ලෝක ගුවන්විදුලි දිනය

අතීතයේ සිට වර්තමානය දක්වාම සන්නිවේදන ක්ෂේත්‍රය සදහා ගුවන්විදුලිය මගින්  ඉටු කරනු ලබන  සුවිශේෂී කාර්යභාරය අගයනු වස් යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක ගුවන්විදුලි දිනය නමින් දිනයක් නම් කරන ලදී.මෙම දිනය සෑම වසරකම පෙබරවාරි 13 වන දිනට යෙදී තිබේ.

2010 සැප්තැම්බර් මස 20 වන දින ස්පාඤ්ඤ රේඩියෝ ඇකඩමිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ස්පාඤ්ඤය විසින් යුනෙස්කෝ ක්‍රියාකාරී මණ්ඩලයට “ලෝක ගුවන්විදුලි දිනය” ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ කරුණක් ඇතුළත් කිරීමට යෝජනා කරන ලද අතර යුනෙස්කෝ ක්‍රියාකාරී මණ්ඩලය එම යෝජනාව 2011 සැප්තැම්බර්  මස 29 වන දින තාවකාලික න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලදී.

මීට අමතරව, අරාබි රාජ්‍ය විකාශන සංගමය , ආසියා-පැසිෆික් විකාශන සංගමය , අප්‍රිකානු විකාශන සංගමය, කැරිබියානු විකාශන සංගමය, යුරෝපීය විකාශන සංගමය, ජාත්‍යන්තර විකාශන සංගමය, උතුරු ඇමරිකානු විකාශන සංගමය, විකාශන උපකරණ සංවිධානය වැනි ආයතන රැසක සහයද මෙම යෝජනාවට ලැබුණි. එම සියලු සහයෝගිතාවන් මත මෙම යෝජනාව අනුමත කරන ලදී.

 1946 දී එක්සත් ජාතීන්ගේ ගුවන්විදුලි සේවය ස්ථාපිත කරන  ලද දිනය නිමිති කොට ගෙන පෙබරවාරි 13 වන දිනය නිල දිනය ලෙස යෝජනා කරන ලදී. යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස ක්‍රියාකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව යුනෙස්කෝ සමුළුව විසින් මෙම කරුණ සාකච්ඡා කර, 2011 නොවැම්බර් මස පැවති 36 වැනි සමුළුවේදී සාමාජික රටවල් සියල්ලගේ එකඟතාවයෙන් “ලෝක ගුවන්විදුලි දිනය” නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

2012 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින්ද ලෝක ගුවන්විදුලි දිනය අනුමත කරන ලදී. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සියලු ආයතන, අරමුදල් සහ වැඩසටහන් විසින්ද මෙම දිනය සැමරීමට පියවර ගන්නා ලදී. එම වසරේදී යුනෙස්කෝ සංවිධානය සමඟ එක්ව ලෝක රේඩියෝ දිනය වාර්ෂිකව සංවිධානය කිරීම සඳහා ස්පාඤ්ඤ රේඩියෝ ඇකඩමිය විසින් “ලෝක ගුවන්විදුලි දින කමිටුව” නමින් කමිටුවක්ද පිහිටුවන ලදී.

මෙම වසරේ දී ගුවන්විදුලි දිනයෙහි තේමාව වනුයේ  “ගුවන්විදුලිය සහ කෘතිම බුද්ධිය” යන්නයි.

තාක්ෂණය සමඟ ඉදිරියට ඇදෙන ලෝකය තුළ,  විශ්වාසදායී ප්‍රවේශ මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශනය සහ සංස්කෘතික විවිධත්වය වර්ධනය කිරීමට මෙන්ම භාෂාව, සංගීතය සහ සම්ප්‍රදායන් රැකගැනීමට ඉටු කරනු ලබන කාර්යභාරය සලකා ගුවන්විදුලි මාධ්‍යයේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ සිතා බැලීමටත්, රේඩියෝ නිවේදකයින්, මාධ්‍යවේදීන් සහ නිෂ්පාදකයින්ගේ සේවයට ගෞරව දැක්වීමටත් මෙම දිනය මහගු අවස්ථාවකි.

Written By: –

 

 

 

 

Rtr. Kirulee Kularathne
(Junior Blog Team Member 2025-26)

Edited By: –

 

 

 

 

Rtr. Pasan Jithnuka
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top