා … උඹ තමයි ඒකව මායම් කරන්නේ නැත්තේ … මට පොරොන්දු වෙයන් පොඩ්ඩී… මං නැති දාක ඒකාව හාමතේ තියන්නැතුව බලාගන්නවා කියලා…”
මං බෑම කියද්දි එයා බලෙන් ගත්ත පොරොන්දුව උඩ විතරක්ම මේ දේවල් ඒ දවස්වල කලේදේව්ගෙනුත් කිසිම හොද ප්‍රතිචාරයක් ඒ ගැන නැතුව… ඇත්තටම කීවොත් හදන්නන් වාලේ හැදුවට එයා කීයට ඇහැරිනවද කනවා බොනවද කියලවත් මං දැනන් උන්නේ නෑ …
__________________________________________________________________________________________________________
බුක් ෂොප් එක පටන් ගන්නේ අට හමාරට උනත් හත, හත හමාර වෙද්දී එතනට යන එක පුරුද්දක් වෙලා මට… ඒකට එක හේතුවක් තමයි පොත් කියවන්න තිබ්බ ආසාව.. අලුතින් ගේන හැම පොතක් නෑරම කියවන මට ඒකට පහසුම වෙලාව උදේ වරුව කියලා දන්න නිසා මං ගෙදර වැඩ ඉක්මනින් ඉවර කරලා දාලා දුවන්නේ ෂොප් එකට …
— “ගුඩ් මෝනින් දිලේ…”
ඒ ඇවිත් මං උදෙන්ම එන්න තිබුන අනිත් හේතුව… ඒ ෂේන් …. බුක් ෂොප් එක අයිති සර්ගෙ එකම පුතා.. අම්මා අප්පච්චිගෙ ආදරෙන් අඩු වෙච්චි මගෙ ජීවිතේ හිස්තැනට හාහා පුරා කියලා මං තෝරගත්ත කෙනා තමයි ඒ.. ටිකක් සෙල්ලක්කාර චරිතයක් උනත් මං ළඟදි එහෙම දෙයක් තේරුනේ නැති හින්දම මං එයාට ළං උනා මහ හුඟක් …
+”ගුඩ් මෝනින් මහත්තයෝ… අද පරක්කුයිද මන්දා …”
මං කීවේ විහිළුවට…
— “ඊයෙ ගෙදර යද්දී ටිකක් පරක්කූ උනා කෙල්ල …”
+”ඊයෙ ? ඊයෙ කොහෙද …”
මං ඇහුවේ පුදුමෙන්.. මොකද එයා එදා රෑ කලින් නිදාගන්නවා කියලා කියපු නිසා… ඒ එක්කම මං ඉඳන් උන්න තැනට කලබලෙන් වාගෙ ආව එයා මගෙ කරටත් අතක් දාගෙන මූණට එබුණා…
— “ඩැඩීලගෙ දිහා උන්නේ බං… ආයෙ මගෙ ගෙදර… ආහ් නෑ අපි දෙන්නගෙ ගෙදර යන්න හිතිලා එහෙ ගියා රෑ… ඔයා නිදි නේ එතකොට… හරිද දැන් … ම්ම්ම්…”
එයා කීවේ හිනාවකුත් දාගෙන.. හැමදාමත් වගෙ මාව පිස්සු වට්ටන ඒ හිනාව හින්දා හැමදේම අමතක උනේ මාත් එයා එක්ක හිනාවට එකතු වෙද්දි.. සර් හුඟක් වෙලාවට ෂොප් එකට එන්නේ නැති හින්දා මේකේ පාලනේ තියෙන්නෙ ෂේන්ගේ අතේ.. ඒත් ෂොප් එක බලාගන්න කියලා එන කෙනා මාත් එක්ක ටිකක් වෙලා ඉඳලා දවසින් වැඩි හරියක් උන්නේ යාළුවෝ එක්ක… දේව් වගේ නැතුව මං ගැන මෙහෙමවත් හොයලා බලන හින්දා මට අහිතක් තිබුණේ නෑ ඒ ගැන…
+”හරි හරි… එන්නකෝ කන්න.. මට බඩගිනි …”
මං එහෙම කියාගෙන හෑන්ඩ් බෑග් එකෙන් දිග ඇර ගත්තේ මං ගෙනාව බත් එක… එයත් ඔළුව වනලා මේසෙ උඩින්ම වාඩිවෙද්දි මං අත සෝදන් ඇවිත් බත් කටක් අනලා ඒ කටට ළං කරා…
— “අප්පෝ බං … මේ මොනාද මේ… සම්බෝලත් එක්ක බත් කෑවැකිද.. බිත්තරයක් තිබ්බනම් අඩු ගානේ..”
