ලෝක මානසික සෞඛ්‍ය දිනය

 

යහපත් සෞඛ්‍ය තත්වයකින් ජීවත් වීම යනු සෑම පුද්ගලයෙකුගේම මූලික අපේක්ෂාවකි. නමුත් පුද්ගලයන් තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ගැන උනන්දු වුවත් මානසික සෞඛ්‍ය පිළිබඳව දක්වන උනන්දුව ඉතා අඩු බව වර්තමාන සමාජය දෙස බැලූ විට ඉතා පැහැදිලිව පෙනී යන කරුණකි. ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී ඇත්තේ සෑම වසරකම ඔක්තෝම්බර් 10 වැනි දිනටයි. මෙලෙස මානසික සෞඛ්‍ය වෙනුවෙන් දිනයක් වෙන් කීරීමේ මූලික පරමාර්ථය වන්නේ ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය වර්ධනයට සහය වීම සඳහා ගනු ලබන උත්සාහයන් දිරිගැන්වීමයි. මානසික සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන පාර්ශවයන්ට මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ලොව පුරා මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා තවදුරටත් කළ යුතු දෑ පිළිබඳව සොයා බැලීමට මෙම දිනය ඉතා වැදගත් වේ.“මානසික සෞඛ්‍ය යනු විශ්වීය මානව අයිතිවාසිකමකි” යන තේමාව යටතේ 2023 ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනු ලබයි. මානසික සෞඛ්‍ය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සලකනු ලබයි. මානසික සෞඛ්‍ය සම්බන්ධ අවධානම් වලින් ආරක්ෂා වීමට ඇති අයිතිය, ළඟාකරගත හැකි, ප්‍රවේශවිය හැකි, පිළිගත හැකි සහ හොඳ තත්වයේ රැකවරණයක් ලබාගැනීම, ප්‍රජාව තුළ නිදහස, ස්වාධීනත්වය පැවතීම…වැනි අයිතීන් මේ යටතට ඇතුළත් වේ.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෝලීය වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක් කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන බව සඳහන් වේ. එය ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යට, අනෙක් පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන ආකාරයට, එසේම ජීවනෝපායට පවා බලපෑම් ඇති කල හැකියි. නව යොවුන් වියේ පසුවන්නන් සහ යෞවනයන් අතර මානසික සෞඛ්‍ය ගැටලු වර්ධනය වීමක් දැක ගත හැකි බවත් ඔවුන් තවදුරටත් පවසයි. මානසික සෞඛ්‍ය ගැටලුවක් පැවතීම පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් අහිමි කිරීමටත් ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ තීරණ වලින් ඔවුන්ව බැහැර කිරීමටත් හේතුවක් නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. වර්තමානයේදී එවැනි මානව අයිතීන් උල්ලංඝනය වීම් සමාජය තුළ දැකගත හැකි නිසා මානසික සෞඛ්‍ය අගය කිරීම, ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවී ඇත.මානසික ගැටලුකාරී තත්වයන් වලදී නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම එම තත්වයන්ගෙන් මිදීම සඳහා ඉතා වැදගත් වන අතර තනි තනි පුද්ගලයන් ලෙස තම තමන්ගේ සමීපතමයන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමත් සමාජයක් ලෙස එකිනෙකා කෙරෙහි සංවේදී වීමත් මෙහිදී ඉතා වැදගත් බව කිව යුතුය.

Written By: –

 

 

 

 

Rtr. Nirushika Sandeepani
(Blog Team Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments