සුවාරිස් කුරුණෑගල පොල්පත්තල ප්‍රදේශයේ වෙසෙන වයස හැටක පමණ පුද්ගලයෙකි. වසර ගණනාවක් තිස්සේ තම සුපුරුදු රැකියාව වූ ගඩොල් කැපීමෙහි නිරත වන ඔහු රැකියාව නිමා කර ආපසු නිවසට පැමිණෙන්නේ පාන්දර යාමයේදීය. එදා සෙනසුරාදා දවසකි. මධ්‍යම රාත්‍රිය එළඹී තිබිණ. එකවරම වැඩපලෙහි දුරකථනය නාද විය.
“සුවාරිස් මෙන්න කෝල් එකක්”. ඒ වැඩපලේ මහත්තයාගේ හඬයි.“හෙලෝ මාමේ” අල්ලපු ගෙදර ඇන්ටන්ගේ හඬ ඇසෙයි .
“ඔව් කියපන් ඇන්ටා”
මාමේ පොඩි කරදරයක්. මේක අහලා බයවෙන්න එපා. නැන්දගේ පපුවෙ අමාරුව වැඩිවෙලා කන්දෙ ගෙදර පොඩි නිලමෙගේ වාහනේ ඉස්පිරිතාලෙට යන ගමන් මේ. හදිස්සිය නිසා මේ දැන් තමයි කෝල් එක ගත්තේ.”
සුවාරිස් හුන් තැනම හිඳගත්තේය. කරන්නේ කුමක්දැයි ඔහුට සිතාගත නොහැකි විය.
“හෙලෝ මාමේ .හෙලෝ….”
“සුවාරිස් ,මොකද වුනේ”. මහත්තයා අසයි.
වසර තිස් පහක් මුළුල්ලේ තමන්ගේ තනි නොතනියට සිටි තම ආදරණීය බිරිඳගේ මුහුණ ඔහුට මැවෙන්නට විය. ඒ මොහොතේ ඔහුගේ එකම අපේක්ෂාව වූයේ කෙසේ හෝ ඇය වෙත යාමයි.
“මහත්තයා මම යනවා. හාමිනේ මහ ඉස්පිරිතාලෙ”
මගට බට සුවාරිස් මධ්‍යම රාත්‍රියේම ගමන් අරඹන්න විය. දඹදෙණිය මහ රෝහල පිහිටියේ පොල්පත්තල ග්‍රාමයට මදක් ඈතින් නමුත් පයින් යෑමට හැකි දුරකිනි. ඉතින් ඔහු පයින්ම ගමන් අරඹන්නට විය.
පොල්පත්තල පසු කරන විටම හමුවන්නේ වත්තේගෙදර වැවයි. පසෙකින් බුද්ධ කුටියක් ද පිහිටා ඇති බැවින් මෙය දහවලට ඉතා මනරම් මෙන්ම මිනිසුන් ගැවසෙන ස්ථානයක් විය. වැව පසුකරනවාත් සමගම සාමාන්‍ය ප්‍රමාණයේ බෝක්කුවක් ඇත. ඝන කළුවරේ ටෝච් එළියක ආධාරයෙන් ගමන් කරන සුවාරිස්ට බෝක්කුව පසුකරන විටම දකින්නට ලැබුණේ බෝක්කු බැම්මේ හිඳ සිටින කාන්තාවකගේ රූපයකි. තම බිරිඳ වෙත යාමේ එකම අපේක්ෂාවෙන් පසු වූ ඔහුට මෙම සිදුවීමේ අමුතුභාවය ගැන වගක් නොවීය. ඔහු දිගටම ගමන් කරන්නට විය. පැය භාගයක් පමණ ගමන් කරනවිට පාන්දර දෙකයි තිහ කොළඹ බලා යන බස් රථයේ හඬ ඇසෙන්නට විය. බස් රථයේ නැගී ඔහු රෝහල දක්වා පැමිණියේය. ඔහු යන විට අවධානම් තත්වයෙන් බැහැරව වුන් බිරිඳ වාට්ටුවට මාරු කර තිබිණ. විවාහ වී ගමෙන් බැහැරව ගොස් ඉඳහිට පැමිණෙන තම දියණිය සිටියද සුවාරිස්ගේ මුළු ලෝකයම වූයේ බිරිඳයි. ඇය සුවය ලැබීම සුවාරිස්ට ගෙනදුන්නේ මහත් අස්වැසිල්ලකි.
