එන්න, ප්‍රේමයේ භාෂාව අහන් ඉන්න……

 

ඈන්: ඇයි අද වැඩි සද්දයක් නැත්තේ?

ගිල්: මම ඔයාට හිතන්න ඉඩ දෙනවා.

ඈන්: මොකක්?

ගිල්: ඈන්, මේ වෙලේ ඔයා මෙතන හිටියට ඔයාගෙ හිත නම් මීට ගව් ගාණක් දුර ඈත තියෙන හිමෙන් වැහුණු කඳුවැටියක් පාමුල ලස්සන අයිලයක නැවතිලා ඇති. ඒ අයිලය ගාවින් යන පුංචි දිය පාරක් ළඟ තණකොළ කන අශ්වයො දිහා ඔයා බලන් ඉන්නවා ඇති. සමහරවිට මාත් ඔය පැත්තකින් ඇති.

ඈන්: හිනා ගස්සන්න එපා අනේ….

ගිල්: දැන් මට කියන්න… ඔයා ගොඩාක් කල්පනාවට වැටිල ඉන්න දවස් කියන්නෙ කොයි වගේ දවස්ද? අසයින්මන්ට් එකක ඩෙඩ්ලයින් ලන්වෙනවටත් වඩා ඔයා කලබල වෙලා ඉන්න අහස පොළොව ගැටලන්න කල්පනා කරන දවස් කියන්නෙ. ෂුවර් එකටම ඔයා ඉන්නෙ ලියන දෙයක සිහියෙන් තමා.

ඈන්: ඔයා මගෙ හිත කියවන්නෙ කොහොමද ගිල් ඔහොම. ඔව් ඉතින් මං කට ඇරියොත් කියන්නෙ ආර්ටිකල් එකක වැඩක් ගැනනේ. මම ආයෙම බ්ලොග් එකට ලියන්න පටන් ගන්න හදන්නේ. ඔයා හිතන්නෙ මේ පාර මම ලියන්නෙ මොනව ගැන කියලද?

ගිල්: ම්ම්.. ඔයා මේ ටිකේ නිතරම ඉන්නෙ කොහෙද? ලයිබ්රි එකේ රුසියානු සාහිත්‍ය කොටසෙ? මන් දන්නවා ඒක ඔයා ඉන්න කැමතිම තැන කියලා. ඒත් මට නිකමට හිතෙනවා ඔයා ලියන්න යන්නෙ පොතක් ගැන කියලා. අයිත්මාතව්ගෙ තවත් පොතක් ගැන වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාගෙ කැමතිම මාතෘකා ගැන වෙනස් විදිහෙ නිර්වචනයක්. මන් කීවෙ ප්‍රේමය සහ විප්ලවය, තව….සරසවිය ජීවිතය සහ අනාගතය වගේ එකක්.

ඈන්: ගිල්…………ඔයා නම් දැන් නිකන් ශර්ලොක් හෝම්ස් වගේ උත්තර දෙන්නෙ. කොහොමවුනත් මම කැමතියි අයිත්මාතව්ලගෙ රචනයන් අස්සෙ තියන මානව ප්‍රේමය කියවන්න. මානව හැඟීම් ගැන තව ඉගෙනගන්න. මම හිතුව නැවත ලිවීම වෙනම ප්‍රවේශයකින් පටන් ගන්න. අලුත් විදිහකට ලියන්න. මම බ්ලොග් එකට ලියපු ආර්ටිකල්ස් වල දිගටම ලීවෙ හීන ගැනනේ. ඔයාගෙ අදහස හරි මේ සැරේ ආර්ටිකල් එක ආදරේ ගැන….

ගිල්: ආදරේ ගැන….

ඈන්: ඔව්. අපි ප්‍රැක්ටිස් කරන ආදරේ ගැන. අපි උත්සාහ කරන ආදරේ ගැන. ආදරේ කියන්නෙ ප්‍රැක්ටිස් කරන්න ඕනෙ දෙයක් කියලා හැමවෙලේම කියන්නෙ ඔයා. මට හිතුනා මේ පාර ඒ ගැන ලියන්න. ඔයා මොකද කියන්නෙ ඒ ගැන.

ගිල්: සත්තුන්ට, මේ ගහකොළට සංවේදී වෙන එක, මනුෂ්‍යයන්ගෙ වගේම අනෙක් හැම ජීවියෙක්ගෙම ජීවත්වීමේ අයිතිය රැකීම ගැන, මේ හැමතැනකම ඉන්න හඳුනන නාඳුනන හැම මනුෂ්‍යයෙක්ගෙම හැඟීම් ගැන සංවේදී වෙන එක. මේ හැම ජීවිතයක් ගැනම අපිට වගකීමක් තියෙන්න ඕනෙ ඈන්. අපිට හැඟීමක් තියෙන්න ඕනෙ. ඒ හැඟීම තමයි අපි කියන ආදරේ. ඒ ගැන ලියන්න මම කැමතියි ඒ අලුත් ප්‍රවේශයට.