ඒ දවසේ එයා කවදාවත් නැතුව ඔච්චමට වගේ කියාගෙන ආයෙම මේසෙන් බැස්සා… මගෙ ඇස් හිතන්නත් කලින් බොඳ වෙලා ගියේ කඳුළු වලින්… කලින් උනත් මං උදේට ලේසියට හදන්න පුරුදු වෙලා උන්නේ පරිප්පු, අල බැදුමක්, ලූණු බැදුමක්, සම්බෝලයක් වගේ දෙයක්.. ලේසියට විතරක් නෙවෙයි … වියදමුත් එක්ක කෑම් බීම් වලට ඊට වඩා වියදම් කරන්න බැරි නිසා … මං ගැන හැමදේම දැනගෙන උන්න ෂේන් මීට කලින් මෙහෙම හැසිරිලා තිබුණේ නෑ…
+”ආහ්.. අ..නේ.. ම..හ..ත්…තයෝ… ඇ..ඇයි… එ..හෙ..ම…”
මට ඉකිගැහුනා…
— “ඕහ්… සොරි සොරි ඩාර්ලින් … ජෝක් එකට කීවේ… මේහ්.. මං චූටි වැඩකට එළියට යනවා.. අද හවස යමු ඇවිදින්න… ම්ම්ම්…”
මං අඬන එක ගැන වත් එච්චර ගානක් නැති ගානට එහෙම කියපු එයා මගෙ තොල් යන්තමට ඉඹලා යන්න ගියේ ආයෙම මූණවත් නොබලා… එයා වෙනස් වෙලාද… නැත්තම් කවදාවත් මෙහෙම මාව අඬවන්නේ නෑ… නෑ නෑ… එහෙම වෙන්න බෑ… අද මොකක් හරි වැඩක් ඇති… මොනවා උනත් දේව් වගේ නෙවෙයි මට ආදරෙයිනේ… මංම මෝඩ විදියට මගෙ හිත සනසගත්තා…
__________________________________________________________________________________________________________
දවසක් ගෙදර එද්දී කවදාවත් නැතුව දොර හායි ගාලා ඇරලා දාලා… එහෙම තියෙද්දී හිත යන්තමට කලබල උනත් අඩිය ඉක්මන් කරලා ගෙට ගොඩවුනේ හිතේ සැකෙන්… “චටාස්ස්….” ඇතුළට අඩිය තියද්දිම කම්මුල දෙදුරුම් කන තරමට වැදුන කම්මුල් පාරට බිත්තියේ හැප්පුනු මං එහෙමම බිමට ඇදන් වැටුනා… ඒ වෙන කවුරුත් නෙවෙයි දේව්.. පොඩි කාලේ කොච්චර රණ්ඩු කලත් ලොකු වයසට ආවට පස්සේ වචන වලින් රණ්ඩු කලා ඇරෙන්න ඒ අතක් මට ඉස්සිලා නැති හින්දා එයා ගැන මට දැනුනෙ කියාගන්න බැරි තරම් තරහක්…
+”ත්..ත..මු..සේ..හ්…”
මං ඉකිගගහා අකුරු ගැටගහද්දි ආයෙම ඒ දරදඬු අත්වලට මගෙ කොන්ඩේ අහුවුනේ ඔළුව පුපුරන්න තරම් වේදනා දැනෙද්දි… මේ මනුස්සයාට මොකක්ද මේ වෙලා තියෙන්නෙ… මට කට ඇරලා අහන්න බෑ … වේදනාව වගේම කේන්තියත් උපරිමේට තිබුන නිසා…
– ” පර බැ##… මොකක්ද තෝ මේ කරන් තියන විනාසේ… කියපන් ආහ්හ්…”
මගෙ කම්මුල් අනිත් අතෙන් මිරිකගෙන දේව් අහන්නේ ගොරකා මද වගේ වෙච්චි ඇස්වලින් රවාගෙන… ඒ වගේම ඒ ඇස්වල කඳුළු…. ඒ වෙලාවේ එකපාරටම හිතාගන්න බැරි උනා ඒත් මොනවද ඒ අහන්නේ කියලා…
+”ආහ්…. ම්..මොක්..ක…ක්..ද… ත්…ත…තමුසේහ්… කි…ය…න්..නේහ්..”
– “ඇයි තො බබාද… අර තිරිසනා එක්ක මඟුල් නටන්න තරම් මොකක්ද කියපන් උඹට තිබ්බ අමාරුව… ආහ්හ්.. කියපන් මට… උඹට වෙන එකෙක් උන්නෙම නැද්ද මේ ටව්මේ ආශ්‍රය කරන්න… උන්නෙම නැද්ද ආහ්හ්….”
ආයෙම මගෙ කොන්ඩෙන් ඇද ඇද අහද්දියි මට තේරුම් ගියේ මේ අහන්නේ ෂේන් ගැන කියලා…. කවුරු හරි කේලම කනේ තියන්න ඇති… කොහොමත් කවුරුත් කැමති නෑනේ තව කෙනෙක් සතුටින් ඉන්නවට.. එක අතකට මං මොකට බයවෙනවද… එදා එහෙම සද්දේ දැම්මට මං ගැන හොයපු බලපු මිනිහෙක් නෙවෙයිනේ එයත්… වචනෙකින්වත් තමන්ගේ කියලා දැනුනෙ නෑ ඇත්තටම එයාව එ දවස්වල… මං තනියම හිතාගෙන බොඳ වෙලා තිබ්බ ඇස් දෙක පිහදාගත්තේ දේව්ට හොඳහැටි රවාගෙන …
-“ඇයි තෝ මට ඔරවන්නේ… ආහ් බැ##… අර මැරිච්ච බාප්පගෙයි පුංචි අම්මගෙයි නම්බුව කෑවා තෝ… ෂිට්… ඇයි උඹට මේ අයියගෙ ඒ මොකාද කියලා අහන්න බැරි උනේ… ඇයි බං ඒ.. ඇයි උඹට රැකෙන්න බැරි උනේ… කතා බහක් විතරයි නම් කමක් නෑ … ඒත් ඇ.. යි… ඇයි උඹ ඌත් එක්ක …”
මුලින් කේන්තියෙන් කියෝපු දේව් මගෙ කට මිරිකන් උන්න අතත් ලිහිල් කරන ගමන් අන්තිම ටික අමාරුවෙන් කියලා නතර කරේ ඒ මැලවුණ මූණත් එක්ක මගෙ මූණටම එබිලා … ඔව්ව්.. ෂේන් එක්ක මං දුරක් ගිහින් තිබුණා ඒ වෙද්දී… මගෙ කියලා තිබ්බ වටිනම දේත් එයාට දෙන තරම් දුර ගියා.. මට ඒ ගැන පසුතැවීමක් තිබ්බෙම නෑ එතකොට… මොකද එයා මාව එයා ළඟට ගන්නවා කියලා පොරොන්දු උන හින්දා…. ඉතින් අපි දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් ඒ ගැන මොකද මේකාට…
+”ඇයි නැවැත්තුවේ… කියනවා… මං ඌ එක්ක බුදියගත්තා තමයි…. මගෙ හැමදේම දුන්නා… මට මගේ කියලා උන්නේ එච්චරයිනේ… ඉතින් මං එයාට නොදී තමුසෙට… ආහ්හ්..”
