ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උත්සව අතර රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහැරට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. සෑම වසරකම ඇසළ මාසයේ පැවැත්වෙන මෙම උත්සවය බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ වැදි ජනතාවගේද ගෞර්වාදරයට පාත්‍ර වූ ආගමික හා සංස්කෘතික උත්සවයකි.
ජනප්‍රවාද අනුව කඳ කුමරු, දෙවියන්ගේ සෙන්පතිවරයා ලෙස සැලකේ. ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි කඳ කුමරු වැදි ගෝත්‍රයට අයත් වල්ලි කුමරිය සමඟ විවාහ වූ බව ජනප්‍රවාදවල සඳහන් වේ. වල්ලි සමඟ විවාහයෙන් අනතුරුව ඔහු කතරගම ප්‍රදේශයේ වාසය කළ බවත්, එතැන් සිට කතරගම ජනතාවගේ ආරක්ෂක දේවතාවා ලෙස ගෞරවයට පත්වූ බවත් විශ්වාස කෙරේ. එවකට මෙරට පාලනය කළ දුටුගැමුණු රජතුමා එළාර රජුට එරෙහි යුද්ධයට පෙර කතරගම දෙවියන් ගේ ආශිර්වාද ලබාගත් බව මූලාශ්රවල සඳහන් වේ. යුද්ධයෙන් ජයගත් පසු උන්වහන්සේට මහා දේවාලයක් ඉදි කොට පුද පූජා ආරම්භ කරන බව රජු විසින් දෙවියන්ට පොරොන්දු වූ බවද ඉතිහාසය පවසයි. වර්තමානය වන විට දෙස් විදෙස් දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ පුද පූජාවට පාත්‍ර වන රුහුණු මහා කතරගම දේවාලයේ ආරම්භය එලෙස සිදු විය.
දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සහ ජනතාවගේ භක්තිය ප්‍රකාශ කිරීම අරමුණින් කතරගම ඇසළ මහා උත්සවය දින ගණනාවක් පුරා පැවැත්වෙන ආගමික මංගල්‍යයකි. කප් සිටුවීමේ සිට දිය කැපීම දක්වා, දෙසතියකට අධික කාලයක් පුරාවට මෙම මංගල්‍යය පැවැත්වේ. වල්ලි මාතා පරපුර නියෝජනය කරමින් වැදි ජනයා පාගමනින් දේවාල භූමිය කරා පැමිණීම විශේෂයකි. අලංකාරයෙන් සැරසූ ඇතුන්, පන්දම්කරුවන්, බෙර වාදකයන්, උඩරට සහ පහතරට නර්තන ශිල්පීන්, කාවඩි නර්තන ශිල්පීන්, දේවාල නිලමේවරුන් සහ දේවාභරණ වැඩමවන පිරිස් එක්වී ඇසළ මහා පෙරහැර උත්සවශ්‍රීයෙන් සිදු කරයි. රාත්‍රී කාලයේ පන්දම් එළියෙන් සහ සම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ සමඟ ගමන් කරන මෙම පෙරහැර දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ආකර්ෂණයට ලක් වේ. කතරගම පෙරහැරේ විශේෂත්වයක් වන්නේ කාවඩි නැටුම් සහ ගිනි පෑගීම වැනි භාර ඉටු කිරීමේ වතාවත්ය. බොහෝ බැතිමතුන් තමන් කළ භාරයන් ඉටු කිරීම සඳහා මෙම චාරිත්‍රවලට සහභාගි වෙති. බැතිමතුන් එම භාරහාර ඉටු කිරීම සඳහා විශේෂයෙන් පේවී කටයුතු කටයුතු සිදු කරයි.

ඇසළ මංගල්‍යයේ අවසාන දිනයේ මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යය පැවැත්වේ. එය දේව ආශිර්වාදය රටට සහ ජනතාවට ලැබේවායි ප්‍රාර්ථනා කරන පුරාණ චාරිත්‍රයක් ලෙස සැලකේ.
වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන රුහුණු කතරගම පුදබිම ශ්‍රී ලංකාවේ පැරණිතම හා පූජනීය ආගමික ස්ථාන අතර ප්රමුඛ ස්ථානයක් ගනී. කතරගම උත්සවය, දේවාල භූමිය සහ ස්කන්ධ කුමරුන් පිලිබඳව ජනප්‍රවාදයන්හී විවිධ මතවාද සඳහන් වේ. නමුත් වැදගත් වන්නේ ආගමික හා සංස්කෘතිකමය වශයෙන් වටිනාකමක් දක්වන චාරිත්‍ර ආරක්ෂා කරගනිමින් ඉදිරි පරම්පරාවන් වෙත දායාද කිරීමයි. විවිධ ආගම් සහ ජාතීන්ට එක්වී භක්තියෙන් සහ සහෝදරත්වයෙන් මෙම උත්සවය සමරන අතර එය ශ්‍රී ලාංකික සංස්කෘතියේ එකමුතුකම, භක්තිය සහ සම්ප්රදාය ලොවට විදහා දක්වන අගනා අවස්ථාවකි.
Written By: –

Rtr. Chamodya Anushani
(Senior Blog Team Member 2026-27)

