නිදහස……

 

ගිල්: කොහොමද විභාගෙ?

ඈන්: අයියෝ ඒක නම් මහ විකාර පේපර් එකක්. බොරු වත් ලියාගන්න තේරෙන්නෑ. රිපීට් වෙයිද දන්නෑ.

ගිල්: නෑ නෑ පාස් වෙයි. අනික දැන් මේ ලියපු පේපර් එක ගැන හිතන්න එපා.

ඈන්: පේපර් එක කොච්චර අමාරු වුණත් අඩුමගානෙ අදින් විභාගෙ ඉවරයිනෙ කියල හිත හදාගන්නවා. ඇත්තමයි දැන් නම් පුදුම සැනසීමක් දැනෙන්නෙ.

ගිල්: ආහ් ඒක නම් මට තේරෙනවා. ඔයාට පුලුවන් නම් දැන් මෙතන උඩ පැනල කෑ ගහයි.

ඈන්: විශිෂ්ඨයි වොට්සන්. ඔබේ නිගමනයන්ට එළඹීමේ හැකියාව සැබැවින්ම දියුණු වෙලා.

ගිල්: ඔයා දැන් හිතන් ඉන්නෙ ඔයා ශර්ලොක් හෝම්ස් කියලද?

ඈන්: ආ මේ මටත් හොඳ නිරීක්ෂණ හැකියාවක් තියෙනවා හරිද?ගිල්: ඒක ගැන නම් මොකට කියනවද? ඔයා පොත් වලට මූණ ඔබාගෙන මනෝ පාර ගහගෙන ඉද්දි තමයි බලන්න ඕනෙ නිරීක්ෂණ හැකියාව.

ඈන්: ආ එහෙමද හිතන්නෙ? මං මනෝ පාරවල් ගැහුවට අවට වෙන දේවල් හොඳට දකිනව.

ගිල්: හරි හරි මැඩම්, කූල් ඩවුන්.

ඈන්: එහෙනම් අයිස් ක්‍රීම් අරන් දෙන්න.

ගිල්: මොකක්ද?

ඈන්: ඇයි ගිල් ඔයානෙ දැන් කීවෙ කූල් ඩවුන් වෙන්න කියල.

ගිල්: ඔයාට නම් කියන්න මොකක්ම හරි තියෙනව නේද? යමු.

ඈන්: කොහෙද?

ගිල්: අයිස්ක්‍රීම් කන්න.

ඈන්: නිදහස් වතුරස්‍රෙ පැත්තට යමු?

ගිල්: නිදහස සමරන්නද?

ඈන්: ඔව් ඉතින් සෙමෙස්ටර් එකේ අවසාන දිනය කියන්නෙ අපේ නිදහස් දිනය වගේ තමා.

ගිල්: මැඩම් කියන දෙයක් තමා……

ඈන්: ඒත් මට දුකයි ගිල්. දැන් ඉතින් සෑහෙන දවසකට ඔයාව දකින්න වෙන්නෙ නෑනේ. කැම්පස් එක දකින්න වෙන්නෙත් නෑ.

ගිල්: කොහොමත් මේ පාරවල් දිගේ මෙහෙම ඇවිදින්න ලැබෙන්නෙ තව කොච්චර පොඩි කාලයක්ද? නොදැනීම අවුරුදු දෙකක් ගිහින්. ඉතිරි ටික කාලෙත් මේ විදිහටම ගෙවිල යයි.

ඈන්: මේ හැමදේම හරි ඉක්මණට වෙනස් වෙනව නේද? කාලය ගොඩක් වේගෙන් ගතවෙනවා. බලන්නකො ගිල්, අර මල් වැල් වල පිපෙන මල්. ඊයෙ උදේ පිපුණු මල් හවස පරවෙලා. අද අලුත්ම මල් පිපිලා. එක මලක් ජීවිතේටම දකින්න වෙන්නෙ එක පාරයි.ගිල්: ඒක හරියට ජීවිතේ එක පාරක් විතරක් මුණගැහෙන මිනිස්සු වගේ. එක මොහොතකට එහෙම නැත්නම් එක පරිච්ඡේදයක් වෙනුවෙන් මොකක්ම හරි හේතුවකට මුණගැහෙන මිනිස්සු.

