අලුත් අවුරුද්ද

අලුත් අවුරුද්ද කියන වචනය ඇහුන ගමන් ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් තුළ නිරායාසයෙන්ම ප්‍රබෝධමත් හැඟීමක් උපදිනවා. ඒ මොකද අද වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔවුන්ගේ පමණක් නොව මුළු ශ්‍රී ලාංකිකයන්ගේම උත්සවයක් බවට පත්වෙලා නිසා. අලුත් අවුරුද්ද, සූර්ය මංගල්‍යය, බක්මහා සැණකෙළිය මේ ආදී වූ විවිධ නාමයන්ගෙන් හැඳින්වෙන අලුත් අවුරුද්ද සූර්යයා කේන්ද්‍ර කරගෙන අති උත්කර්ෂවත් අන්දමින් සමරනවා. මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සූර්යාගේ චක්‍රීය ගමන් මගට අනුව, විශේෂයෙන්ම සිංහල දෙමළ ජනතාව සූදානම් වෙන්නේ අලුත් බලාපොරොත්තු නැවුම් සිතුවිලි එක්ක නව ඇරඹුමක් ජීවිතයට ළඟා කරගන්න. බක් මහ සැණකෙළිය කියන්නේ මංගල්ලයක්, බක් මහා කියන්නේ මංගල මාසයක්, ඉතින් මේ මංගල්‍යයට මිනිස්සු විතරක් නෙමෙයි මුළු ස්වභාව දහමම සැරසෙනවා. දොළොස් මහෙන් බක්මහ මේ තරම් සුවිශේෂී වන්නේත් ඒ නිසයි. බාල මහලු ළමා වැඩිහිටි ඕනෑම තරාතිරමක කෙනෙක්ගෙ හිත නොඉවසිල්ලෙන් අපේක්ෂා කරන්න මාසයක් තමයි මේ බක්මහ කියන්නේ.හෙල සිරිතට විරිතට ගරු කරමින් තුන්සිංහලයම නෑදෑ පරපුරක් මෙන් එකට එක්කාසු වෙන අවස්ථාවක් මේ අලුත් අවුරුද්ද. පරම්පරා ගණනාවක් පුරාවට පැවත ගෙන එන චාරිත්‍ර වාරිත්‍ර එකම නැකතකට සෑම ගෙදරකම ඉටු කරමින් නෑදෑකම් හිතවත්කම් මේ සියල්ල අලුත් කරගන්නෙ පරණ කොන්තර සියල්ල අමතක කර දමමිනි. දූ දරුවෝ දෙමාපියෝ පවුල ඇතුළේ එකට ඉදගෙන සමගියෙන් සතුටෙන් මේ සියළු කටයුතු ඉටුකරද්දි පවුල තුළ තියෙන ආදරය බැදීම තව තවත් ශක්තිමත් වෙනවා. නව සද බැලීමේ පටන් රැකී රක්ෂා සදහා පිටත්ව යන නැකත දක්වා සැකසුනු නැකැත් සීට්ටුව අලුත් අවුරුද්දෙ මුළු ජාතියක් එකම මොහොතක එකම කාර්යක නියුක්ත කරනවා. අනිත් සියල්ලන්ටම වඩා අලුත් අවුරුද්ද විශේෂ වන්නේද ඒ නිසයි. අපේකම, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර මේ සියල්ල අලුත් අවුරුද්දේ මිනිස් හදවත් තුළට තව තවත් සමීප කරනවා.

බක්මහේ දහතුන දාහතර අලුත් අවුරුදු දවස් කියලා කැලැන්ඩරේ විශේෂ කර තිබුණත් අප්‍රේල්වලට එළඹීමත් සමග අලුත් අවුරුදු උණුසුම හදවත්වලට සමීප වෙලා අවසන්. ඒ උණුසුමත් එක්ක අලුත් අවුරුද්ද උදාවෙන්න එනවා කියලා දැනෙනකොට මුලු පවුලම එකට එකතුවෙනවා. ගෙවල් දොරවල් පිරිසිදු කරන්න, ලස්සන කරන්න, අලුත් ඇඳුම් ගන්න, අලුත් බඩුමුට්ටු ගෙදරට ගන්න, අලුත් කැවිලි ජාති හදන්න මේ ආදී වශයෙන් සෑම දෙයකින්ම අලුත් වෙන්න සූදානම් වෙනවා. හැම දේකම තියෙන්නේ අලුත් බවක් නැවුම් බවක්, ඉතින් දැනුවත් ව හෝ නොදැනුවත්ව අලුත් අවුරුද්දේ සියලු දෙනා බාහිරව අලුත් වෙලා.

මිනිස්සු විසින් බාහිරව අලුත් කරගන්න සියල්ලන්ටම පරිසරයද ඒකාත්මික වෙන්නේ හරි අපූරුවට. එරබදු මල් පිපිලා අවුරුද්දම සරසනවා, කොහෝ හඬින් අවුරුද්දම ගීතවත් කරනවා, ඔන්චිලි වාරම්වලින් අවුරුද්දම නලවනවා, ජන ක්‍රීඩා කෙලිසෙල්ලම් වලින් අවුරුද්දම ජව සම්පන්න කරනවා, ඉතින් මේ හැම දෙයක් තුළම තියෙන්නේ අලුත් බවක් වගේම පිබිදීමක්.තරගකාරී ජීවන රටාව තුළ එදා මෙන් නොවුණත් අවශ්‍ය පරිදි හරි හැටි අදටත් මේ චාරිත්‍ර වාරිත්‍ර, නැකත්, පැවතගෙන ඒම ජාතියක් වශයෙන් සියල්ලන්ටම ආඩම්බරයක්. වර්තමාන පරපුර විදිහට අප කළ යුත්තේද අන් කාටත් නොමැති අපේ මේ වටානාකම් අනාගත පරම්පරාවට රැක දිමයි. “හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය” ලෙස ගරු ගාම්භීරව ලෝකයට අපේ අනන්‍යතාවය හදුන්වා දීමෙන් අලුත් අවුරුද්දේ වටිනාකම තව තවත් වැඩිදියුණු වෙනවා. ඒ වගේම මේ තරම් ද අලුත් අවුරුද්ද හිත් වලට සමීප වෙන්නෙ, කතා බහ කරන්නෙ මිනිසා සහ සොබාදහම මේ එක්ක බැදී පවතින නිසයි. අලුත් අවුරුද්දේ නැකතක පවා වටිනා අර්ථයන් ගැබ් වෙලා තියෙනවා. ඒ සියල්ලම මේ මහ පොළොවේ ජීවිත් වෙන මිනිස්සුන්ගේ ජීවිත හැගීම් එක්ක පුදුමාකාර විදිහට සමීපයි. විජය කුමාරතුංග මහතා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගයන “පුංචි පැලත් මේ කාලේ මාළිගා” ගීතය ඇසෙන වාරයක් පාසා මට දැන්නෙ ඒ මානුෂීය හැගීම්මයි. සිටු මැදුරත්, දුප්පත් පැල්පතත් සියලුම තරාතිරම් පැත්තකින් තියලා සතුට ආදරය නිදහසේ උතුරන්න බෙදාගන්නවා. එකා මෙන් එකට එකතු වෙනවා. මේ සියල්ල අතරෙ අවුරුදු ගීතත් අමතක කරන්න බැරි අනිවාර්ය අංගයක්. මොකද අවුරුදු ගීත තුළ තියෙන්නේ සරල සජීවී බවක් එකෙන් හැම වෙලේම හිත තුළට අලුත් අවුරුදු හැගීම තව තවත් සමීප කරනවා. අවුරුදු උත්සව, නෑගම් යෑම, තෑගි හුවමාරු කරගැනීම් මේ සියළු දේ හරිම ආදරණීයයි. පුංචි හිත් විතරක් නෙමෙයි වැඩිහිටි හිත් පවා ඒවාට බොහෝ සේ ප්‍රිය කරයි.ඉතින් මේ අවුරුද්ද කියන්නේ ඒ වගේ සෑම පැත්තකින්ම සැරසුණු කාලයක්.අවසානෙට කියන්නේ බක් මහ මංගල්‍යය ආදරෙන් සතුටින් එකමුතුව සමරන්න. තමන් වටපිටාව ඉන්න පිරිසට ඒ ආදරය සතුට බෙදාහරින්න. මොකක් හෝ දේකට පරණ තරහ මරහ තිබ්බනං ඒ සියල්ලම අමතක කරලා දාන්න, සමාව දෙන්න, වගේම සමාව ගන්න. බාහිරින් අලුත් වෙන තරමටම ඇතුළතින් අලුත් වෙන්න. වැරදි අඩුපාඩු සියල්ල නිවැරදි කරගෙන යහපත් ගුණධර්ම එක්ක අපේකම රැකගෙන ඉදිරියට යන්න. එවිට අනිවාර්යයෙන්ම ඔබට සුබ වෙන අලුත් අවුරුද්දක් වේවී.

Written By: –

 

 

 

 

Rtr. Himasha Sewwandi
(Junior Blog Team Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Moksha Munasinghe
(Junior Blog Team Member 2024-25)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments