සමාජ මාධ්‍ය කිසිදා බිහි නොවුණා නම්?

විසි එක්වන සියවසේ මානව සමාජය මුහුණ දුන් වඩාත්ම ප්‍රබල සන්නිවේදන විප්ලවයන්ගෙන් එකක් ලෙස සමාජ මාධ්‍ය හැදින්විය හැකිය. එය හුදෙක් තොරතුරු හුවමාරු කිරීමේ වේදිකාවක් පමණක් නොව, පුද්ගල සම්බන්ධතා, දැනුම ගොඩනැගීම, ආර්ථික ක්‍රියාකාරකම්, දේශපාලන සංවාද සහ අධ්‍යාපනික ක්‍රියාවලිය දක්වා විහිදෙන සමාජ පරිවර්තනයකට මූලික වු ප්‍රධානතම සාධකයකි. ක‌ෙසේ වෙතත්, මෙවැනි ප්‍රබල බලපෑමක් ඇති සමාජ මාධ්‍ය කිසිදා බිහි නොවූ ලෝකයක් පිළිබද සිතන විට, වර්තමාන සමාජයේ සමාජ මාධ්‍ය මත පදනම් වූ ශක්තීන් මෙන්ම දුර්වලතාද නැවත ඇගයීමට අපට අවස්ථාව සලසා දේ.

සමාජ මාධ්‍ය නොමැති ලෝකයක මිනිස් සබදතා වඩාත් සජීවි හා සත්‍යවාදී ස්වභාවයක් ගනු ඇතැයි සිතිය හැකිය. වර්තමානයේ “Like” සහ “Comment” මත මනින සබදතා වෙනුවට, මුහුණට මුහුණ හමුවී සතුට බෙදාගන්නා, සංවාදයක නිරත වන සහ අන‌්‍යෝන්‍ය අවබ‌ෝධය ග‌ොඩනගා ගන්නා සමාජයක් බිහි වීමට ඉඩ තිබුණි.

නමුදු වර්තමානයේ ලෝකයේ ඕනෑම කොනක සිදුවන සිදුවීමක් තත්පර කිහිපයක් තුළ ග‌ෝලීය අවධානයට ලක් වන අතර, සමාජ මාධ්‍ය නොතිබුණා නම් එවැනි තොරතුරු සන්නිවේදනය සැලකිය යුතු ලෙස මන්දගාමී වන්නට තිබුණි. දැනුම, නවෝත්පාදන සහ සමාජීය ව්‍යාපාර ජනතාව අතර ව්‍යාප්ත වීමද සීමා වීමට ඉඩ තිබුණි.

ම‌ෙම තත්ත්වය වඩාත් ගැඹුරින් බලපාන්න‌ේ අධ්‍යාපන ක්ෂ‌ේත්‍රයටය. වර්තමාන අධ්‍යාපනික පරිසරය තුළ සමාජ මාධ්‍ය,  ඉගෙනුම් ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය සහයකයෙකු බවට පත් වී ඇත. නිදසුනක් ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යය‌ෙකු හ‌ට දේශන සටහන්, විද්වත් සාකච්ඡා,අධ්‍යාපනික වීඩියෝ සහ විවිධ ඉගෙනුම් සම්පත් වෙත ප්‍රවේශ වීම අද ඉතා පහසුය. දේශසීමා ඉක්මවා ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල දේශන පවා නිවසේ සිටම නැරඹීමේ අවස්ථාව සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා මඟින් නිර්මාණය කර ඇත.

කෙසේ වෙතත්, මෙම පහසුව සමඟ ගැටලුද සමාන්තරව වර්ධනය වී තිබේ. දැනුම ලබාදෙන එකම උපකරණය, අවධානය බිඳ දමන ප්‍රබලතම සාධකය බවටද පත්ව ඇත. දේශනයක් අතරතුර නිරන්තර දැනුම්දීම්(Notifications) පරීක්ෂා කිරීම, කෙටි වීඩියෝ සංස්කෘතියට ඇබ්බැහි වීම සහ ගැඹුරු කියවීමේ පුරුද්ද ක්‍රමයෙන් දුර්වල වීම වැනි තත්ත්වයන්, ශිෂ්‍යයන්ගේ සංජානන හැකියාවන්ට සෘණාත්මක බලපෑම් එල්ල කරන බව පෙනී යයි. ඉගෙනීමේ ක්‍රියාවලිය බොහෝ විට දැනුම අවබෝධ කර ගැනීමකට වඩා, තොරතුරු වේගයෙන් පරිභෝජනය කිරීමේ ක්‍රියාවලියක් බවට පත්වීමද සැලකිල්ලට ගත යුතු කරුණකි.