ඈන්: මම පටන් ගන්න හිතන් ඉන්නෙ පරිසරයෙන්. “පරිසරය සුරකිමු” කියලා අපි පොඩි කාලෙ ඉඳන් කොච්චර නම් රචනා ලියලා ඇත්ද?. ඒත් මිනිස්සු ඇත්තටම පරිසරය රකිනවද?  කසල විධිමත්ව බැහැර කරන්න කියලා නිතරම මතක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇයි වන විනාශය කොච්චර ක්‍රම වලින් මේ පරිසරය විනාශ වෙනවද? ටොෆි කොළයක් වත් පාරෙ දාල යන්නෙ තැති එකට අපිට විනය කියලා කියන්නත් පුලුවන්. හැබැයි ඒ විනය ඇතුලෙත් තියෙන්නෙ ආදරේ නේද? අපිට අඩුවුනු හැඟීම ආදරේ නේද? අපි මේ ගස් වැල් රකින්න ඕනෙ අපිට හුස්ම දෙන නිසා විතරද?

ගිල්: ඇයි ඈන් සත්තු. හැම සතෙක්ටම එක වගේ කරුණාවන්ත වෙන එක. හැම සතෙක්ගෙම ජීවත්වීමේ අයිතිය රකින එක. ඒ මනුස්සකම,කරුණාවන්තකම ඇතුලෙත් තියෙන්නෙ ආදරේ නේද?

ඈන්: ඇයි ඔහොම බලන්නේ.

ගිල්: අපි දෙන්නගෙ අදහස් මෙච්චරටම සමාන වුනේ කොහොමද ගිල්….

ඈන්: එකම අදහස් හිමිවීමට වඩා ඔබ මා හමුවීම නොවේද මෙතන ඇති විශ්මය මගේ ප්‍රියාවිය.

ගිල්: අයියෝ…තාම ඉන්නෙ ඔයාලගෙ කලා උලෙලෙ නාට්‍ය ඇතුලෙද……?

ඈන්: නෑ නෑ මේක හදවතින් ආපු දෙබසක්….

ගිල්:  ඉතින් ඉතින් තව මොනවද ඔයා ඕකට ඇඩ් කරන්න ඉන්නේ….

ඈන්: මම දැකල තියෙනවා හැම මනුස්සයටම එක වගේ ගෞරව කරන මිනිස්සු, අනෙකාගේ ගෞරවය රකින මිනිස්සු, අවංක මිනිස්සු, පොරොන්දු රකින මිනිස්සු. සමහර විට අපි දන්නෙවත් නැතිවම අපේ යහපත ප්‍රාර්ථනා කරන මිනිස්සු. අපි මේ හැඟීම්වලට විවිධ නම් දෙනවා. විවිධ අර්ථකථන දෙනවා. හැබැයි මේ මොන වචනවලින් කීවත් ඒ හැම ක්‍රියාවකම, ඒ හැම හැඟීමකම තියෙන්නෙ ආදරේ කියලා මට කියන්න ඕනෙ.

ගිල්: පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී මුළු ලෝකෙටම ආදරේ කිරීමක් ගැන. අපි උත්සාහ කරන අපි ප්‍රැක්ටිස් කරන ඒ පරාර්ථකාමී මානුෂීය හැඟීම ගැන අපි ලියමු. තමාට ආදරය කිරීමකින් පටන් අරන් තමන්ගෙ ළඟම ආදරණීයන්ට, හඳුනන නාඳුනන හැම කෙනෙක්ටම, මේ මුළු මහත් සමාජයටම ආදරය කිරීමක් ගැන අපි ලියමු. මේ සමාජය ඒ ආදරෙන් පුරවන්න අපි මිනිස්සුන්ට ආරාධනා කරමු.

ඈන්: ආදරේ හිඟ වුනු ආදරේ ගැන හරිම පටු ආකල්ප දරන මිනිස්සු පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා. මේ සමාජයට අපි කියන ආදරේ තේරෙයිද ගිල්?

ගිල්: මතක තියාගන්න ළමයෝ, කළුවරක් තියනවා. ඒත් ආලෝකයත් තියනවා නරක තියනවා වගේම හොඳත් තියනවා. සමස්ථ සමාජයම ඒ යහපතෙන් පුරවන්න, ඒ ආලෝකයෙන් පුරවන්න අංශුමාත්‍රයක හෝ දායකත්වයක් දෙන්න අපිට පුලුවන්. මම හැමදාම කියනවනේ වචන හරිම බලවත්. ඒ වගේම අපේ මේ හැම පුංචි උත්සාහයකටම ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්………..

Written By: –

 

 

 

 

Rtr. Nirushika Sandeepani
(Blog Team Member 2023-24)

Edited By: –

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

 

 

Spread the love
guest
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Zahra Zuhri

Whenever Nirushika is the writer, I’m confident that it’s a masterpiece even before reading it 😎. As always, NAILED IT! 🔥

Nirushika Sandeepani

Thank you so much akke 🥺❤️

Amaan Thaha

Masterpiece 🥹❤️

Nirushika Sandeepani

Thank you so much Amaan ❤️❤️