ඈන්: සමහරවිට අපි පහුකරපු තැන් වගේ. හිතේ කොටස කොටස තියල ආපු තැන් වගේ.

ගිල්: අපි ජීවිතේ අවසානය වෙනකන්ම එහෙම තැන් එහෙම මිනිස්සු පහුකරනවා ඈන්. අපි ඉස්කෝලේ පහුකලා. මීට කාලෙකට කලින් ජීවිතේ ඉඳපු සමහර මිනිස්සු දැන් පහුවෙලා. දවසක මේ කැම්පස් එක පහුවෙයි. දවසගානෙ හම්බෙන මේ සමහර යාළුවො ආයෙ කවදාවත් හම්බෙන එකකුත් නෑ.

ඈන්: එහෙම බැලුවහම මේ ගෙවෙන තත්පරේ කොච්චර වැදගත්ද කියල තේරෙනව ගිල්. අද කියන දවස කොච්චර වටිනවද?

ගිල්: අද දවසේ සතුට හොයාගන්න එක, මේ මොහොතෙ අපි ඇතිකරගෙන තියෙන හැම මානව සම්බන්ධතාවකටම අවංක වෙන එක, හරිම කෙටි කාලීන හමුවීම්වලට පවා වටිනාකමක් දෙන එක කොච්චර වැදගත්ද?

ඈන්: ඒක ඇත්ත…….. නිදහස…………. ඔයාට හිතෙන්නෙ නැද්ද ගිල් ආදරේ කියන්නෙ නිදහසට කියල.

ගිල්: නිදහස කියන දේ එක එක විදිහට නිර්වචනය වෙනවනෙ ඈන්. මං හිතන්නෙ නිදහස කියන දේට හැමෝටම තියෙන්නෙ තමන්ටම ආවේණික වුණු නිර්වචනයන්. මගේ හැඳින්වීමේ හැටියට නම් අනෙකාගේ නිදහසට ගරු කිරීම කියන තැන ආදරේ තියනවා. අපි අපේ ආදරේ අන්න එතනින් පටන් ගත්තොත් ආදරේ කියන්නෙ නිදහස්, සාමකාමී හැඟීමක් කියල අපට කියන්න පුලුවන්.

ඈන්: ඒත් මිනිස්සු ඇත්තටම එච්චර නිදහස් ආදරයක් අත්විඳිනවද? සමහරුන්ට ආදරේ නිසා තමන්ගෙ අභ්‍යන්තරයේ ඉන්න නිදහස් මනුස්සයව මරන්න සිද්ධවෙලා. සමහරුන්ට තවදුරටත් තමන්ම විදිහට ජීවත් වෙන්න බැරි වෙලා. අනෙකාගේ නිදහසට ගරු නොකරන තැනක ආදරයක් පවතින්නෙ කොහොමද ගිල්.

ගිල්: ආදරේදි විතරක් නෙවේ. මේ සමාජෙ බොහොමයක් තැන් එහෙමයි. අපි අනෙක් මිනිහව තේරුම් ගන්න උත්සාහ කරන්නෙ හරිම අඩුවෙන්. අපිට අපේ නිදහස වටිනවා වගේම අනෙක් කෙනාටත් ඒ කෙනාගෙ නිදහස වටිනව කියල අපිට හිතන්න පුලුවන් වුණානම්?

