අද වන විට රැකියා ලෝකය ඉතා තරගකාරී හා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. එම තරගකාරීත්වයට හොදින් මුහුණදීමට අධ්‍යාපන සුදුසුකම් සහ තාක්ෂණික කුසලතා (technical skills) පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අපි හොදින් දන්නවා. ඔබට පලමු පන්තියේ සාමාර්තයක් ඇති උපාධියක් තිබුනත් මිනිසුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට නොහැකි නම්, ඔබගේ උපාධියෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ නේද?
රැකියාවේදී පමනක් නොවෙයි, එදිනෙදා ජීවිතයේ කාර්යයන් පහසුවෙන් ඉටු කරගැනීමටත්, හොද පවුල් ජීවිතයක් ලගා කරගැනීමට පවා මෙම මෘදු කුසලතා අත්‍යාවශ්‍යයි. මිනිසා පරිණාමයේ සිටම කණ්ඩායම් ලෙස කටයුතු කළ නිසා අතීතයේ සිටම මෙම මෘදු කුසලතාවන් වැදගත් වී ඇති අතර, වර්තමානයේදිත්, විශේෂයෙන්ම අනාගතයේදිත් වඩා වැඩි වශයෙන් වැදගත් වනු ඇත.
මෘදු කුසලතා කියන්නේ පිරිසක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති හැකියාව පමණක් නොවෙයි. අන් අය සමග හොදින් සන්නිවේදනය කිරීම,ගැටළු විසදීම,නායකත්වය,කාල කළමනාකරණය සහ පුද්ගල ආතතිය හා චිත්තවේග කලමණාකරණය වැනි විවිධ හැකියාවන් මීට අයත් වෙනවා.
අධ්‍යනයන්ට අනුව රැකියාවේ සාර්ථකත්වය සදහා මෘදු කුසලතා 85%කින් දායක වන අතර තාක්ෂණික කුසලතා මගින් ලැබෙන්නේ 15%ක දායකත්වයක් පමණයි. මොකද, විෂය කරුණු පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි නමුත්, හොද ආකල්ප, නායකත්ව කුසලතා, වගකීමක් දැරීමට ඇති හැකියාවන්, සහ සන්නිවේදන හැකියාවන් ඇති කර ගැනීම එතරම් පහසු නොවන නිසාය.
විශ්ව විද්‍යාලය කියන්නෙ මෘදු කුසලතා වර්ධනය කර ගැනීමට තියෙන හොද අවස්ථාවක්. Group assignments, group presentations, විවිධ සමාජයන්, ක්‍රීඩා, ස්වේච්ඡා සේවාවන්, නායකත්ව භූමිකා, විවිධ වැඩසටහන් සංවිධානය කිරීම තුලින් විවිධ මෘදු කුසලතාවයන් ඉතා පහසුවෙන් අප තුල ඇති කර ගත හැකියි. එම නිසා විශ්ව විද්‍යාල ජීවිතයේ වසර 4 තුල අධ්‍යන කටයුතු වගේම විශය බාහිර ක්‍රියාකාරකම් වල නිරත වීමත් ඉතාම වැදගත්.
අනාගත රැකියා අපේක්ෂකයන් වශයෙන් හොදින් මතක තබා ගත යුතු වන්නේ, අපව අනිත් පුද්ගලයන්ගෙන් වෙන්කර හදුනාගත හැකි වන්නේ අපගේ විෂය දැනුමෙන් පමනක්ම නොවේ. අනිත් අය සමග කතා කරන ආකාරය, සවන් දෙන ආකාරය, ගැටලු විසදන ආකාරය වැනි දේවල් වලිනුයි.
වර්තමානයේ ඉතා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා, ඒ තමයි “විෂය දැනුම ඔබව සම්මුඛ පරීක්ෂණ සදහා කැදවයි, නමුත් ඔබව රැකියාව සදහා තෝරගනු ලබන්නෙත්, රැකියාව තුල ඔබව ඉදිරියට රැගෙන යන්නේත් මෘදු කුසලතාවයන්” බව.
Written By: –

Rtr. Oshadhi Ekanayake
(Senior Blog Team Member 2026-27)