චටාස්ස් …… මට කියලා ඉවර කරන්න උනේ නෑ … ආයෙම ඒකා මට අත ඉස්සුවා… ආහ්හ්… තොල් පැලිලා ලේ රහ දැනෙන්න ගත්තා… මොකක්ද මේ මිනිහට මගෙයි ෂේන්ගෙයි එක්ක තියන තරහ… ආව කේන්තියට මාත් අනිත් අතට ඒ කම්මුලට පාරක් දුන්නේ අඬ අඬම… ඒ මං ඒකාට තියා පිරිමියෙක්ට අත උස්සපු පළවෙනි වතාව…
+”තමුසෙට මොකද මිනිහෝ මං මොකා එක්ක උන්නත්… තමුසෙ මට අයියා උනේ නමට විතරයිනේ… ආච්චි උන්න කාලෙ නැතත් අඩු ගානේ ඒ මනුස්සයා ගියාට පස්සෙවත් තමුසෙට මං ගැන වගතුවක් තිබ්බද… මට කවුද උන්නේ… ආහ්.. අයියා අයියා ගෑවට තමුසෙ මං උන්නද මලාදවත් බැලුවද…”
-“දෝණීහ්.. “
+”කතා කරන්න දෙනවා මට… මං තනි වෙද්දී ෂේන් විතරයි මං ගැන හිතුවේ… අදටත් හිතන්නේ… එයා ඇරෙන්න මට වෙන කවුරුත් නෑනේ… මගෙ සතුට තියෙන්නෙත් එයා ළඟ…. ඒ හින්දා තමුසෙ අපි දෙන්නා මැද්දට නෑවිදින් ඉන්නවා… ඒත් තමුසෙ ආවොත් මං මේ ගෙදර ඉන්න අන්තිම දවස වෙයි ඒ…”
මං එදා ඇඟිල්ලකුත් උරුක් කරගෙන බැන්නේ ඒ වැඩිහිටියෙක් කියලා වත් නොහිතා… එහෙමම මගෙ කාමරේට දිව්වා අඬ අඬම… ඇයි මටම මෙහෙම වෙන්නේ… සතුටින් ඉන්න ගත්තා විතරක් මේ එකෙක් ඒකට අකුල් හෙලනවා.. තමුසෙ මහ ජරා මිනිහෙක්… සතා කවුදවත් හිතන්නේ නැතුව මං හිතෙනුත්බැන්නේ දේව්ට… ඒ අතරේ ෂේන්ට කෝල් ගත්තත් ඒවා කට් කරනවා…
— “වැඩක ඉන්නේ දිලේෂා… කරදර කරන්න එපා…”
ඒත් එක්කම එයාගෙන් ආව මැසේජ් එක දකිද්දි මට දැනුනෙ මගෙ පපුව පැලෙන්න වගේ වේදනාවක්… මට ඕනි උනේ එයා එක්ක මේ දේවල් බෙදාගන්න…. ඒත් එයත් නැහැ මේ වෙලාවේ… යටි උගුරෙන් කෑගහගෙන මාව දොර දිගේ රූටලා බිමට කඩන් වැටුනේ සිහියක් පතක් නැති ගානට… ටික වෙලාවකින් දෙව් දොරට ගහන සද්දේ ඇහෙද්දි පුළුවන් ඉක්මනට නැගිටලා කාමරේ දොරත් ලොක් කරගෙන ඇඳන් උන්න ඇඳුම් පිටින්ම බිම ගුලි උනේ පොළොව එක්ක හරි මේ දුක දියකරලා දාන්න… ඇස් දැවිල්ල එනකම් ඇඬුවත් උනේ එන්නම එන්නම හිතේ වේදනාව වැඩි උන එක විතරයි… අනේ ආච්චි… එන්නකෝ.. ඔයා හිටියා නම් දේව් මෙහෙම මට අත උස්සන්නේ නෑ… ෂේන්ට බනින්න දෙන්නෙත් නෑ… සමාජ ආශ්‍රයක් තිබුනේම නැති මගෙ බොළඳ හිත අවලාද කීවෙ එහෙම… මොකද ඒ වෙලාවේ ඔළුවේ වැඩ කලේ දේව්ගෙ හැසිරීම විතරක් නිසා…
__________________________________________________________________________________________________________
— “ඔයා බයවෙන්න එපා දිලේ… මං ඕකා ගැන බලාගන්නම්කෝ… ආවා මගෙ ගෑනිට අත උස්සන්න …”
එදා උන සිද්ධිය ඊට දවස් දෙකකට පස්සේ ෂේන් අතින් කියද්දි එයා එහෙම කීවේ දත්මිටි කකා.. හරි විදියට නම් එයාව නවත්තන්න ඕනි උනත් වැදුනු කම්මුල් පාරවල් හින්දා මං කලේ ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම එක.. එයා මං වෙනුවෙන් එහෙම කතා කරද්දි මට දැනුනෙ ලොකු සතුටක්..
