සෑම පටන් ගැනීමකට ම අවසානයක් ඇත

මේ විශ්වය ආරම්භ වූයේ කවදා ද කෙසේ ද යන්න අපට සදාකාලයට ම විසඳාගත නොහැකි ප්‍රශ්නයක් වනු නොඅනුමානය. එලෙසම විශ්වයේ අවසානය ද අපට වටහා ගත නොහැක. විශ්වයේ එසේ වුවත් පෘථිවිය තුළ ගෙවෙන අපගේ ජීවිතය එසේ වටහාගැනීමට අමාරු  දෙයක් නොවේ. පෙර ආත්ම භාව, මරණින් මතු ජීවිතය පිළිබඳ අමතක කළොත් උපන්දා සිට මරණය දක්වා ජීවිතය වටහා ගැනීම විශ්වය වටහා හා ගැනීම තරම් අමාරු නොවනු ඇත.

එසේ වුවද ජීවිතය වටහා ගැනීම ලේසි කටයුත්තක් නොවේ. පරිණාමය වෙමින් ආ මිනිස් ප්‍රජාවට නොයෙකුත් යුග ගණනාවක් පසු කල ද ජීවිතය යනු කුමක්දැයි වටහා ගැනීමට තවමත් නොහැකි වී ඇත. එසේ වටහාගත නොහැකි ජීවිතය වටහා ගැනීම ද අපි අමතක කර දමමු. එවිට අපට අපගේ එදිනෙදා ජීවිතය ගැන කතා කළ හැකිය. සෑම ආරම්භයකටම අවසානයක් ඇති බව කතා කළ හැකිය. ඉපදුන හැමෝම මිය යති. ඒ ජීවිතයේ අවසානයයි. මිනිස් ජීවිතවල විවිධ අවධි ඇත. ඒ ළදරු විය, ළමා විය, නව යොවුන් විය, මැදි විය ආදී වශයෙනි. මේ සෑම අවධියක් ම ආරම්භ වී අවසන් වේ.

අප නොදන්නා දෙයක් ඉගෙනුත් ගන්නට පටන් ගන්නේ නම් ඒ සඳහාද ආරම්භයක් ඇත. අප ආරම්භයේදී කිසිවක් නොදනී. නොදන්නා දෑ පිළිබඳ බියක් ද සිතේ ඇති වේ. නමුත් සෙමින් සෙමින් නොදන්නා දේ අධ්‍යයනය කිරීමේදී ඒ පිළිබඳ දැනීමක් ඇතිවේ. ක්‍රමයෙන් අප සතු දැනුම ප්‍රගුණ වේ. අප නොදන්නා දේ දැනගෙන අවසන් වේ. උදාහරණයක් ලෙස එක් විෂයක් තෝරා ගනිමු. විශ්ව විද්‍යාල ජීවිතයේදී සෑම සිසුවකුටම කරදරයක් වන සංඛ්‍යානය නම් විෂය ඉගෙනීමට ඉතා වෙහෙසකර තේරුම් ගැනීමට අමාරු විෂයකි. නමුත් නිරන්තර පුහුණුව මෙම විෂය පිළිබඳ අප සතු දැනුම වැඩිකරයි. පසුව එම දැනුම අපගේ සාමාන්‍ය දැනුමට එකතුවේ.

සබඳතාද එසේමය. නොදන්නා මිනිසුන් අපට මුණ ගැසේ. ක්‍රමයෙන් එකිනෙකා පිළිබඳ දැනුවත්භාවය වැඩිවේ. ගතිගුණ, අදහස්, ආකල්ප හා හැසිරීම එක සමාන නම් මිත්‍රත්වයක් ඇතිවේ. එසේ නොවේ නම් ගැටීමක් ඇතිවේ. සමහර විට මුලදී ඇති වූ ගැටීම් පසුකාලීනව මිතුරුකම් බවට පත්වේ. මුළ දී ඇතුළු වූ ගැටීම් පසු කාලයේදී මිතුරුකම්  බවට පත්වේ. අපගේ තේරුම් ගැනීම්, වයස සමඟ අදහස් වෙනස්වීම් මෙම පරිවර්තනයන් ඇති කරයි.

මිනිසුන් ගැන කතා කිරීමේදී සම්බන්ධතා ගැන කතා නොකරම බැරිය. මිනිසා යනු සමාජශීලි සත්වයෙකි. සබඳතා නොමැති ව මිනිසාට දිනිය හැකිය. නමුත් එම සාර්ථකත්වය තිරසර නොවේ. සබඳතා හරහා මිනිසුන් වර්ධනය වීම ද බිඳ වැටීම ද සිදුවිය හැකිය. සබඳතා තෝරාගැනීමේදී බුද්ධිමත් විය යුත්තේ එ නිසාය. අප තුළ ඇතිවන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වැනි හැඟීම් ඉබේම පහළ වූවත් ඒවා අඩු කිරීමට සිත දියුණු කළ යුතුය. මෛත්‍රිය, කරුණාව උපේක්ෂාව, මැදිහත් බව ආදි යහපත් සිතුවිලි වගා කිරීමට කටයුතු කළ යුතුය. මිනිස් වර්ගයාට සහයක් වන වටිනා මනුස්සයෙක් විය හැක්කේ එලෙස ය.

මෙසේ ඇතිවන සබඳතා ආරම්භ වූවා සේම අවසන් වෙයි. කෙටි කාලයකින් වාගේම දශක ගණන් දක්වා සබඳතාවල කාලය විචලනය විය හැක. කෙසේ වුවත් සෑම දෙයක්ම අවසන් වේ. මතකයන් පමණක් ඉතිරි වේ.

ආරම්භ වන සෑම දෙයක්ම අවසන් වන බව පැවසීම කොතරම් තර්කානුකූල දැයි නොදනිමි. එහෙත් එහි සත්‍යයක් නැත්තේම නැත. සතුට දුක සියල්ල අවසන් වේ. එය අවසානය නොවේ. නැවත දුක සතුට ඇතිවේ. අවසන් වේ. මෙය නොනවතින්නකි. මේ සමඟ අප ජීවත්විය යුතු යුතුය. දුර්ලභ  මිනිස් ආත්මයක් ලබා ඇති අප විසින් උපරිම  ප්‍රයෝජන ගත යුතුය. අන්‍යයන්ටත් ප්‍රයෝජනයක් විය යුතුය. ජීවිතයට අරුතක් ජීවත් ව සිටින කාලයේදීම දිය යුතුය. ආරම්භය කෙසේ වෙතත් අවසානය  අමතක නොවන්නක් වන්නේ එවිටය.

 

Written By: –

 

 

 

 

Rtr. Hirushi Rajapaksha
(Senior Blog Team Member 2025-26)

 

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top