සමාජ මාධ්‍ය නොතිබූ ලෝකයක, ශිෂ්‍යයාගේ ප්‍රධානතම ඉගෙනුම් සහකරු වන්නේ පුස්තකාලය, ගුරුවරයා සහ මුද්‍රිත ග්‍රන්ථ විය හැකිය. අවශ්‍ය තොරතුරක් සොයා ගැනීම සඳහා විවිධ මූලාශ්‍ර පිරික්සීම, විවේචනාත්මකව විශ්ලේෂණය කිරීම සහ ස්වාධීන නිගමනවලට එළඹීම අධ්‍යාපනයේ අනිවාර්ය අංග බවට පත්වනු ඇත. එවැනි පරිසරයක් තුළ ගැඹුරු කියවීම, ඉවසීම සහ පර්යේෂණාත්මක චින්තනය වර්ධනය වීමේ ඉඩකඩ වැඩිය.

එසේ වුවද, සමාජ මාධ්‍ය නොමැතිව නූතන අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම සාර්ථක විය හැකිද යන්න විවාදාත්මක කරුණකි. COVID-19 වසංගත සමයේ ලොව පුරා අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඩිජිටල් සන්නිවේදන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය මූලික දායකත්වයක් ලබාදුනි. එවැනි පසුබිමක සමාජ මාධ්‍ය නොතිබුණා නම්, මිලියන සංඛ්‍යාත සිසුන්ගේ ඉගෙනුම් අවස්ථා සැලකිය යුතු ලෙස බාධා වීමට ඉඩ තිබුණි.

අනෙක් අතට, සමාජ මාධ්‍ය පුද්ගලයාගේ මනෝවිද්‍යාත්මක යහපැවැත්ම කෙරෙහිද සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. අන් අයගේ සාර්ථකත්වයන් සමග නිරන්තරයෙන් තම ජීව්තය සංසන්දනය කිරීම, සමාජ පිළිගැනීම සඳහා අධික උනන්දුවක් දැක්වීම සහ සමාජ මාධ්‍ය ලෝකයේ පිළිගැනීම සැබෑ ජීවිතයේ වටිනාකමට වඩා ඉහළින් තැබීම වැනි ප්‍රවණතා සමාජ මාධ්‍ය නොමැති පරිසරයක බොහෝ දුරට දුර්වල වන්නට තිබුණි. එසේ වූවා නම් පුද්ගලයාගේ ස්වයං අනන්‍යතාවය බාහිර ප්‍රතිචාරවලට වඩා, තමන්ගේම හැකියාවන් සහ අත්දැකීම් මත ගොඩනැඟෙනු ඇත.

කෙසේ නමුත්, සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම හිතකර හෝ සම්පූර්ණයෙන්ම අහිතකර සංසිද්ධියක් ලෙස අර්ථ දැක්වීම සාධාරණ නොවේ. එය මිනිසා විසින් නිර්මාණය කළ ප්‍රබල මෙවලමකි. එම මෙවලම දැනුම ව්‍යාප්ත කිරීමටද, වැරදි තොරතුරු පතුරුවා හැරීමටද, අධ්‍යාපනය ශක්තිමත් කිරීමටද, අවධානය විනාශ කිරීමටද එකසේ හැකියාව දරයි. එහි සැබෑ වටිනාකම තීරණය වන්නේ එය භාවිත කරන ආකාරය මතය.

අවසාන වශයෙන්, “සමාජ මාධ්‍ය කිසිදා බිහි නොවුණා නම්?” එවැනි ලෝකයක් වඩාත් සන්සුන්, වඩාත් සජීවී මානව සබඳතා සහ ගැඹුරු අධ්‍යාපනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට සමත් වන්නට තිබුණි. එහෙත්, අද අප භුක්ති විඳින ගෝලීය සම්බන්ධතාව, ක්ෂණික දැනුම් හුවමාරුව සහ සීමා රහිත ඉගෙනුම් අවස්ථාද එම ලෝකයට අහිමි වන්නට තිබුණි. එබැවින් අද අපට අදාළ වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ “සමාජ මාධ්‍ය මිනිස් සංවර්ධනයට සහ අධ්‍යාපනයට වඩාත් ඵලදායී ලෙස යොදාගන්නේ කෙසේද?” යන්නයි. එම ප්‍රශ්නයට ලබාදෙන පිළිතුර, අනාගත සමාජයේ සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තීරණය කරනු ඇත.

Written By: –

 

 

 

 

Rtr. Dimali Bhagya
(Senior Blog Team Member 2026-27)

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Senior Blog Team Member 2026-27)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top