+”මට හුඟක් රිදුනා මහත්තයෝ… මට හිතුනෙම ඒ වෙලාවෙම ඔයා ළඟට එන්න… මට ඉන්නේ ඔයා විතරයිනේ… ම්ම්..”
මං හුරතලෙන් වගේ එයාට ළඟට වෙලා එහෙම කියද්දි එයා මගෙ පිට පිරිමැද්දා හෙමිහිට… ඊළඟට මගෙ මූණ එයාගේ දිහාවට හරවගෙන තොල් පිරිමදින්න ගත්තෙ මනමාල බැල්මක් මූණෙ පුරවගන්න ගමන්…
— “අද වැඩ කරන්න ඕනි නෑ… මං ඩැඩීට කියලා කෙනෙක් දාන්නම් මෙතනට… අපි යමු ඔය දුක නැති වෙන්නත් එක්ක එන්ජෝයි කරන්න…… ම්ම්ම්… ඕකේ ඩාර්ලින්…”
එයා අහද්දි මාත් ඔළුව වැනුවේ හා කියන්න…… කවුරු මොනවා කිව්වත් මගෙ හිත ඉල්ලුවෙ ඒ වෙලාවෙත් එයාගේ පහස… මට ඕනි උනේ රිදුන හිත චුට්ටක් හරි සනසගන්න.. ඉතින් වෙනදා වගේම හරි ඉක්මනට එයාට මාව නතු උනා.. ඒ දේ හරිද වැරදිද කියන එක වත් මට හිතන්නේ නැතුව මං එයාගේ උනා එදත්…
__________________________________________________________________________________________________________
ඒ සිද්ධියෙන් පස්සේ කීප දවසක් යනකම් මං ගෙදර ලිප ඇවිලුවෙත් නැහැ තිබුන තරහට.. උදේ හවස කඩෙන් කෑම එකක් අරන් කෑවේ දේව්ට රිද්දන්න තියන උවමනාව හින්දා … එයා මගෙන් ඒ ගැන ඇහුවෙවත් අඩුගානේ මං දිහා බැලුවේවත් නෑ … හුම්.. එයාට හොද නම් මට මොකද… මට පාඩු වෙයි… මං හිතුවේ එහෙම… සතියකට විතර පස්සේ දේව් ආවේ අතක් වෙලාගෙන… ඒ විතරක් නෙවෙයි මූණෙ තිබුන තුවාල පාරවල් වලින් වගේ කිලුටු උන ඇඳුම් වලින් මට තේරුනේ කාගෙන් හරි හොඳවයින් කාලා කියලා… මට මුලින්ම මතකෙට ආවේ ෂේන්ව… හහ්.. එයා තමයි මෙයාට පාඩමක් උගන්නන්න ඇත්තේ … මගෙ පව්කාරකමට වෙන්න ඇති ඒ ගැන දුක්වෙන්න ඕනි උනත් එදා මං කලේ හිතක් පපුවක් නැති ගානට ඒ මූණවත් බලන්නේ නැතුව මඟ ඇරපු එක.. අඩුගානේ හොඳින්ද වත් නොබලා කාමරේට වැදුනේ ඒ මූණෙ වේදනාව පෙනි පෙනිම.. පහුවදා වැඩට ගිහින් එද්දි මට බලාගන්න පුළුවන් උනේ සාලේ එයාව වටකරගෙන ඉන්න එයාගේ මදාවි යාළුවෝ ටික… මීට කලිනුත් සමහර දවස් වල ඒ අය මෙහෙ එන යන නිසා මට අමුත්තක් තිබුණේ නෑ… අනික උන්ගෙන් කොහොමත් මට කරදරයක් වෙන්නැති වග මං තේරුම් ගත්තේ ආච්චිත් ඉන්න කාලෙම… කවුදෝ කුස්සිය පැත්තේ පෙරලනවා ඇහෙනවා.. දෙන්නෙක් දේව්ගෙ අතපය පිහදනවා.. මං ඒවා නොදැක්ක ගානට යන්න යද්දි එයින් එකෙක් මගෙ අතින් ඇදලා ගත්තේ දේව් වාගෙම ඇස් ගෙඩි එළියේ තියාගෙන …
+”අතාරිනවා මාව..”
