ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව විසින් පෙබරවාරි මාසයේදී සමරනු ලබන නවම් පුරපසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථාන කිහිපයක්ම සනිටුහන් කරනු ලබයි.එම ඓතිහාසික සන්ධිස්ථාන අතර, අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ දී උන්වහන්සේට එතෙක් සිටි සියළුම ශ්‍රාවකයන් කැඳවා ඔවුන් ඉදිරියේ දී පළමු වැනි සහ දෙවැනි අග්‍රශ්‍රාවක තනතුරු පිළිවෙලින් සැරියුත් සහ මුගලන් රහතන් වහන්සේලාට පිරිනැමීම ඇතුළත් වේ. මෙලෙස සැරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම පිළිබඳව අනෙකුත් භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ කතා බහක් බුදුරජාණන් වහන්සේගේ අවධානයට ලක් වීමෙන් පසුව, සැරියුත් සහ මුගලන් රහතන් වහන්සේලා මිස අන් කිසිවකු ඒ උතුම් තනතුරු ප්‍රාර්ථනා කර නොතිබුණු බව වදාරා ඔවුන් වහන්සේලා දෙනමගේ අතීත තොරතුරු ගෙනහැර දක්වා විමතිය දුරු කළේ ද නවම් පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.
බුද්ධත්වයෙන් පසුව මුල් වරට රහතුන්වහන්සේලා ප්‍රමුඛ සියලු සංඝයා වහන්සේලා එක් දහස් පනහක් එකට රැස්ව ධර්ම කතිකාවතක් ඇති කිරීම එනම් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදුවූයේද නවම් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
තවද නවම් පොහොය දින සිදුවූ වැදගත් ඓතිහාසික සන්ධිස්ථාන කිහිපයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට භික්ෂූන් වහන්සේලා උදෙසා වූ ශික්ෂා මාර්ගය දේශනා කිරීම මෙන්ම විශාලාවේ චාපාල චෛත්‍ය අසල දී ආයු සංස්කාරය අත්හැරීම පෙන්වා දිය හැක.ශාසන ඉතිහාසය තුළ මෙවැනි සන්ධිස්ථාන කිහිපයක්ම සනිටුහන් කරනු ලබන නවම් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාව විසින් දාන, සීල සමාදාන වැනි කටයුතු වල යෙදෙමින් වඩාත් අර්ථවත්ව ගත කරනු ලබයි.
Written By: –
Rtr. Moksha Munasinghe
(Junior Blog Team Member 2024-25)
Edited By:
Rtr. Chamodi Sathsarani
(Junior Blog Team Member 2024-25)