මිනිසුන්ගේ විශ්වාසයන් විවිධය. එමෙන්ම ඕනෑම කෙනෙකුට ඔවුන්ට රිසි සේ ඔවුන්ගේ විශ්වාසයන් තබා ගත හැකිය. නමුත් එම විශ්වාසයන්ගෙන් වුවත් අන්ත දෙකක් ඇත. විශ්වාසය මධ්‍යස්තව ගත් කල යහපතක් ගැබ්වී තිබුනද නමුත් එය අන්තවාදී වූ විට සමාජයට දායාද කරනුයේ අයහපත් ප්රතිඵලයකි. එවැනි ප්‍රතිඵල වලට ගොඳුරු වූ මිනිසුන් උදෙසා අගෝස්තු 22 දින ආගම හෝ විශ්වාසය මත හිංසා පීඩාවට ලක් වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය නම් කොට ඇත.
2019 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UN General Assembly) විසින් ඒකමතිකව සම්මත කරන ලද A/RES/73/296 දරන යෝජනාව මඟින් මෙම දිනය නිල වශයෙන් නම් කරන ලද්දේ ප්‍රධාන වශයෙන් ආගම හෝ විශ්වාසය මත පදනම්ව සිදු කෙරෙන ප්රචණ්ඩ ක්‍රියා මෙන්ම ත්‍රස්ථවාදී ප්‍රහාර වලට ගොඳුරු වූවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන්ට සහය දැක්වීම උදෙසාය. එමෙන්ම ආගමික වෛරය, නොඉවසීම සහ වෙනස්කම් කිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සහ සියලුම ආගම් හා විශ්වාසයන්ට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීම මෙම දිනයේ ප්‍රධාන අරමුණු අතරවේ.
මෙවැනි දිනයක් පිලිබඳව කියන සැනින් අපට මතකයට නැඟෙනා සමීපතම සිද්ධිය නම් 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයයි. එහිදී බොහෝ පිරිසක් තුවාල ලැබූ සහ ජීවිතක්ශයට පත් වූ අතර අදටද ඔවුන්ද ආගමික අන්තවාදයේ අවිහිංසක ගොඳුරුය. එමෙන්ම ගෝලීය වශයෙන් ගත් කලද මෙවැනි උදාහරණ බොහෝය. සුළු ජාතීන් මුහුණ දෙන තර්ජන, ආගමික සිද්ධස්ථාන කරා එල්ලවන ප්‍රහාර, ඩිජිටල් මාධ්‍ය අවකාශයේ පතුරවා හරිනා වෛරී ප්‍රකාශ අද සමාජයේ නිරන්තරයෙන් දැක ගැනීමට හැක. UN විසින් පෙන්වා දෙන ආකාරයට ප්රචණ්ඩත්වය පුද්ගලයන්ට පමණක් නොව නිවාස, ව්‍යාපාර, පාසල්, සංස්කෘතික මධ්‍යස්ථාන සහ ආගමික ස්ථාන වෙතද එල්ල විය හැක.

ශ්‍රී ලංකාව වැනි බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් ඇතුළු විවිධ ආගමික ප්‍රජාවන් ජීවත් වන බහු ජාතික රටකට මිනිසුන් අතර සමඟිය පවත්වා ගැනීමට නම් ආගමික සහජීවනය මෙන්ම එකිනෙකාගේ විශ්වාසයන්ට ගරු කිරීම ඉමහත් වැදගත් ය. ආගමික සහජීවනය මෙන්ම විශ්වාසයන්ට ගරු කිරීමට නොහැකි වූ විට එමෙන් සිදු වන බලපෑම ඇති වන්නේ හුදෙක් පුද්ගලයාට පමණක් නොව. එය පුද්ගලයා මඟින් සමාජයටද බලපෑම් කරන අතර සමාජික සහජීවනය බිඳ හෙලයි.
මේ සඳහා අපට ගත හැකි පියවර වන්නේ මූලිකවම අපගේ චින්තය වෙනස් කර ගැනීමයි. එමෙන්ම සියලු දෙනා අතර දැනුවත් කිරීම් සිදු කිරීම, ආගමික හා සංස්කෘතික විවිධත්වය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම, ආගමික සුළුතරයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තරුණ පරපුර අතර සාමය, ඉවසීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම අපට ආගමික හා විශ්වාසය මත පදනම් වූ නොඉවසීම හා ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියා කල හැකි වැදගත් ක්‍රියාමාර්ග වේ.
අප පසු කරනා මේ 21 වන සියවසයේ සිටිනා දියුණු මානවයා තාක්ශනය අතෙන් පමණක් නොව මානසිකවද සැබෑ ලෙසම වර්ධනය අත් කරගත යුතුය. කිසිඳු ආගමක් හෝ විශ්වාසයක් පැවතීම වරදක් නොව. අනෙක් අයගේ විශ්වාසයන් පිලි ගැනීමට නොහැකි නම් එහි වරදක් ඇත. හුදෙක් වින්දිතයන් සිහිපත් කිරීමෙන් තොරව මෙවැනි ක්‍රියා වලක්වා ගැනීමට කටයුතු කිරීම සමාජයේ සක්‍රීය සාමාජිකයන් වන ඔබත් මගෙත් යුතුකමක් මෙන්ම වගකීමකි. සහජීවනය නිතැතින්ම සාමකාමී ලෝකයක් තනන්නේය.
Written By: –

Rtr. Methma Madhushi
(Junior Blog Team Member 2026-27)