මං කීවේ රවාගෙනම…
++ “උඹ කොහොමද බං දැක්කේ නෑ වගේ ඉන්නේ… උඹෙ අයියා මෙහෙම අමාරුවෙන් ඉද්දි …”
+”හහ්.. මං නොදන්න මේකගේ සහෝදරකම… “
මං හිනාවුනේ කින්ඩියට වගේ …
++ “තෝ ඔය හිනාවෙන්නෙ මටද ආහ්හ්… තොට සතුටුද දැන් …මේ අහිංසකයා තොගෙ මහ ලොකු ප්‍රේමවන්තයාගෙ හයිකාරකම් හින්දා අතපය කඩාගෙන උන්නම…”
+”ඔව්.. ඔව් මට සතුටුයි…. මට රිද්දුවට එහෙම උන එකමයි හොද තමුසෙගෙ මහලොකු යාළුවාට…”
++ “ආහ්හ්හ්… තෝ මහ බැ##යක් දිලේෂා…. තුඃ නොදකින් තෝ වගෙ සහෝදරියෝ… මේකා මෙච්චර තෝ ගැන හිතද්දි…”
-“ඒහ්හ්.. තා.. රාහ්.. ඇ.. ඇති බන්…”
ඒ කොල්ලා කියවන් යද්දි දේව් ඒකව නැවැත්තුවේ ගොත ගගහ වගේ… මං ඒත් එක්කම ඒ උන්ටත් ගස්සගෙන කාමරේට ආවත් හෙමිහිට ඇහුනා අර කෙනා තවත් මොනවදෝ කියවනවා.. මොනවද ඒ කීවේ.. මං ගැන හිතනවා කියලද… අනේහ් විකාර… උන් ඔක්කොගෙම පුරාජේරුව විතරයි… මං ගැන හිතුවා නම් මේ දේවල් මෙහෙම වෙන්න දෙන්නේ නෑනේ… දැන් බොරුවට අනිත් උන් ඉස්සරහ වීරයා වෙනවා.. එදා මුමුණ මුමුණ හිතේ තරහ පිටකළත් හිතට අමුතු දෙයක් දැනුනෙ නෑ කීවොත් බොරු… විශේෂයෙන් දේව් කතා කරපු විදියට… නෑ නෑ දිලේෂා… ඔයා ගැන හිතන්නේ ෂේන් විතරයි … මං මටම තරවටු කරගත්තා…
__________________________________________________________________________________________________________
දේව් තුවාල වෙන්න කලින් මුණ ගැහුනට පස්සේ ෂේන් ෂොප් එකට එන යන එක ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා… මොනවා හරි වැඩක් නිසා කියලා මුලින් හිතුවත් පහුවෙද්දි කෝල්ස් වලින් පවා මාව මඟ අරිනකොට මට තේරුම් ගියා එයාගේ වෙනස… ඒත් ෂොප් එකට එන වෙලාවට එයා මට කිසිම වෙනසක් පෙන්නුවේ නැත්තේ වෙනදා වාගෙම මාත් එක්ක සතුටින් ඉන්න හදන අතරේ.. දවස් ගෙවිලා අර සිද්ධියෙන් මාසයකුත් ගෙවෙද්දින් මගෙ ජීවිතේ අමුතු දින කිහිපයක් උදාවෙලා තිබුණා… උදේ අවදි උන වෙලාවේ ඉඳන් ඇඟට දැනුන තෙහෙට්ටුවයි කැරකිල්ල ගතියයි හින්දා මං උන්නෙම හරි අමාරුවෙන්… ෂේන්ගේ වෙනස්වීම් හින්දා කෑම බීම හරියට උනෙත් නැති වෙද්දි මං හිතුවේ ඇඟ දුර්වල වෙලා කියලා… ඒ නිසා බෙහෙතක් ගන්නවත් ගානක් තිබුණේ නෑ මට…
*** “දිලේෂා… ඔයා හොඳින්ද දරුවෝ… මං දවස් කීපයක්ම බලන් ඉඳලා බැරි තැන ඇහුවේ….”
ෂොප් එකේ කැෂියර් එකේ වැඩට උන්න අන්කල් දවසක් මගෙන් ඇහුවේ මං දිහා හොඳින් බලලා.. වැඩට ආව දවසේ ඉදන්ම මාත් එක්ක හොඳට කතාබහ කරලා උන්නට ෂේන් එක්ක සම්බන්ධෙ ගැන දැනගත්ත දා ඉඳන් එයා මා එක්ක උන්නේ ඒ හැටි හිත හොඳකින් නෙවෙයි.. එහෙම වෙලත් මේ විදියට ප්‍රශ්න කරද්දී මට ඇති උනේ පුදුමයක් …
+”ඔ… ඔව්… නෑ.. මේ.. අන්කල් … මං … මං හොඳින් අන්කල් …”
*** “මොකද ළමයෝ බය වෙලා වගේ… මොකක් හරි අසනීපයක් නම් වේලපහ ගිහින් බෙහෙත් ටිකක් ගන්න… මං මහත්තයට කියන්නම්…”
+”අනේ එපා අන්කල් … මේ ටිකේ මට කන බොන එක ටිකක් අතපසු උනා… ඒක වෙන්නැති ඇඟට හරි නෑ… ඕක ඇරිලා යයි අන්කල්…”
මං කීවේ ඇත්තටමයි..
*** “ඒ මොකද ළමයෝ.. පොඩි මහත්තයා නාව හින්දද..”
අන්කල් එකපාරටම අහද්දි මං ඇසුත් ලොකු කරගෙන එයා දිහා හැරුනේ ඒ කීවේ ඇත්තම හේතුවක් හින්දා…
*** “මං කීවේ ඇත්ත නේද දරුවෝ.. හ්ම්ම්.. හාම්පුතා උනත් කියන්න ඕනි පොඩි මහත්තයා කියන්නේ ඒ හැටි හොද මනුස්සයෙක් නෙවෙයි… ඒකමයි මං ඔය සම්බන්ධෙට අකුල් හෙලුවේ.. කොහෙද ඔය දරුවා ගාණකට ගත්තේ නෑනේ… මං ඉන්නෙත් දූලා දෙන්නෙක්නේ.. ඒ හින්දා…”
එයා කිය කිය ඉන්න අතරෙ මගෙ ඇස් දෙක බොඳ වේගෙන ආවේ වටපිටාවේ දේවල් කැරකෙනවා වගේ දැනෙද්දි… එහෙමම ඇස් පියවෙලා ගිහින් ආයේ අවදි වෙනකොට මං උන්නේ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ …. ඇස් අරිද්දිම බොඳ වෙවී පෙනුන රූපෙත් එක්ක මං ඉඳගන්න උත්සාහ කලා….
-“දෝණීහ්… උඹට කොහොමද ….”
හ්ම්ම්ම්.. ඒ හිටියේ දේව්… වෙනදටත් වඩා කිලිටි උන ඉරිලා ගියපු ඇඳුමක් ඇදන් උන්න එයාගෙ මූණෙ මං දැක්කේ මහන්සියටත් එහා ගිය හැඟීමකින්… වෙනදා වගේ දොස් කියන්න මඟ අරින්න හිත කීවත් මොලේ ඒකට ඉඩ තිබ්බේ නෑ මට… ‘ඇයි මෙයා මෙහෙම’… ඇයි මං මෙහෙම කියලා හිතන්න ඕනි උනාට මං මගෙන්ම ඇහුවේ එහෙම… මොකක්ද මෙතන වෙන්නේ ….
-“දෝණීහ්……”
ඒ ලොකු අතක් මගෙ ඔළුවේ තියලා සද්දෙන් අහද්දියි මං හරි සිහියට ආවේ… බොරපාට උන ඒ ඇස් දෙකේ පිරුන හැඟීම මොකක්ද කියලා අඳුනගන්න බැරුව මං ඔහේ බලන් උන්නා… ඒත් එක්කම එතනට ආවේ වෙද නළාව කරේ දාගත්ත චූටි දොස්තර නෝනා කෙනෙක්… ඒ පිටිපස්සෙන් මිසී කෙනෙක්…
>”කොහොමද දිලේෂා …”
+”මං …මං මේහ්.. ඩ්..ඩො..ක්..ට…”
>”කැරකිල්ල ගතිය දැනෙනවද තාම … ඔහොම නම් බෑ දරුවෝ.. ඔය කාලෙට කාලා බීලා හොඳින් ඉන්න ඕනි… බලන්න ඔයාගෙ අයියත් කොච්චර කලබල වෙලාද…”
ඒ නෝනා එහෙම කියද්දි මං එයා දිහා බැලුවේ පුදුමෙන්… ඇයි එහෙම කීවේ… මට … මට මොකක්ද වෙලා තියෙන්නෙ…. ඒ එක්කම එයා හැරුනේ දෙව්ගේ පැත්තට…
>”මිස්ටර් රන්දෙව්… ඔයාට නංගිව ගෙදර ගෙනියන්න පුළුවන්… ඔන්න දැන් නංගි විතරක් නෙවෙයි, චූටි පැටියගේ වගකීමත් තියෙන්නෙ ඔයා අතේ…“
ම්… මො… මො… ක… ක්.. ද.. ඒ… පැ.. ටි.. යෙ.. ක්.. ප්.. පැටියෙක් කාගෙද … මේහ්…
+”මං මේ දෙන්නව බලාගන්නවා මැඩම්… ඒ ගැන සැකයක් තියාගන්න එපා…. මට මගේ ලේ කියන්න උන්නේ මෙච්චරයිනේ මැඩම්… ඒත්.. එත්… ම..ට…”
දෙව්ට අන්තිම ටික පැටලුනේ කඳුළු පේළි දෙකක් ඒ පිරිමි ඇස්වලින් කඩා වැටෙද්දි… ඒ කඳුළු කියාගන්න බැරි වේදනාවක් මගෙ පපුව උඩ අතෑරියා වගෙයි මට දැනුනෙ… මොකක්ද මේ සිද්ධ වෙන්නේ…
>”මට මේ දවසට තේරුනා මිස්ටර් ඔයා ළඟ කෙල්ල වෙනුවෙන් උතුරන සහෝදරකම…. ඔයා පසුතැවෙන්න එපා… මේ දේවල් ඔයාගේ වැරැද්දක් නෙවෙයි … ම්ම්.. දෙයක් වෙන්න තියනවා නම් වළක්වන්න බෑ කියලා කතාවක් තියනවනේ… නංගිට හැමදේම පැහැදිලි කරලා එයාව හොඳින් බලාගන්න… මං ගිහින් එන්නම්…. “
අහිංසක හිනාවක් එක්ක මගෙ ඔළුවත් අතගාලා දොස්තර නෝනා එහෙම කියලා යද්දින් මට තේරුම් ගිය එකම දේ මෙතන මොකක්ම හරි වැරැද්දක් තියනවා කියලා … උනේ මොකක්ද කියලා අහන්න ඕනි උනත් දේව් එක්ක තිබුන තරහ හින්දා මං උන්නේ දෙගිඩියාවෙන් …
-“දෝණී… අපි යමු…”
එයා මාව ඇඳෙන් බස්සලා වාරු කරගද්දි මාත් සද්ද නැතුවම එයාට ඉඩ දුන්නා +… එයා මාව එයාගේ පරණ බයික් එකේ තියාගෙන අරන් ගියේ මං ඉන්න ආසම තැනට.. අපෙ ගෙවල් කිට්ටුවෙන්ම තිබුන නිස්කලංක මුහුදු වෙරළට…
+”ඇ… ඇ..යි … මේ…”
මං ඇහුවේ හුඟක් වෙලාවකට පස්සේ…
-“ම්ම්හ්හ්.. උඹට මාව චුට්ටක්වත් වටින්නැද්ද දෝණියෝ… එදාහ්හ්.. එදා අර කීවා වගේ… මං උඹෙ සහෝදරයා නෙවෙයිද ….”
