2022 පාපන්දු ලෝක කුසලානය

 

ලොව උත්කර්ෂවත් ම ක්‍රීඩා සැණකෙළිය. වසර 4ක් පුරාවට ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන් උන්මාදයෙන් බලා සිටින මොහොතක්. මෙවර ලෝක කුසලාන සිහිනය තමන් සතු කර ගැනීමට කුමන රටක් සමත් වේවි ද?

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 22 වන අන්තර්ජාතික ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ලෙසටයි. මෙම වසරේ මෙහි සත්කාරකත්වය දරන්නේ කටාර් රාජ්‍යය යි විසිනුයි. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නෙ මැද පෙරදිග රටක් විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාපන්දු ලෝක කුසලානයක් සඳහා සත්කාරකත්වය දැරීමයි.

තරඟාවලියේ සමාරම්භක උළෙල පසුගිය නොවෙම්බර් මස 20 වනදා අති උත්කර්ෂවත් අන්දමින් කටාර් රාජ්‍යයේ Al-Bayt ක්‍රීඩාංගණයේදී පැවැත්වූවා. එදින සිට දෙසැම්බර් 18 වනදා දක්වා ලොව පුරා නන් දෙසින් සිටින බිලියනකට අධික වූ ක්‍රීඩා ලෝලී සිත් ඇද බැඳ තබා ගනිමින් මෙම තරඟාවලිය පැවැත්වුනා.

තවත් එක් වැදගත් කරුණක් වන්නේ, මෙවර ලෝක කුසලානය සඳහා එතෙක් මෙතෙක් ඉතිහාසයේ විශාලතම වියදම දරා තිබීමයි. එම ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 220කට ආසන්න වූ මුදලක්. තරඟාවලිය වෙනුවෙන් ම නව ක්‍රීඩාංගණ ඉදිකිරීමත්, කටාර් රාජ්‍යය උෂ්ණාධික රටක් වන බැවින් ක්‍රීඩාංගණ සිසිල් කිරීම සඳහා සිසිලකරණ පද්ධති සැකසීමට සිදුවීමත්, මෙලෙස අධික වියදමක් දැරීමට හේතු වී තිබෙනවා.

මෙවර තරඟාවලිය සඳහා රටවල් 32ක් තේරී පත් වී ඇති අතර කණ්ඩායම් 8ක් ලෙසින් ඔවුන් තරඟ වැදුනු අතර ලොව පුරා අවධානය දිනා ගත් පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩො, ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී ඇතුළු තවත් ප්‍රභල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම අවසන් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය මෙය වීම බොහෝ ප්‍රේක්ෂක ජනතාවකට දුක්බර පුවතක් වූවා. එම නිසාම මෙවර තරඟාවලිය ඉතා තියුණු එකක් වනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කළා. එම විශ්වාසය සනාථ කරමින් මූලික වටයේ තරඟ පටන් ම දිනෙන් දින උණුසුම වැඩි වන තරඟාවලියක් බවට මෙවර ලෝක කුසලානය පත් වූවා.

මූලික තරඟ වටයෙන් පසු අවසන් 16 දෙනාගෙ වටයට මින් පෙර ලෝක කුසලානයන්ට වඩා වෙනස් රටවල් පෙරළිකාර ලෙස තේරී පත් වූ අතර එයිනුත් අර්ධ අවසන් පූර්ව වටය සඳහා රටවල් 8ක් තේරී පත් වීමට සුදුසුකම් ලැබුවා.

අර්ධ අවසන් පූර්ව වටයේදී කිසිවෙක් බලාපොරොත්තු නොවූ අන්දමින් ප්‍රභල බ්‍රසීල කණ්ඩායමටත් පෘතුගාල කණ්ඩායමටත් අවසන් පූර්ව වටයට තේරී පත් නොවී අවාසනාවන්ත ලෙස තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වූවා. පෘතුගාලයේ එම පරාජයත් සමඟ ලොව වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම අන්තර්ජාතික පාපන්දු පිටියෙන් ඉවත් වීම ලොව පුරා ඔහුගේ ප්‍රේක්ෂකයන් ගේ නෙතට කඳුලක් එක් කළා.

එලෙස අවසන් පූර්ව වටයට තේරී පත් වූ රටවල් 4 අතරින් ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අවසන් මහා තරඟයට තේරී පත් වූයේ ක්‍රොඒෂියාව හා මොරොක්කෝව පරාජයට පත් කරමින්. මෙහි ඉතා විශේෂයක් වූයෙ මොරොක්කෝ කණ්ඩායම අති පෙරළිකාර ලෙස අවසන් පූර්ව වටය දක්වා පැමිණීමයි. එලෙස අප්‍රිකානු රටක් මේ දක්වා තරඟාවලිය තුල ඉදිරියට පැමිණි ප්‍රථම අවස්ථාවයි.

කෙසේ වෙතත් 3වන ස්ථානය සඳහා වූ තරඟයෙන් මොරොක්කෝව පරාජය කරමින් ක්‍රොඒෂියාව තම ස්ථානය රැක ගැනීමට සමත් වූවා.

එයින් පසුව කවුරුත් පුන පුනා බලා සිටි මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය පසුගිය 18 වනදා ආර්ජන්ටිනාව හා ප්‍රංශය අතර පැවැත්වූවා. එම තරඟය ලොව සුවහසක් වූ ප්‍රේක්ෂක ජනතාව උමතු කළ අති තියුණු තරඟයක් වූවා. නියමිතව කාලයත්, අතිරේක කාලයටත් පසුව පැනල්ටි තරඟ වටයක් දක්වා ගෙන යමින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට තරම් මෙම තරඟය තියුණු තරඟයක් වූවා. කෙසේ වෙතත් මෙවර 2022 ලෝක කුසලානයේ ජයග්‍රාහී කුසලානය තමන් සතු කර ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වූවා. ඔවුන්ගේ ජයග්‍රහණය මෙන්ම අවසන් මහා තරඟයේ ගෝල ත්‍රිත්වයක් ලබා ගනිමින් තම ප්‍රංශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය කිලියන් එම්බැපේ ගේ කැපී පෙනෙන දස්කම් ගැනත් ලොව පුරා කතා බහට ලක් වූ සිදුවීමක් වූවා.

වසර 36කට පසුව පාපන්දු කිරුළ තම රට සතු කරගැනීමට සමත් වූ ආර්ජන්ටිනා කණ්ඩායම එරට මෙන්ම මෙසීට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයන් හට අමතක නොවන රාත්‍රියක් ගෙන දුන්නා.

Written By:-


Rtr. Sethmi Navoda
(General Member 2022-23)

Edited By:-


Rtr. Amali Senadeera
(Blog Team Member 2022-23)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments