ශ්‍රී ලාංකීය ජාතික අභිමානය සහ ඉතිහාසය

 

ශ්‍රී ලාංකාව යනු වසර 2500කට ඉපැරණි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් රාජ්‍යයකි.මෙම ඉතිහාසය විජය රජුගේ පැමිණීම සහ පසුව අනුරාධපුරය හා පොළොන්නරුව වැනි රාජධානිවල ස්වර්ණමය යුගයන් හරහා ගොඩනැගුණු බව මහාවංශය කියයි.ජාතියක් ලෙස ශ්‍රී ලාංකීය නාමය හඩ නගා ලෝකයක් ඉදිරියේ කියා පෑමට අද අපට හැකියාව ලැබී තිබෙන්නේ ඒ අතීත ශ්‍රී ලාංකීය මානවයන් විසින් ගොඩනැගූ විශිෂ්ඨ නිර්මාණයන් නිසාය. නමුදු එය හුදෙක් ජාතික කොඩිය ඉහළ දැමීම, ජාතික ගීය ගායනා කිරීම හෝ ජාතික උත්සව සමරීම පමණක් නොවේ. සැබෑ ජාතික ගෞරවය යනු අපේ මූලාරම්භය, අපේ උරුමය සහ අපේ ඉතිහාසය අවබෝධ කරගෙන, ඒවා ආරක්ෂා කරමින් අනාගතය ගොඩනැගීමයි. ජාතියක් ලෙස අප කවුරුන්ද යන්න තේරුම් ගැනීමට අපට උපකාර කරන්නේ අපේ ඉතිහාසයයි.

අනුරාධපුරය (ක්‍රි.පූ. 3 වන සියවසේ සිට) සහ පොළොන්නරුව (13 වන සියවස දක්වා) යුගයන් ලාංකේය ඉතිහාසයේ ස්වර්ණමය යුග ලෙස සැලකේ. මෙම රාජධානින් පිළිබදව සිහිපත් කිරීමේදි අප මතකයට පළමුවම නැගෙන්නේ ශ්‍රී ලාංකීය ඉංජිනේරුමය හැකියාවන්හි විශිෂ්ටත්වය ලොවටම විදහා පාන,මහා මුහුද පරයා යන යෝධ වැව් සහ අහස් කුස සිසාරා ඉදිකර ඇති දාගැබ් පෙළයි. වසර දහස් ගණනක් පුරා විවිධ රාජධානීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික අගයන් සමඟ වර්ධනය වී ඇත.අනුරාධපුර රාජධානි යුගය අපේ රටේ දියුණු වාස්තු විද්‍යාත්මක නිර්මාණ, විශාල ජලාශ සහ ආගමික සම්ප්‍රදායන් පැවති බවට සාක්ෂියක් වේ.

එසේම පොළොන්නරුව රාජධානියද අපේ ඉතිහාසයේ තවත් විශිෂ්ට පරිච්ඡේදයකි. එහි පිහිටි කලා නිර්මාණ, විහාරස්ථාන සහ රජමැදුරු අපේ පූර්වජයන්ගේ කුසලතා පෙන්වයි. සීගිරිය ලෝකයටම අභියෝග කරන තවත් එක් ඉංජිනේරු හා කලාත්මක නිර්මාණයකි. වර්තමානය මෙන් තාක්ෂණය අතින් දියුණු නොවූ යුගයක මෙවන් විශිෂ්ඨ නිර්මාණ‍යන් ඉදි කිරීම, අතීත මානවයන් තුළ තිබූ තාක්ෂණය, නිර්මාණශීලීත්වය පෙන්නුම් කරයි.

ජාතික අභිමානය වර්ධනය වීමට ඉතිහාසයේ වීරයන්ගේ කතා මහත් බලපෑමක් කරයි. දුටුගැමුණු වැනි රජවරු රටේ එක්සත්භාවය හා ස්වෛරීභාවය සඳහා සටන් කළහ. ඔවුන්ගේ කැපවීම සහ වීර්යය අපට උගන්වන්නේ රට වෙනුවෙන් කැපවීමේ වටිනාකමයි. ඒවා හුදෙක් කතා නොව, නායකත්වය, ධෛර්යය සහ වගකීම පිළිබඳ පාඩම් වේ.

අපේ ඉතිහාසය තුළ ජාතික අභිමානය සම්පූර්ණ වන්නේ විවිධ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායන් සමඟය. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් එකට ජීවත් වන සමාජයක් ලෙස ශ්‍රී ලාංකාව විශේෂ ස්ථානයක් ගනී. මෙම විවිධත්වය අපේ දුර්වලතාවයක් නොව, ශක්තියකි. ඉතිහාසය අපට උගන්වන්නේ ජයග්‍රහණ පමණක් නොව, අභියෝග සහ දුෂ්කර කාලයන් ද වේ. විදේශීය ආක්‍රමණ, යුද්ධ, ස්වභාවික විපත් සහ සමාජ ගැටලු රැසකට මුහුණ දී ඇත.

වසර ගණනාවක් පුරා විදේශ ජාතින්ගේ යටත් විජිතයක් වූ ශ්‍රී ලාංකාව 1948 පෙබරවාරි 4 වන දින පූර්ණ නිදහස ලබා ගත් අතර, 1815 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව මෙහෙයවූ නිදහස් සටන ජාතික අභිමානයේ හැරවුම් ලක්ෂ්‍යයන් වේ. ඒ වෙනුවෙන් තම ජීවිතය පුද කළ ජාතික විරුවන් හට අපගේ ගෞරවාදරය පුද කිරීම අප මෙහෙදී අනිවාර්‍යයෙන්ම සිහිපත් කළ යුතුය.
1950 මාර්තු 3 ශ්‍රී ලාංකීය ජාතික කොඩිය නිර්මාණය කරන ලද අතර, එහිකඩුවක් අතින් ගත් සිංහයාගෙන් සිංහල ජාතියේ ප්‍රෞඪත්වය සහ අභිමානය නිරූපණය වන අතර, සතර බෝ පත් මගින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන් සංකේතවත් කරයි.

වසර 30ක් පුරා පැවති යුද්ධය 2009 මැයි 18 දින අවසන් කිරීම දේශයේ ස්වෛරීභාවය සුරැකීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. එය දශක ගණනාවක් පුරා ලාංකීයයන් තුළ පැවති භීතිය තුරන් කරමින්, අහිමිවීම් අතර ජීවිත ගත කළ ජනතාවට නව ආරම්භයක් ලබාදුන් මොහොතකි.යුද්ධය අවසන් වීමත් සමඟ රට පුරා සාමය ස්ථාපිත වීම, සංවර්ධන කටයුතු නැවත ක්‍රියාත්මක වීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ විය. එම අත්දැකීම් අපට මතක් කරවන්නේ එකමුතුව සහ සමාජ එකඟතාවය නොමැතිව ජාතියක් ඉදිරියට යා නොහැකි බවයි.

මෙවන් විශිෂ්ට වූ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් රාජ්‍යයක උපත ලද ශ්‍රී ලාංකිකයන් වන අප සෑම දෙනාගේම යුතුකම සහ වගකීම වනු‍යේ ඉදිරියටත් මෙම උරුමයන් රැක ගනිමින්, අතීතය තුළින් උගත් පාඩම් ඇසුරින් අනාගත පරපුරට වඩා හොඳ රටක් ගොඩනැගීමයි. ජාතියක් ලෙස එකමුතුව, සාමය සහ සහයෝගය මත පදනම්ව ඉදිරියට යාම අපගේ සැබෑ අභිමානය වේ. අපේ ඉතිහාසය අපට ආලෝකයක් නම්, ජාතික ගෞරවය එම ආලෝකයෙන් අපේ අනාගතය දීප්තිමත් කරන ආලෝකයයි.

 

Written By: –

 

 

 

 

Rtr. Dinadi Harithma
(Junior Blog Team Member 2025-26)

Edited By: –

 

 

 

 

Rtr. Pasan Jithnuka
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top