ඈන්: මිනිස්සුන්ගෙ ඇතුලෙ ජීවත් වෙනවා එක්තරා නිදහස් මනුස්සයෙක්. අපි ගන්න තීරණ, අපි දේවල් දිහා බලන විදිහ අපිටම ආවේණිකයි. ඒව අපේමයි. අපි කරන කියන දේවල්වලට හේතු තියනවා. අපි කන බොන අඳින පලඳින විදිහෙ පටන් මේ හැම දේකදිම අපිට අපේම කියල විදියක් තියෙනවා. අපේම නිදහසක් තියනවා. මට හැමදාම ඕනෙ වුණේ ඒ නිදහසට ගරු කරන මනුස්සයෙක්.

ගිල්: ඔයාට මම එහෙමයි කියල දැනෙනවද ඈන්?

ඈන්: ගිල් ඔයා කියන්නෙ හැමදේම ගැනම තමන්ටම කියල අදහසක් තියෙන මනුස්සයෙක්. ඔයා මේ ලෝකෙ දිහා, මේ මිනිස්සු දිහා, ආදරේ දිහා බලන විදිහ…… ඒ ටිකම මට ඇති ගිල්. සමහර වෙලාවල්වලදි අපි දෙන්න දේවල් දිහා බලන විදිහ වෙනස් වෙනවා. අපි ඒව ගැන කතා කරනවා. සමහර වෙලාවට පොඩ්ඩක් වාදත් කරගන්නවනෙ. ඒත් අපි කවදාවත් එක්කෙනෙක්ගෙ මතය පිළිගන්න කියල අනික් කෙනාට බලකරල නෑ. අපි කැමති අකමැති දේවල් එකිනෙකට වෙනස් කියල අපි පිළිඅරන්.ගිල්: මිනිස්සු ආදරේ කරන්න පටන් ගන්නෙ ඒ බව දැනගෙන නේද ඈන්. අපි වෙනත් ජිවිතයක් සම්පූර්ණයෙන්ම අපේම කරගනිද්දි ඒ කෙනා වෙනස් නිදහස් ජීවිතයක් කියන එක පිළිගන්න ඕනෙ. මං ඔයාට ආදරේ කරන්නෙ ඒ බව පිළිඅරන්. අපි දෙන්නගෙ අදහස් බොහෝ තැන්වලදි සමානයි. ඒත් එහෙම නොවෙන තැන්වලදිත් ඔයාට ඔයාටම ආවේණික තර්ක තිබුණා. මං ආදරේ කරන්නෙ ඒ සම්පූර්ණ ඔයාට. අපි එකඟ වෙන, නොවෙන තැන් හැම එකක්ම අපේම ජීවිතේ කොටස්.

ඈන්: ජීවිතේ ගොඩාක් අමාරු තැන් අපි පහු කරද්දි ජීවිතේ පහසු කරන ආදරයක්, සමහර වෙලාවට තමන් හිටියටත් වඩා තමන්ගෙ හොඳම වර්ෂන් එක වෙන්න මගපෙන්වන ආදරයක් මනුස්සයෙක්ට මුණගැහෙන්න පුලුවන්. පිටත ලෝකෙට අපි කොච්චර ශක්තිමත් මනුස්සයෙක් විදිහට පෙනුනත් දුකක් දැනුනහම බදාගෙන කෑ ගහල අඬන්න පුලුවන් උණුහුමක්, මුළු ලෝකෙම අපිව අවිශ්වාස කරන තැන්වලදිත් අපිව විශ්වාස කරන, අපි පරාදවෙද්දි අතින් අල්ලගෙන “කමක් නෑ අපි ආයෙම උත්සාහ කරමු” කියන ආදරයක්……. ගිල්, මට මුණගැහිල තියෙන්නෙ අන්න එහෙම ආදරයක්.

ගිල්: මේ ජීවිතේ තව පහු කරන්න තැන් ගොඩයි ඈන්. අපිට ජීවිතේ ගැන, ආදරේ ගැන තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. ආදරේ කියන්නෙත් ඉගෙනීමක්…………………………

Written By:

 

 

 

 

Rtr. Nirushika Sandeepani
(Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments