The Treasure – නිධානය

ජීවිතය කියන ලොකු, දිග, පලළ ගමනේදී අපි හැමෝටම එක එක දේවල් හම්බ වෙනවා.එක එක ජාතියේ මිනිස්සු මුණ ගැහෙනවා.

අපි ගමන් කරන මාර්ගය රළු, දුෂ්කර එකක් වෙන වෙලාවට අපිට මුණ ගැහෙන සමරහක් මිනිස්සු ගල්, කඩතොලු අස් පස් කරලා අපිට අපේ ගමන් මාර්ගය පැහැදිලි කරගන්න උදව් කරනවා. ඒ අතර සමහර උදවිය පැහැදිලි මාර්ගය අවහිර වෙන විදිහට එයාලා ළඟ තියෙන කුණු ගොඩවල් අත ඇරලා දාලා යනවා.

ඊට පස්සේ එයාලගේ මාර්ගයේ හරි අපේම මාර්ගයේ අපිට ඉස්සරහින් තියෙන තැනකින් හරි එයාලා ගමන පටන් ගන්නවා. අපි කුණු ගොඩකට මැදි වෙලා කර කියාගන්න දෙයක් නැතුව නැවතිලා ඉන්නවා. කුණු ගොඩ අයින් කරලා දාන්න ගන්න උත්සාහයේදි අපේ ඇඟවල් වල ඒ කුණු ගෑවෙනවා. අපිව ගඳ ගහනවා. 

දැන් අපි මොකද කරන්නේ?

අපි ඇත්තටම මොකක්ද කරන්න ඕනේ?

මොනවා කරත්, මොන දේ කරන්න හිතුවත් කුණු ගොඩ අත ඇරලා දාපු උදවිය ජීවිත ගමනේ අපිව පහු කරන් හුඟක් දුර ඉස්සරහට ගිහින් ඉවරයි. අපිට හම්බ වෙන්න තිබුණු ලස්සන මල් ගොමු, රස පලතුරු, ලස්සන දර්ශන අපිට කලින් එයාලා අත් විඳලා, රස බලලා ඉවරයි. මේ සේරම දේවල් වෙන අතරේ අපි තාම අර කුණු ගොඩ ඉස්සරහ හිටගෙන ඉන්නවා.

මෙහෙම ඉන්න අතරේ ලස්සන ගෑනු ළමයෙක් කොහෙන්ද මන්දා කඩන් පාත් වෙනවා. පිළිවෙලකට ඇඳ පැලඳ ගෙන ඉන්න එයා මොන එහෙකට මේ කුණු ගොඩක් බදාගෙන ඉන්න අපි ගාවට ආවද මන්දා. එයා අපි ළඟට ඇවිත් මෙහෙම කියනවා. ” ඉස්සරහට යන්න ඕනේ නෑ. අපි මෙතන නවතිමු. ඉස්සරහ මීට වඩා භයානක හෙලක් තියෙනවා. ඔයාලව පහු කරන් ගිය කට්ටිය ඒ හෙලට වැටිලා ගොඩ එන්න බැරුව ඉන්නේ.”

එහෙම කියපු එයා කුණු ගොඩ අස් කරන්න පටන් ගන්නවා. දැන් එයාගේ ඇඟෙත් කුණු. අපේ ඇඟවල් වලත් කුණු. කොච්චර ලස්සනට ඇඳ පැළඳ ගෙන හිටියත් එයාට ගානක් නෑ. ලස්සන කෙල්ලෙක් තනියම කුණු ගොඩක් අස් කරනවා බලන් ඉන්න බැරි නිසා අපිත් එයාට උදව් වෙනවා.

” මේ බලන්න මට මොනාද හම්බ වුනේ කියලා”. හොඳටම කුණු නාගෙන ඉන්න අතරේ අතක් උස්සලා එයා කෑගහනවා. අපි ළඟට ගිහින් බලනවා. එයාගේ අතේ දිලිසෙන ලොකුම ලොකු මැණිකක්.

“මේ, තව තියෙනවා.” දෙයියනේ, මේ කුණු ගොඩ ඇතුලේ රත්තරන්, මුතු, මැණික් ගොඩ ගැහිලා. මේක වෙන්න බැරි දෙයක්. කුණු ගොඩ අත ඇරලා දාලා ගිය උදවිය දැක්කේ නැද්ද දන්නේ නෑ මේ වස්තුව. අපි කුණු ගොඩ තව අවුස්සනවා.

” මේක කුණු ගොඩක් නෙමෙයි. නිධානයක්.”අපිට ඉබේටම කියවෙනවා. පැත්තක ඉඳන් අර ලස්සන ගෑනු ළමයා හිනා වෙවී ඉන්නවා. දැන් අපේ කුණු ගෑවුන අත්වල මැණික් ගොඩ ගැහිලා. අතේ තියන් ඉන්න බැරි නිසා රත්තරන් ආභරණ ටික අපි පැළඳ ගන්නවා.

” හොඳ වෙලාවට ඔයා ආවේ. අපිට ඉස්සරහට යන්න බැරුව කර කියාගන්න දෙයක් නැතුව හිටියේ. ආ, මේ මාලේ ඔයාට.”

ඒත් කෝ එයා? මේ දැන් හිනා වෙවී හිටපු එයා කෝ?

නමක් ගමක් වත් අහගන්න බැරි වුනා.

මේ සේරම වස්තුව අපිට දීලා එයා කොහේ ගියාද මන්දා…

*Cover Image includes a famous artwork of Pablo Picasso done in 1954, titled “Jacqueline with Flowers”.
For the story behind the masterpiece: https://www.pablopicasso.org/jacqueline-with-flowers.jsp

Written By:

Rtr. Kisal Sooriyaaratchi
( Co-Director – Green Life 2019/20 )

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments