කඳ කුමාර වල්ලිට පෙම් බැන්ඳ කතරගම

මේ හුදෙක් මා ලැබූ අත්දැකීම පවසා සිටීම මිසක් දෙවියන් හෝ වෙනත් පුද්ගලයන් කෙරේ අපහාස කිරීමක් නොවේ. අවුරුදු කිහිපයකට පෙර අපේ ජීවිත අදට වඩා ගොඩක් වෙනස්. මමත් දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වුණත් ඒ දවස්වල අපොස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වූ පාසල් ශිෂ්‍යයෙක්. ඒ වෙනුවෙන් පොරොන්දු වූ භාරයක් ඔප්පු කිරීමටත්, පාසල් විවේක කාලය අප මිත්‍රාදීන් සමග ගෙවා දැමීමටත් අපි කතරගම යාමට චාරිකාවක් සංවිධානය කර ගත්තෙමු. පැය ගණනාවක දීර්ඝ ගමනක් ඒ සඳහා ගත කළ බව මට මතකය.

අවුරුදු ගණනාවකට කලින් ගිය ගමනක් නිසා අපි කතරගමට ළඟා වූයේ උදයක ද රැයක ද කියා කොපමණ මතක් කළත් මතක් නොවේ. නමුත් අපගේ පළමු රාත්‍රිය අපි නවාතැන් ගැනීමට වෙන් කරවා  ගත් ස්ථානයේ ගත කළ බව සැබෑය. කතරගම පුද භූමියේ ඇවිදීම පසුවදා උදෑසනට යෙදී තිබුනත් මගේ සාමාන්‍ය පෙළ සමත් වීමට භාර වී තිබූ පූජා වට්ටිය එම රාත්‍රියේ දිය යුතු විය. ඒ සඳහා කුමක් දෝ හේතුවක් තිබුණ නමුත් මට දැන් එය මතක් කර ගත නොහැකිය. එදා රාත්‍රියේ මාගේ දෙමාපියන් සමග සීත පොළොවේ පා තබමින් අදාළ දෙවියන්ගේ කුටිය වෙත ගියෙමි. සැබෑවට ම මාගේ සිත දේව භක්තියෙන් පිරී පැවතියේ ය. එම ගමනේ වෙන කිසිම ස්ථානයක දී මා මාගේ පූජා වට්ටිය දෑත දරා පෝලිමේ සිට ගෙන සිටිය දී දැනුණ භක්තිය නැවත දැනුණේ නැත. හඳුන්කූරු සුගන්ධය, විසිරි තිබූ මල් පෙති හා ගාන්ඨාර නාදය මා භක්තියෙන් මුසපත් කළේ ය. පූජා වට්ටිය දෙවියන්ට බාර දී දෙවියන් අසල රැඳී සිටීමට බොහෝ වේලා ලැබුණේ නැත. පූජා වට්ටියට කුමක් සිදු වූයේ ද සිතීමට ද මට තත්පර කිහිපයක් ගත විය. එම පෝලිමෙන් මෑත් වීමෙන් පසු කාවඩි නටන දර්ශනයක් මා පුද දුන් දෙවියන්ගේ කුටිය ඉදිරිපිට පැමිණි මා හට දක්නට ලැබුණි. මට සිතුණේ ඒ මා වෙනුවෙන් නටන්නක් ලෙසිනි. මා ඒ අදහස සනාථ කර ගත්තේ නර්තනය ද  ස්වල්ප වේලාවකින් අවසන් වී නැටුම් කණ්ඩායම විසිර ගිය බැවිනි. සත්‍ය වශයෙන් ම සිදු වූයේ දෙවියන්ගේ පූජාව වෙනුවෙන් නර්තනය පැවැත් වීමයි.

එදා රාත්‍රිය අප පූජා භූමියෙන් පිටවෙන විට මැදි වයසේ කාන්තාවෝ නොයෙක් චාටු බස් කියමින් අප වටා සැරිසරන්නට විය. එක් කාන්තාවක් අක්කේ ඔයාට බුලත් විට කන්න බුලත් ඕන නේදැ’යි ඔවුන්ගේ සමූහයේ අයකුට පවසා අපගේ හිස් වූ පූජා වට්ටිවල රැඳී තිබූ බුලත් කොළ මංකොල්ල කන්නට පටන් ගත්තා ය. එම පිරිසේ තවත් අයෙක් අපගේ මිතුරෙක් සතුව තිබූ පලතුරු වට්ටියේ තිබූ පලතුරු සියල්ල පාහේ බෑගයකට දමා ගත්තා ය. අප කතරගම පැමිණි පළමු දිනයේ මං කොල්ලකෑමට ලක් වූයේ එලෙසිනි.

දෙවන දිනයේ උදෑසන අප කතරගම පුද භූමියේ කිරි වෙහෙර වෙත ගියෙමු. අනෙක් සෑම පුදබිමක ම වාගේ ගිනි ගණන් නෙළුම් මල්, පහන්, හඳුන්කූරු රැගෙන අප කිරි වෙහෙර වන්දනා කළෙමු. නැවත හැරී යන විට අලියෙක් සිනාසී සිටියේ ය. “මා එක්ක එයා හිනා උනා” යැයි මාගේ දෙමව්පියන් සමග පැවසීමට ගොස් ගමන අවසන් වන තෙක් ම මා අප පිරිසේ විහිළුවට ලක් වුණෙමි. සැබවින්ම සතුටින් සිටි අලියා මා සමග සිනාසී ය. මා ඔහුගේ හොඬ ඇල්ලීමට අත දික් කළත් හිත ඇතුළේ තිබුණු බයක් මා අත පසුපසට කළේ ය. අපල දුරු කරවා ගැනීමට ඌගෙ බඩ යටින් යෑමට සැලකිය යුතු මුදලක් ගෙවිය යුතු විය. අලියා සමග ඡායාරූප ගැනීමට ද එලෙසම ය.

ඉන් පසු අප සෙල්ල කතරගම ගියෙමු. ඒ සඳහා පා ගමනින් යෑමට තිබූ ගමන් මග අගය කිරීමට මා කැමතියි. අපිව මංකොල්ල නොකෑ එක ම ගමන් මග එය විය හැක. විසිතුරු මාල වලලු, යන්ත්‍ර, නූල් ආදිය ඒ මාර්ගය තවත් අලංකාර කළේ ය. මා දෙමව්පියන් සමඟ සරුවත් පානයට ගිය කඩේ කාන්තාවගේ උත්සාහවන්ත බවත්, අවංක භාවයක්, දිළිඳු භාවයත් මා පැසසීමට කැමතියි. සාපේක්ෂව කුඩා පූජා භූමියක් වූ සෙල්ල කතරගම දේවාලය අතර දස පහළොස් වතාවක් ඇවිද යාමට මට වේලාව ලැබුණි. අපි ඒ අසලින් ගලා ගිය ගඟේ සිටි මාළුවන්ට ආහාර වශයෙන් දමා පින් අනුමෝදනා වීමට පොරි මල්ලක් මිලට ගෙන, මාළුවන් නොමැති ගඟට දමා පින්  බලාපොරොත්තු වූ හැටි සැබවින්ම මා සිනහ ගැන්වූ කරුණක් විය.

තව නොයෙක් ස්ථාන අප මේ ගමනේ දී වැඳ පුදා ගත් අතර ඒ අතරින් මා අවසන් වශයෙන් ලක්ෂ්මි දේවාලය සඳහන් කිරීමට කැමැත්තෙමි. එහි සෙරෙප්පු ගලවා යාමට සහ නැවත පැමිණීමට ගොස් ලොකු අකරතැබ්බයක් වූ සේයාවක් මට මතක් වේ. මෙම දේවාලය පෙර තිබුණේ කෙසේ දැයි මම නො දනිමි. කිමද මා එහි ගිය පළමු වතාව එය වූ බැවිනි. අප ඇවිද යාමට පෙර කාන්තාවක් කලයකින් ස්නානය කරන ප්‍රතිමාවක් විය. කතරගම පූජා භූමිය පුරාම මා දුටු සුන්දරතම ප්‍රතිමාව එයයි. ඒ දෙවියන් ව  විශේෂඥ ප්‍රතිමා නිර්මාණ කරුවන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. බොහෝ විට තොගයට සිමෙන්ති නිර්මාණ කරන කඩයකින් මිල දී  ගත්තක් විය හැකියි. කලයෙන් වෑස්සෙන ජලයෙන් නැහැවෙන ඒ ස්ත්‍රී රුව තරම් ලස්සන ප්‍රතිමාවක් මාගේ කලාකාමී දෙනෙතට කතරගම පුරාවටම හමු වූයේ නැත.

ලක්ෂ්මී දේවාලය විශාල ය. අලංකාර ය. දේවාල රාශියක ඇවිද ගිය අපට අවසානයේ වැටහුණේ සියලු කපුවන් ආධාර ඉල්ලීම කටපාඩම් කර ඇති බවයි. අවසාන දේවාලයේ සිටි කපු මහතා අප සමග බොහෝ කුලුපග වූයේ ය. අප ගම් පළාතේ විස්තර පවා කතා කළේ ය. අවසානයේ ඔහු ද කට පාඩම් කළ ආධාර ඉල්ලීම සිදු කළෙන් අපේ යයි සිතා සිටි ඒ මිනිසාද මා අතැර දැමුවෙමි. අන් කපුවන් හා සැසදීමේදී ඔහුට හොඳ මිත්‍රශීලී  කථිකත්වයක් තිබූ බව නම් පැහැදිලි ය.

තවත් තැනක දරුඵල වෙනුවෙන් භාර හාර විය හැක. එහි දී දරුවකු අපේක්ෂාවෙන් භාර වී දරුවකු ලැබුණු පසු ඒ භාරය ඔප්පු කිරීමට පැමිණි යුවළක් අමතා කපු මහතා කතා කළේ හරියට ඔහු නිසා මේ දරුවා ඉපදුණා වැනි විලාසයකිනි. ඔහු දරුවන් අපේක්ෂාවේ පැමිණි යුවල් සඳහා ද ආශීර්වාද කළ අයුරු මා සිත් නොගත්තේය. මොවුන් දේව භක්තියේ නාමයෙන් අප මංකොල්ල කනවා යන්න තවත් මගේ සිතේ සටහන් වුණි.

මේ අපට සිදු වූ මං කොල්ලකෑම්වලින් කිහිපයක් ය. ඉතිරිය ලියන්නට පිටුවේ ඉඩ මදිය. අනෙක් හරිය මට මතක නැත. කතරගම අති ගෞරවාන්විත හාස්කම් ඇති පුදබිමකි. ඒ ඇසුරෙන් කතරගම ප්‍රදේශයේ සංස්කෘතිය හැඩ ගැසී ඇත. රැකියා මාර්ග බොහොමයක් ද සැලසී ඇත. නමුත් වරද ඇත්තේ මං කොල්ලකෑමේ ය. එය වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකි. සමහර විටෙක මා වැරදි නැකතකින් කතරගම ගමන ගොස් ඇත.

ඉතින් ඊළඟ වතාවේ මේ ආශ්චර්යවත් පුද බිමට මා වාසනාවන්ත නැකතකින් පිටත් වී යතැයි අපේක්ෂා කරමි.

 

Written By:

 

 

 

 

Anonymous

Design By: –

 

 

 

 

Rtr. Pasan Jithnuka
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top