+”මං… මං… ඒ…”
අහේතුකවම එදා මගෙ ඇස්වලින් කඳුළු වැටුනා… ඒ වචන මාව ඒ තරම් සංවේදී කරලා..
-“මං දැනන් උන්නේ නෑ බං ආදරේ පෙන්නන්න… උඹෙ වගේම මගෙත් අම්මා අප්පච්චි අපිව එකට තියලා හැදුවේ නැති උනාට මං උඹට මහ හුඟක් ආදරේ කලා.. අහපන් මගෙ උන්ගෙන්… උඹ නොදන්නවට තේරෙන කාලේ ඉඳන් උඹව අඳුන්නන්නේ මගෙම නංගි කියලා…”
මට ඉකිගැහුනා… ඇයිද මන්දා ඒ වචන බොරුවක් කියන්න උවමනා උනේ නෑ වෙනදා වගේ… ඒ ලොකු අතක් මගෙ උරහිස් වටේ එතෙද්දි කවදාවත් දැනුනෙ නැති තරම් එයාව දැනුනා එදා මට…
– “උඹ මාව විශ්වාස කරන්න නැතුවැති.. ඒත් මං උඹව හුඟක් විශ්වාස කලා.. ඒකයි අර නරුමයා උඹව අනාථ කරනකන් මේ කරුමක්කාර අයියට මුකුත් කරගන්න බැරි උනේ… මගෙ උන් සැරින් සැරේ කියද්දිත් උඹ මෙච්චර දුර නොයයි හිතන තරමට මං උඹව විශ්වාස කලා…”
එච්චර වෙලා බිමට හැරවිලා තිබ්බ ඇස් මං අමාරුවෙන් හැරෙව්වේ එයා දිහාට…ඒ කියන්නේ ෂේන් ගැනද… එයා මාව අනාථ කරා කියන්නේ ඇයි… එයා මට ආදරේ කලානේ…
+”ඒ… ඒත්.. එ.. යා.. ම.. ට ආ.. ආද.. රෙයි.. නේ…”
මං කියද්දිම දේව් මගෙන් ඈත්වෙලා මුහුද පැත්තට ඇවිදන් ගියෙ බරට හුස්මක් මගෙ පපුවටම අතෑරලා..
-“හ්ම්ම්.. ඔව්… ඌ ආදරේ කලා.. ඒත් ඌ ආදරේ කලේ උඹට නෙවෙයි උඹෙ ඇඟට… ඌ උඹව පාවිච්චි කලා.. මගෙ කාලකන්නිකමට ඒක දැනගන්නකොට මං හුඟක් පරක්කුයි … උඹෙ බඩට #ඒකගෙ ලේ කැටියක්# දීලා ඌ යන්න යනකනුත් මේ අයියා පරක්කුයි දෝණී… මං පරක්කුයි…”
මො.. මොක… ක්… පැටියෙක් … මගෙ කුසේ… ඇස්වලින් කඳුළු වාන් දාද්දි කුසත් අත් දෙකෙන් අල්ලගෙන බිමට කඩන් වැටුනේ කෑගහගෙනම…
+”නෑහ්.. නෑ.. නෑ.. ඒක වෙන්න බෑ …”
මාව දණින් වැටෙද්දිම ඒ රළු අත් වලින් ඇදිලා ගිහින් නැවතුනා ආයෙම ඒ පපුවේ… ජීවිතේ පළවෙනි වතාවට වේගෙන් ගැහෙන ඒ පපුවට තුරුළු උනේ ලොකු රැකවරණයකුත් හිතට දැනෙද්දි..
-“මේ අහපන් දෝණී…මට බෑ උඹට අඬන්න එපා කියන්න…. ඒත් උඹෙ බඩේ ඉන්න එකා ගැන … “
+”අනේහ්හ්.. ඒත්.. ඒ.. ඒක..”
-“හ්ම්ම්.. කීවට උඹට විශ්වාස නෑනේහ් මාව.. තාරා.. තාරා.. මචං දීපන් ඕක මෙයාට…”
දේව් පිටිපස්සට හැරිලා කතා කලා එයාගේ යාළුවාට… එයා විතරක් නෙවෙයි තව යාළුවෝ කීපදෙනෙක්ම අපිට ඈතින් උන්නා කියලා මං දැනගත්තේ එතකොට… ඒ කෙනා ආවේගෙන් වගේ ඇවිත් මට ළං කලේ ප්ලේ වෙන වීඩියෝ එකක්..
++ “තෝ මොකක්ද කියන්නේ … ආහ්හ්..”
දේව්ගෙ යාළුවෝ මැද්දේ ලේ පෙරාන උන්න ෂේන්ගේ කමිසෙන් අල්ලගෙන තාරා අයියා එහෙම කීවා… මට දැනුනෙ පපුව ගැලවෙන තරම් කැක්කුමක් … දේව් මොනා කීවත් ඒ මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා..
— “හහ්.. ම්ම්… මං … මං ඒ… කි..ට ආදරේ කලේ නෑ …”
++ “තෝ.. තෝ ඇයි එහෙම කලේ… ඇයි අර අච්චර ලස්සනට ජීවත් වෙච්චි කෙල්ලව අනාත කරේ…”
— “ලස්සන හින්දම තමයි මිනිහෝ… නැත්තම් මෙච්චර සල්ලි තියන මට දිලේෂා වගෙ හිඟන කෙල්ලෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද… ඒකිගෙ ලස්සනයි, මෝඩකමයි විතරයි… මදි පාඩුවට ළමයෙකුත් බඩට දාගෙන.. හහ්.. කවුද දන්නේ ඒකා මගෙමද කියලා…මාත් එක්ක…”
+”ඇතී…. “
ෂේන් අමාරුවෙන් උනත් ඇමිණුව වචන දරාගන්න බැරි තැන මං කෑගැහුවේ කන් දෙක අතින් වහගෙන.. නෑ … ඒ.. එයා … එයා මට එක දශමයක්වත් ආදරේ කරලා නැද්ද එතකොට…. පපුව හිරවේගෙන වගේ එද්දි ආයෙම මාව ඇදිලා ගියා දේව්ගේ තුරුළට… ඔව්.. ඔයා කීවා හරි දේව්.. ඔය පපුවේ ඇවිලෙන ගින්දරේ තරම මං දැනුනා ඒ වෙලේ මට… මගෙ පපුවත් සීමාවක් නැතුව ඇවිලෙද්දි මටත් දැනුනා ඇත්තටම තමන්ගේකම මොකක්ද කියලා ….
+”අනේහ් දේව්…”
-“එපා දෝණී … උඹට මං ඉන්නවා… කවුරුත් ඕනිනෑ… මින් පස්සේ උඹ එපා කීවත් මේ අයියා උඹ එක්ක ඉන්නවා… උඹට තනිවෙන්න දෙන්නේ නෑ මං… උඹටවත්, මේ පැටියටවත්.. “
දේව් කීවේ මගෙ ඔළුව ඉඹින ගමන්…
+”ඒත් … ඒත් කොහොමද … මං … මේ… පැ.. ටි… යෙ.. ක්..”
-“නැත්තම් ඕකව මරලා දාන්නද… ආහ්.. උඹලගෙ පව් මේ මේ නූපන් දරුවා පිටින් යවන්නද.. අප්පා මොකා උනත් මං ඉන්නවා දරුවා වෙනුවෙන් …මාව විශ්වාස කරපන් දෝණී.. මේ දරුවා ගැන වත් හිතලා..”
හ්ම්ම්.. මං එයාව විශ්වාස කලා.. ජීවිතේ අවසාන වතාව කියලා හිතාගෙන කෙනෙක් ආයෙ විශ්වාස කලා. කිව්වා වගේම එයා මගේ විශ්වාසේ රැක්කේ මගෙ පුතුට වගේම මටත් අප්පච්චි කෙනෙක් වෙලා… ඔව්ව්.. අවජාතකයෙක් වෙන්න ගිය මගෙ දරුවගෙ උප්පැන්නෙට අප්පච්චි කෙනෙක්ගේ නම දුන්නේ මගෙ අයියා දේව්.. ඒ විතරක් නෙවෙයි …මායි දරුවයි වෙනුවෙන් හැමදේම අතෑරලා වෙනමම ජීවිතයක් ගොඩනැගුවේ අපේ බර එයාගෙ කරට අරන්… ලෝකයට අඹු සැමියන් උනාට, අපේ පුතු දුනිත්ට අම්මා අප්පච්චි උනාට අපි දෙන්නා අතරෙ තියෙන්නෙ ලේ බැඳීමටත් එහා ගිය සහෝදර බැඳීමක් විතරමයී.. එයාගේ තරුණ ජීවිතේ අපි වෙනුවෙන් වැය කරගෙන අයියා මේ කාලකන්නි කෙල්ල වෙනුවෙන් කරන කැපකිරීම් හින්දා දෙව්ව මං අදහන්නේ දෙවි කෙනෙක් ගානට… ඒ තරුණ හිතේ තියන හැඟීම් හිරකරගෙන තමන්ව සතේකට මායම් කරපු නැති නමට නංගි උන මාව බලාගන්න වෙන කෙනෙක්ටනම් බැරි බව දන්න නිසා…
-සීමාවක් නොමැති සෙනෙහසේ එක් පැතිකඩක් වෙනුවෙන්-
Written By: –
Kanishka Prabodhini
University of Colombo – Faculty of Management and Finance
Edited By:
Rtr. Ushanth Jayakumar
(Junior Blog Team Member 2023-24)
Edited By:
Rtr. Nawodi Thathsarani
(General Member 2023-24)