“ආ මාමේ,පයින්මද ආවේ…”
“නෑ ඇන්ටො මේ වත්තෙගෙදර පහුකරද්දි දෙකයි තිහ හම්බුනා. ඒකෙ නැගලා ආවා.”
“ආ එහෙනම් වැව ගාව මනමාලි එහෙම ඉන්න ඇති නේද? “ඇන්ටන් ඇසුවේ සිනාසෙමින් සරදමටය.
එකවරම සුවාරිස්ගේ මතකය දිවගියේ පාන්දර දුටු බෝක්කුව මත හිඳ සිටි තරුණිය වෙතටයි. ඒ මොහොතේ එය අමුතුවට නොපෙනුනත් පසුව මතක් කර බලන විට ඇය සැබැවින්ම මංගල සාරියකින් සැරසී ආභරණද දමා සිටි බව සඳ එළියෙන් දුටු බව ඔහුට මතක් විය. සුවාරිස්ට හීන් දාඩිය දැම්මේය.
“ඇන්ටන් ,මම දැක්කනෙ ඔය කියන මනමාලි.”
එය ඇසූ ඇන්ටන්ද එකවර තිගැස්සිණි.
“ඔතන දැන් දවස් ගානකට කලින් ඇක්සිඩන්ට් එකක් වුණා මතකද. ඒක මගුල් කාර් එකක් ඒකෙ ඉඳලා තියෙනව ජෝඩුවම. කොල්ල බේරිලා. කෙල්ල එතනම. ඔය කීප දෙනෙක්ම දැක්ක කීවෙ මේ ටිකේ. අර ගෙවිදුව තව පොඩ්ඩෙන් බයික් එක හප්පගන්නවා. එහා ගමේ ජයසේන මාමට නූලක් බැන්දා කියල පෙරේදා ලොකු හාමුදුරුවෝ කීවා. එහා ගමේ පන්සලේ පෙරේදා රෙපෙයාර් වැඩට ගියානෙ. ඒ පැත්තෙ අය නම් කියන්නෙ එයාගෙ කොල්ලා ආපහු එනකල් එතන බලන් ඉන්නවා කියලා.මන් හිතුවෙ ඕව කටකතා විතරයි කියලා. දැන් නම් මටත් ඔතනින් යන්න බයයි. මට පුදුමෙ මාමට අවතාරෙ දැකලත් කිසි දෙයක් නොවී අපූරුවට ආපු හැටිනෙ.”
“මට ඒ වෙලේ මතකෙට ආවෙ හාමිනේ ගාවට යන එක විතරයි. ඉතින් කොහෙ කරදරයක් වෙන්නද මයෙ පුතේ.”
ඉතින් රාත්‍රියේ සැරිසරන මනාලිය තමන්ගෙ නැතිවෙච්ච ප්‍රේමය එනකල් හැමදාටම බෝක්කුව ළඟ බලාගෙන හිඳී. ඒත් ආදරය පිරුණු හිත් තියෙන සුවාරිස් වගේ මිනිස්සු පෙනෙන සහ නොපෙනෙන ලෝක අතර මායිම සැමදාටම රැකවල්ලා ගෙන සිටී.
සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වූවකි. මෙහි එන නම් ගම් සියල්ල රචනයේ පහසුව උදෙසා ආදේශ කරගත් ඒවා බව කරුණාවෙන් සලකන්න.
Written By:-
Rtr. Nirushika Sandeepani
(General Member – 2022-23)
Edited By:-
The Blog Team 2022-23